අන්තිමේදී අපි අපේ ගෙදර යනවා

නොවැම්බර් 28, 2022

 

ඉන් සතියකට පසු එනම් 1988 වසරේ අප්‍රේල් සත්වැනි දින විනිසුරු බර්ජර් ස්වීන් මා දැරිය දකින්නට යන ගමන සම්බන්ධයෙන් අලුත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබුණි.

 

දර්ශනවාදී වාද විවාද හෝ විනිසුරු සෝර්කොව්ගේ රැවුම්, ගෙරැවුම්වලින් තොරවම එය එසේ සිදු විණි. ඒ වෙනුවට එහි වූයේ ස්වීන් විනිසුරුගේ සරල බව සහ ඔහුගේ ව්‍යක්ත කථිකත්වයයි.

 

"උසාවිය විසින් දැරිය මෙලිස්සාගේ රුචි අරුචිකම් පිළිබඳව සලකා බැලිය යුතුයි. දැරියගේ මව ඇය දකින්නට යාමේදී බාධා කිරීම් හා පරීක්ෂණ කිරීම් අනවශ්‍යයි. ඇය සිය මව සමඟ පවත්වාගෙන යන්නේ සුවිශේෂී ඥාති සම්බන්ධතාවක් බව විලියම් සහ එළිසබෙත් ස්ටර්න් යුවළ පිළිගත යුතුව තිබෙනවා. ඇගේ සුළු පියා, සහෝදරයා සහ සහෝදරිය ඉන් එපිටට විස්තාරණය වන පවුලේ ඥාතීන් මේ සියලු දෙනා හා සම්බන්ධකම් තුළින් ඇය දුරස් කළ යුතු නෑ."

 

විනිසුරු ස්වීන්ට අනුව සැබවින්ම මගේ දික්කසාද සහ නැවත ඩීන් සමඟ ඇති වූ විවාහය නඩුවේදී බාධාවක් වූයේ නැත.

 

"පළමු නියෝගවලට අනුව මේරි ඇගේ දියණිය දකින්නට ගියේ ආරක්ෂක නිලධාරීන් ඈ අසල සිටියදී. පවුලේ ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්නවලින් ඇය ඒ දිනවල හෙම්බත්ව සිටියා. තමාගේ අලුත් උපන් දියණිය අහිමි වීමේ ආතතිය ද ඒ දිනවල ඇය තදින්ම පීඩාවට පත් කළා.

 

දික්කසාදයෙන් පසුව අලුත් විවාහය නිසා ඇගේ ප්‍රශ්න බොහෝදුරට විසඳී තිබෙනවා. දැන් ඇගේ පවුල පෙරට වඩා ස්ථාවර තත්ත්වයක පවතින බවක් පෙනෙනවා."

 

"සතිපතා මුණගැසීම උදේ 10.30 සිට සන්ධ්‍යා භාගයේ 4.30 දක්වා දීර්ඝ කෙරෙනවා. ඒ කාලය ක්‍රමයෙන් තවදුරටත් දීර්ඝවන අතර 1988 සැප්තැම්බර් මාසයේදී ඔවුන් මුණගැසෙනවා. සියල්ල ඉතා මෘදු ලෙස දැරියට සිත් රිදීමක් සිදු නොවන ලෙස සිදුවිය යුතුයි."

 

ස්වීන් විනිශ්චයකාරතුමාගේ සාධාරණ විනිශ්චය අනුව පළමු මුණගැසීමේ ත්‍රිත්වය කොන්ක්ලින් ආයතනයේදී සිදුවීමට නියමිත විය. බිල් විසින් දරුවා මා වෙත බාර දිය යුතු වූ අතර 1989 අප්‍රේල් මාසයේ පටන් මා සමඟ නිවාඩුව ගත කරන්නට ද දැරියට අවසර ලැබිණි. ඒ අනුව මා හට සාරා සමඟ දෙසතියකට වරක් රාත්‍රිය ගත කරන්නට ද ඉඩ ලැබීම මහත් සැනසුමක් විය.

 

ග්‍රීෂ්මයේ දෙසතියක කාලයක් ද ඇය මා සමඟ හිඳිනු ඇත.

 

"මවුපිය අයිතීන් අත්හිටුවීම, දරුවා අන් අයෙකු භාරයට පත් කිරීම යන කාරණා මෙහිදී එතරම් වැදගත් වන්නේ නෑ.

