පීඩාවට පත්වන කාන්තාව මුලින්ම දැක්කෙ මගේ අම්මගෙන්

දෙසැම්බර් 5, 2022

 

ලිවීම ගැන මට තිබුණෙ කුතුහලයක්. මම අටේ පන්තියට එනකොට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ අපේ ගම, රෝහිණී, ලීලා, මඩොල් දුව, ගම්පෙරළිය, විරාගය ආදී පොත් කියවලා ඉවරයි. ඒ එක එක චරිතවලින් ඔළුව බර කරගෙන හිටියෙ. අනෙක් පැත්තෙන් ඉලංගරත්නයන්ගෙ පොත් සමූහය. උම්මග්ග ජාතකයෙ මුල් පරිච්ඡේදය කට පාඩමින් කියන්න පුළුවන්කම තිබුණා.

 

ඒ වචනවලට, ඒ අදහස්වලට ආදරයෙන් බැඳුණා. අනෙක් පැත්තෙන් රුසියානු සාහිත්‍යය, තවත් පැත්තකින් ඉංග්‍රීසි සාහිත්‍යයෙන්. ටෝල්ස්ටෝයි, චෙකොෆ්, මැක්සිම් ගෝර්කි, මායාකොවුස්කි. ඒවා කියවන්න පටන් ගත්තෙ දහයෙ පන්තියේදී. වදරින් හයිට්ස් කියෙව්වා දිවා රෑ නැතුව. මට යාළු මිත්‍රයො හැටියට හිටියෙ රවීන්ද්‍රනාත් තාගෝර්ගෙ ගෝරා, සුචරිතා වගේ චරිත. හීත්ක්ලිෆ්, කැතී හොඳ, නරක, මිශ්‍ර චරිත හමෝම හිටියා. බැද්දේගම සිළිඳු, පුංචි මැණිකා, හින්නි හාමි ළඟට වෙලා මම ඒ දුක් කඳුළු මගේ දුක හා කඳුළු බවට පත් කර ගත්තා.

 

මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් කියෙව්වා. ලෝක සාහිත්‍යය කියවන්න මං පුස්තකාලයෙ මුල්ලක් අල්ල ගත්තා. ඊට පස්සෙ රස්සාවකට ගියා. හම්බ වුණෙත් පොත් කියවන රස්සාවක්. එතැනදී තමයි ලියන්න ඕන කියලා මුලින්ම හිතුවෙ. ඉතින් බුමුතුරුණු ලිව්වෙ එතන වැඩ කරන කාලෙ. ඒ කියන්නෙ සෝවියට් තානාපති කාර්යාලයෙ ප්‍රවෘත්ති අංශයෙ වැඩ කරන කාලෙ.

 

