තෙලඟනාවට එන සුරංගනාවියෝ

මැයි 26, 2025

 

ලෝක රූ රැජන (Miss World) තරගය මෙවර පැවැත්වෙන්නේ 72වැනි වතාවට. ඒ, ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ දී. ඉන්දියාවේ දී ලෝක රූ රැජන තරගය පැවැත්වෙන 3 වැනි අවස්ථාව මෙයයි.

 

මෙම තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ලක් රූ රැජන අනුදි ගුණසේකර. ඉකුත් අගෝස්තුවේ දී "සියත ලක් රූ රැජන" ලෙස කිරුළ පැලැඳි ඇය, 25 හැවිරිදි වියේ සිටිනවා. අනුරාධපුරයේ උපන් ඇය අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්. අනුදි , ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රය හදාරා උපාධිලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඇය කාන්තා ඔසප් දරිද්‍රතාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පිහිටුවූ "සහේලි පදනමේ" නිර්මාතෘවරියයි.

 

මෙවර ලෝක රූ රැජන තරගයේ ආරම්භක උලෙළ පසුගිය 11 වැනි දා හයිද්‍රාබාදයේ පිහිටි AMC බාලයෝගී ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා වූයේ, තෙලඟනා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය රේවන්ත් රෙඩ්ඩි. Miss World සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජුලියා මොර්ලි ද එම අවස්ථාවට එක්වුණා. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද උණුසුම හේතුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා ඊට එක්වූයේ සවස් වරුවේ බව මාධ්‍ය වාර්තා කළා. 72 වැනි ලෝක රූ රැජන තරගය ආරම්භ වූ බව නිවේදනය කළේ, වත්මන් ලෝක රූ රැජන ක්‍රිෂ්ටිනා පිෂ්කොවා. සම්ප්‍රදාය පරිදි මෙවර ජයගන්නා තරගකාරියට කිරුළ පළඳන්නේ ද ඇයයි.

 

උලෙළ ආරම්භයේ දීම තරග සංවිධායකයන් විසින් දේශ සීමාවේ දී දිවිපිදූ ඉන්දීය සොල්දාදුවන් සිහිකර ආචාරය පුදනු ලැබුවා.ප්‍රාන්තයේ විශේෂ ප්‍රධාන ලේකම්(සංචාරක) ජයේෂ් රන්ජන් උලෙළ අමතමින් කීවේ, මේ තරගය සාමය සහ සංස්කෘතික සබැඳියාව පිළිබඳ පණිවිඩය ලොවට ගෙනයන බවයි. තෙලඟනාවේ සංස්කෘතික විවිධත්වය, උරුමය හා සුන්දරත්වය දක්වමින් ඔහු තරගකාරියන්ගෙන් ඉල්ලා සිටියේ,සිය ප්‍රාන්තයේ සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීමට දායක වන ලෙසයි. තෙලඟනා, වෙනම ප්‍රාන්තයක් වූයේ 2014 වසරේ දී ආන්ද්‍රා ප්‍රදේශයෙන් වෙන්වෙමින්. එය ඉන්දියාවේ 11 වැනි විශාලම ප්‍රාන්තය මෙන්ම ජනගහනය අතින් 12 වැනි විශාල ප්‍රාන්තයද වනවා. (2011) එම ජනගහනයෙන් 60% පමණ ග්‍රාමීයව ජීවත්වනවා. ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව තෙළිඟු වන අතර දෙවැනි ප්‍රධාන භාෂාව උර්දු. ගොල්කොන්ඩා බළකොටුව, ලොව විශාලතම සිනමා චිත්‍රාගාර සංකීර්ණය ලෙස වාර්තාගත රාමොජී සිනමා නගරය., චවුම්හලා මාලිගය වැනි ආකර්ෂණීය සංචාරක ස්ථාන ගණනාවක්ම එහි පිහිටා තිබෙනවා.

 

ලෝක රූ රැජන තරඟයේ ප්‍රධාන පණිවිඩය ද ලෝක සාමයයි.

රටවල් 108ක් නියෝජනය කරමින් තරග කරන රූප රැජිනියන් සිය රටවල ජාතික ධජ දරමින් ආරම්භක සංදර්ශනය විචිත්‍රවත් කළා. ලක් රූ රැජන අනුදි ගුණසේකර ඊට එක්වූයේ, නිල් මානෙල් තේමාව කරගනිමින් ළා දම් පැහැ ඔසරියෙන් සැරසී. ඈ එම පැහැය තෝරාගෙන තිබුණේ , ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් වීම, ලෝක රූ රැජන තරඟයක පළමු ශ්‍රී ලංකා නියෝජනය මානෙල් ඉලංගකෝන් ට උපහාර දැක්වීම හා ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමට ඇය ඇරඹූ සහේලි පදනමේ වර්ණය ද එය වීම හේතුවෙන්.