මෙලිස්සා බිහි වූ ක්‍රමය හෝ මෙතැනට අදාළ කර ගත යුතු නැහැ. මව සහ දරුවා අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය ඥාති සබඳතා වර්ධනය කරගැනීමේ අයිතිය ඔවුන් දෙදෙනාටම තිබෙනවා. අතිශය වැදගත් වන්නේ එකී කාරණයයි."

 

බිල් ස්ටර්න් සිටියේ මහත් අසහනයකිනි. කොන්ක්ලින් භූමිය වටා ඔහු දෙනෙත් යැව්වේ තමාට උපකාරයට කිසිවෙකු හෝ සිටීදැයි බලන්නට වාගේය. කිසිදා මෙවැන්නක් සිදු වෙතැයි ඔහු නොසිතූ වග නිසැකය. ඉතා නිහඬව ඉතා සෙමෙන් ඔහු මගේ දෑතට දැරිය බාර දුන්නේය.

 

"මෙලිස්සා, ඩැඩාට බායි කියන්න. ඩැඩාට හාදුවක් යවන්න."

මා දැරියට කීවේ බිල් සන්සුන් කරන බලාපොරොත්තුවෙනි. මින් පෙර දිනෙක දැරිය මගේ දෑතින් ඔහු අතට පත් කළ අයුරු මට හදිසියේ සිහිපත් විය.

 

කෙසේ වෙතත් ඔහු මගේ දියණියගේ පියා නොවේද? මට අවශ්‍යව තිබුණේ ඔහු මගේ හොඳ මිත්‍රයෙකු ලෙස සිටිනු දැකීමටය.

 

"කාරෙකේ බබාට සීට් එකක් තියෙනවද?"

එවර ඔහු සන්සුන් ලෙස විමසුවේය.

"ඔව්. තියෙනවා."

ඔහු තවත් මොනවාදෝ පවසන්නට උත්සාහ කළ නමුත් වදන් පිට වූයේ අපැහැදිලිවය. සෙමෙන් මුමුණන්නා වාගේය.

 

"දරුවට අරව මේවා මහ ගොඩක් කෑම ජාති දෙන්ඩ එපා."

ඔහු වහා ආපසු හැරී පිටත්ව ගියේය.

 

මගේ දෑතේ දඟලමින්, නලියමින් සාරා උත්සාහ කළේ සුපුරුදු පරිදි අප මුණ ගැසුණු කාමරය කරා මා රැගෙන යන්නටය.

 

"අද එහෙ යන්නෙ නෑ පැටියෝ!"

දොරකඩ මුරකාවල් සහිත ඒ කුඩා කාමරය සාරාට මාස හතරක් වූ තැන් පටන්ම අප දෙදෙනා මුණගැසුණු රජ දහන විය.

"අද බොහොම විශේෂ දවසක් දුවේ!"

 

මම ඇය ඉහළට ඔසවා සිනාසෙමින් කීවෙමි. අපි දෙදෙනා බොහෝ මාධ්‍ය වාර්තාකරුවන් සහ ඡායාරූප ශිල්පීන් පසුකොට යමින් සිටියෙමු. ඒ අතර පතරොම් පුරවන ලද බරැති තුවක්කුවක් දරා ගත් ආරක්ෂක භටයෙකු ද සිටිනු දුටුවෙමි. ඔහු මා නවත්වාවි ද?

 

එහෙත් ඔහු අත වනා මට සුබ පතනු ඇසිණි.

"ජයවේවා! මේරි බෙත්, ගුඩ් බායි!"

මගේ දෑස කඳුළින් පිරී යනු දැනිණි. මම මගේ දියණිය තදින් වැලඳගතිමි.

 

"අපි දැන් ගෙදර යනවා මගේ දුවේ! ඔව්, සාරා අන්තිමේදී අපි අපේ ගෙදර යනවා."

 

මම ඇගේ දෑසට නෙත් යොමු කළෙමි. ඇගේ නිල්මිණි දෑස මගේ දෑසටම එබීගෙන සිටිනු පෙනිණි. ඊළඟ මොහොතේ ඇගේ කුඩා අත්තල මගේ අතැඟිලි අතර පැටලුණේ මහත් වූ සෙනෙහසිනි.

 

"මාමා, ගෙදර! අපේ ගෙදර!"

ඔව්, ඒ සිහින් කටහඬ සාරාගේ ය. සාරා නමැති මගේ දියණියගේ ය.

 

සමාප්තයි.

 

A Mother's Story Mary Beth Whitehead.

පරිවර්තනය  - සුනිලා විජේසිංහ