ඉහත කියපු ලේඛකයන් කියවීමෙන් මට තේරිලා තිබුණා ලියන්න හදවත, බුද්ධිය වගේම දැනුමකුත් තියෙන්න ඕනය කියලා. මම ළමා කාලයෙ ඉඳලා දුටුවේ මුළුතැන්ගෙයට, ස්වාමිපුරුෂයාට දිවා රෑ නැතිව සේවය කරන කාන්තාවන්. තරුණ වියට එළැඹෙන කොට දුටුවෙ සමාජයෙ පහත් කොට සැලකෙන අය අතර කාන්තාව ඉදිරියෙන්ම සිටින බව. කාන්තාව කාගෙ හරි යැපෙන්නියක් බව. කියන දේ අහගෙන ඉඳීම මිස කියන්න අයිතියක් නැති බව. ඒ වෙනකොට අපටත් ඉගැන්නුවෙ කීකරුව ඉන්න, කුමරි බඹසර රැක ගන්න, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් ඉගෙන ගන්න, කසාද බඳින්න, ළමයි හදන්න, හැමවිටම පසුපසට වෙලා ඉන්න වගේ දේවල්. මම හිතෙන් කැරලි ගහමින් හිටියෙ. මම හිතෙන් නොයෙක් කතා ගොතමින් හිටියා. ඒ හැම කතාවෙම වීරවරිය ගැහැනියක්. ඒ වීරවරිය කාන්තාව වෙනුවෙන් පෙනී හිටියා. හිස නමන්න බෑ කිව්වා. සාධාරණය හෙව්වා. මගේ වාසනාවට මගෙ පියා පොත පත කියවන කෙනෙක්. අප අතර වැඩි කතා බහක් නොතිබුණාට තාත්තා මට හොඳ පොතපත ගෙනත් දුන්නා. අම්මා දිනපතාම ගැහැනියගෙ දුක මට පෙන්නලා දුන්නා. පාන්දර කළුවරේ අවදි වෙලා ස්වාමිපුරුෂයයි, දරුවනුයි වෙනුවෙන් කිසිම ඇගයීමක් නැතුව කරන සේවය. කලාවට ලොකු ඇල්මක් නොතිබුණු අම්මා මුළු දවසම වැය කළේ දරුවන් වෙනුවෙන්. මං රෑ මැදියමක් වෙනකල් ඇහැරිලා හිටියා; අම්මා ලව්වා සින්දුවක් කියවගන්න. ඒ මහන්සිය අතරෙන් ඇය "ඕලු නෙළාලා මාල ගොතාලා" වගේ ගීතයකුත් ගයලා, පුංචි කතාවකුත් කියලයි නිදා ගත්තෙ. මම ඇගෙන් ගීතයක් ඉල්ලුවෙ ඇය සනසන්න මිස මට සැනෙසෙන්න නොවෙයි. මම හිතන්නෙ පීඩාවට පත්වන කාන්තාව මම මුලින්ම දැක්කෙ මගේ මවගෙන්. මගේ පියා මං හිතන්නෙ මේවා දුටුවෙ නැහැ. ඒවා දකින්න ඔහුට කවුරුවත් උගන්නලා තිබුණෙ නෑ වෙන්නැති. මගේ කතාවලින් කාන්තාව ගැන කියවෙනවා කිව්වට මං ඒ හරහා කතා කළේ පිරිමින්ට මේවා කියලා දෙන්න කියන එකයි. දුවට කීකරු බිරියක් වෙන්න උගන්නන එකයි, පුතාට අධිපතිවාදී ස්වාමිපුරුෂයෙක් වෙන්න උගන්නන එකයි අතරෙ ලොකු පරස්පරයක් තියෙනවා.

 

මම ලියනකොට ගැහැනිය මූලික වෙන්නෙ, ගැහැනිය පිළිබඳව මා සිතෙහි ඇති සංවේදී බව නිසා විය හැකියි. අනෙක, අප ලියන්නට පිවිසි යුගය වනවිට සාහිත්‍යය තිබුණේ පුරුෂයන් අතෙහියි. ඔවුන් ගැහැනිය සම්බන්ධයෙන් වන සමාජ ආකල්ප පිළිබඳව සංවේදී වනු ‍වෙනුවට කළේ ගැහැනිය කොටුකර, ගාල් කර තැබිය යුතු සත්ත්වයෙක් කොට සැලකීමයි. මා මේ කියන්නේ බහුතරයයක් ගැනයි. මාර්ටින් වික්‍රමසිංහයන්, සෝමවීර සේනානායක, ඒ. වී. සුරවීර, ජයතිලකයන් වැනි ලේඛයන් කාන්තාව පිළිබඳව සංවේදී බවකින් ලියා තිබුණා. අපේ සාහිත්‍යයෙන් අපරාධය සහ දඬුවමේ සෝනියා වගේ ගැහැනු ගිලිහී ගියා. ගැහැනිය කියන්නෙත් මනුෂයෙක්, පිරිමියා කියන්නෙත් මනුෂයෙක්, මේ දෙන්නම එකම තැනකට කැඳවන්න කියලයි සාහිත්‍යකරුවා කිව යුතු වන්නේ. මම දකින්නෙ අපට මුණ ගැහෙන ගැහැනිය ගැන. කාර්යාලයේදී, ගෙදරදී මහපාරෙදී, පල්ලියෙදී, පන්සලේදී, කෝවිලේදී, පාසලේදී, කඩපිලේදී ආදී වශයෙන්.

ලිවීමේදී මට කොටු ගැසූ සැලැස්මක් නෑ. නවකතාවක් නම් ලියන්නෙ මං ලිවිය යුතු අදහස මා ඉදිරියෙ තබා ගන්නවා. උදාහරණයක් ලෙස 'සියසිය පත් සිය' නවකතාව ලියනකොට මගේ හිතේ තිබුණේ මේ රටේ කසාදයයි, විවාහ මඟුලයි වෙනස් වුණු ආකාරය. මම පරම්පරා පහක ගෑනු ඉදිරියට ගෙනාවා. ඉතින් ඔයගොල්ලන්ගෙ කතාව කියන්න කියලා මං ඔවුන්ට ආරාධනා කළා. පියුමන්තිලා වගේ චරිත ආවෙ ඉබේටම. දුවගෙන දුවගෙන ආවා මගේ ලියන මේසය ඉදිරියට. ඇඬුවා දෙඬුවා වැලපුණා. ඒ තමයි මා දුටු ගැහැනු. ගැහැනු විප්ලවීය ගමනක යෙදුණ හැටි.

ලිවීම ලේසි නෑ. දැන් මම ලේඛිකාවක් හැටියට ගත්තොත් බොහෝ අය බලාගෙන හිටියා කවදද මං මේ ලියන එක නවතින්නෙ කියලා.

 

මම විශ්වාසය තැබුවෙ මගේ ශක්තිය ගැන. පොතක් ලියලා ඉවර වුණාම දරුවෙක් බිහි කළ සතුට ලැබෙනවා. මගේ පළමු පොත බුමුතුරුණු ලිව්වෙ මට වයස විසි හතේදී. මා විස්මයට පත් කරවමින් ඒ බුමුතුරුණ දිගේ පාඨකයො පෙරහැර වගේ ආවා. විචාරකයොත් එහෙමයි. ඒ පොත ප්‍රකාශයට පමුණුවන්න මං මහ වධයක් වින්දා. දැන් බුමුතුරුණු නම් කුලුඳුල් දරුවට හතළිස් හතරයි. නව පරම්පරාවට අයත් පාඨකයන් බුමුතුරුණු කියවනවා. එදා ප්‍රකාශකයො මහ ගොඩක් හිටියෙ නෑ. හිටිය කීපදෙනා නමක් නැති අලුත්, විශේෂයෙන් ලේඛිකාවකගෙ පොතක් අරගෙන අවදානමක් ගන්නා සූදානම් වුණේ නෑ. මම අවුරුදු දෙකක්, මාස් පතා මගේ වැටුපෙන් කොටසක් වෙන් කරලා බුමුතුරුණු මුද්‍රණය කළා. ගමනක අවසානය කියලා හිතුවට ඒ තමයි ආරම්භය. නන්නාඳුනන පිරිසක්, විද්වත් පිරිසක් එකතු වුණා. ලාල් ප්‍රේමනාත් ද මැල්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, මියුලන් පෙරේරා, ගුණදාස ලියනගේ, කීර්ති කලහේ, නන්දසිරි අල්විස්, කරුණාසේන ජයලත්, කේ. ජයතිලක වැනි සාහිත්‍ය ප්‍රභූන් පිරිසක්. මහාචාර්ය සරත්චන්ද්‍රයන් 'බුමුතුරුණු' කියවා එවූ ලිපිය මා දිගින් දිගටම ලිපිය යුතු යැයි දිරිමත් කළ ලිපියක් වුණා. ඔවුන් හැමදෙනාම එකතු වී මා දිරිමත් කළා. නමුත් එය ඉතා සුගම ආරම්භයක් යැයි කියන්නට නොහැකි බොහෝ අත්දැකීම් ඇති බවද කියන්නේ එසේ නොකිවහොත් මේ කතාව අසම්පූර්ණ කතාවක් වන නිසයි.

 

ලේඛිකාවක, රාජ්‍ය නිලධාරිනියක, තිර පිටපත් ලියන්නියක ලෙස එදා සිට මා පැමිණි ගමන් මඟ විවිධයි. මා ගමන් කළේ කාපට් දැමූ පාරක නොවෙයි. එහෙත් මා ඒ වළගොඩැලි සහිත පාර කාපට් පාරක් යැයි උපකල්පනය කර ගත්තා. එහෙම ගමනක් යනකොට බොරු වළවල් කැපේවි, පසුපසින් පහර දේවි. ඒත් මගේ පෑනත්, මගේ සිතත් ශක්තිමත් වුණා. එක පාඨකයෙක් මා සමඟ සිටියත් මා සතුටු වුණා. එහෙම නැතුව ලියන්න බෑ. ඉතිහාසයෙ ගැහැනු ලිව්වෙ පිරිමි නම්වලින් ද නැත්නම් නිර්ණාමිකව. ඒ මොකද ලිවීම, ග්‍රන්ථකරණය යෙදීම පුරුෂයන්ගෙ වැඩක් කියලයි හිතුවෙ. ඉස්සර නෙවෙයි 1997 දි ජේ.කේ. රෝලින් ලිව්වොත් ජේ.කේ. කියලයි. ඒ ඇය ගැහැනියක බව දැනගත්තොත් තරුණ පිරිමි ළමයි කාන්තාවක් ලියූ පොතක් කියවන්නෙ නැති වෙයි කියලා ප්‍රකාශකයා බියට පත් වීම නිසයි. ඉසබෙල් අයියන්දෙ හැමවිටම ලිව්වෙ ඇය දුටු ගැහැනිය, ඇයගේ මව ඇතුළු එකල ගැහැනු විඳි දෛනික දුක, සමස්ත සමාජය ගැහැනිය කෙරෙහි දැක්වූ ආකල්පය.

 

කාන්තාවකට ලිවීමට වේලාවක් වෙන් කර ගැනීම ඉතා අසීරු කාරණාවක්. ගෙදර දොර ජීවිතය, කාර්යාල ජීවිතය, සමාජ බැඳීම් සඳහා වෙන් කළ යුතු කාලය හා සියල්ල වෙනුවෙන් පැය විසි හතර බෙදා ගැනීමෙන් පසු ඔබට ඉතිරි වන්නේ නිදන්නට කාලයයි. අනෙකුත් අය සුව නින්දෙහි පසුවන විට ඔබට ලියන්නට සිදු වෙනවා. එහෙත් ඒ කැප කිරීම ඉතා වටිනා දෙයක්.

දශක කිහිපයක් ලිවීමේ යෙදී සිටින මට ඇත්තේ මා කෙරෙහි ඇති විශ්වාසයයි. විචාරකයන් මා නොදුටුවත් පාඨකයන් මා දකිනවා. ලේඛකයෙක් ලෙස මා විශ්වාසය තබන්නේ මා ලියන්නේ කුමක්ද යන්න ගැන ඇති අවබෝධයත්, ඒ අවබෝධයෙන් ලැබූ අධ්‍යාපනයත්, ඉන්පසු අණ නොතකා කරන ලිවීමත් පමණයි.

 

ලේඛනයත් ජීවිතය වගේ. එනම් චරිතවලට හා අවස්ථාවලට නිදහසේ සැරිසරන්නට ඉඩදීම. කොටු කරන්න හොඳ නෑ. කොටු කළොත් අලංකාරය ගිලිහී යනවා.

 

මගේ අභ්‍යාසය කියවීම; දිනපතා කියවීම; පරිසරය දැකීම; පරිසරය විඳීම; දුක හඳුනා ගැනීම; වෙහෙස හඳුනා ගැනීම; මැදහත් සිතින් ඒවා දෙස බැලීමයි. සතුට මැදහත් සිතින් විඳීමයි. එය හුදු ගැහැනියකගේ දැක්ම යැයි සීමා කළ නොහැකිය. එය මනුෂ්‍යයකුගේ කියවීමයි.

 

මම සුමිත්‍රා රාහුබද්ධ