 

ලෝක රූ රැජන තෝරාගැනීම යනු රූමත්බව පිළිබඳ කාරණය පමණක්ම නොවෙයි. කාරුණික බව, පරාර්ථකාමීත්වය වැනි තවත් කාරණා කිහිපයක්ම සැලකිල්ලට ගන්නා අතර අංශ කිහිපයක්ම එහිදී විමසා බලනවා. විවිධ තරග ඉසව් ගණනාවක් දින 25 ක් පුරා තෙලඟනා ප්‍රාන්තයේ ප්‍රදේශ 12කදී පැවැත්වෙන්නේ ඒ අනුව. එම ඉසව් නොයෙක් ප්‍රදේශවලට රැගෙන යාමෙන් ප්‍රාන්තයේ සංස්කෘතික පසුබිම , ඉතිහාස උරුමය හා සුන්දරත්වය ලොවට රැගෙන යාම අපේක්ෂා කර ඇත්තේ, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරමින්.

 

අමෙරිකා හා කැරිබියානු, අප්‍රිකා, යුරෝපා, ආසියානු හා ඕෂනියා යන මහාද්වීපික කලාප නියෝජනය වන පරිදි, එක් කලාපයකින් 10 දෙනා බැගින් සමස්ත තරගකාරියන් අතරින් පළමුව 40 දෙනෙක් තෝරාගැනීම සිදුවෙනවා. දෙවනුව එම 10 දෙනා අතරින් ද 5 දෙනා බැගින් 20 දෙනෙක් තෝරාගන්නා අතර තෙවනුව , එම 5 දෙනාගෙන් දෙදෙනා බැගින් තෝරා අනතුරුව එම 8 දෙනාගෙන් 4 දෙනෙකු කලාපීය වශයෙන් අවසන් වටය සඳහා තෝරා ගැනෙනවා. ඔවුන් අතරින් අයෙක් ලෝක රූ රැජන ලෙස කිරුළ පලඳිනු ඇති අතර සෙසු තිදෙනා පළමු, දෙවැනි හා තෙවැනි අනුස්ථාන වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා.

2025 ලෝක රූ රැජනට කිරුළ පැලඳීම සිදුවන්නේ මෙම 31 වැනිදා හයිද්‍රාබාද්හි පිහිටි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන අවසන් තරගයේ දී. මෙවර ද ආරම්භයේ දීම තරගකාරියන් කිහිප දෙනෙක් තරගයෙන් ඉවත් වූ අතර තවත් කිහිප දෙනෙක් වෙනුවෙන් ආදේශ කිරීම් සිදුවුණා.

ලෝක රූ රැජන තරගය ආරම්භ වූයේ, 1951 වසරේ එංගලන්තයේ දී. එහි නිර්මාතෘවරයා වූයේ එරික් මොර්ලි. වසර 2000 දී මියයන තුරුම එම සංවිධානයේ සභාපතිත්වය ඔහු දැරූ අතර එතැන් පටන් මොර්ලිගේ බිරිය ජුලියා මොර්ලි එම වගකීම දරමින් සිටිනවා. ලෝක රූ රැජන තරගය ආරම්භ වූයේ බිකිනි තරගයක් වශයෙන්. පළමු ලෝක රූ රැජන ලෙස ස්වීඩන් ජාතික කර්ස්ටින් හාකැන්සන් කිරුළ පැලඳුවේ ද බිකිනියෙන් සැරසී. ඒ එවැනි එකම අවස්ථාව වූයේ, එය මහත් ආන්දෝලනයට තුඩුදීම හේතුවෙන්. පාප් වහන්සේ ද එයට විරෝධය පළ කළ අතර එවක් පටන් තරගයේ ස්වභාවය වෙනස් වූවා. පසුකාලීනව බිකිනි තරගය සැන්දෑ ඇඳුම් විලාසිතා යනුවෙන් වෙනසට ලක්වුණා. ජනමාධ්‍ය ඔස්සේ තරගයට ලද විශාල ප්‍රසිද්ධිය ද සමඟ ලෝක රූ රැජන තරගය යනුවෙන් එය වාර්ෂිකව පැවැත්වීමට සංවිධායකයන් තීරණය කළා. Miss World යනු එනමින්ම ලියාපදිංචි කළ වෙළෙඳ ලකුණක් ( Trade Mark).

 

1959 වසරේ දී බී.බී.සී.ය ලෝක රූ රැජන තරගය පළමුවරට විකාශනය කළ අතර 60' , 70 ' දශක වන විට එය ලොවපුරා විශාල පිරිසක් නරඹන රූපවාහිනී විකාශනයක් බවට පත්වූවා.

තරගකාරියන්ගේ බුද්ධිය විමසා බැලීම තරග ඉසව්වක් වූයේ, 1980 ගණන් වලදී. 2001 දී වාණිජමය හේතුමත පදනම්ව රූපවාහිනී නරඹන්නන්ට ද තරගකාරියන් අතරින් ජයග්‍රාහිකාවන් තෝරාගැනීමට ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබා දී තිබුණා. ලෝක රූ රැජන තරග ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ වඩාත්ම ප්‍රසිද්ධියක් ලැබූ මෙන්ම රූමත්ම රූ රැජන ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ ඓශ්වර්යා රායි. ඇය එම කිරුළ පැලඳුවේ 1994 දී. ඉන්පසුව, 1997 දී ඩයනා හේඩ්න්, 1999 දී යුක්තා මුකී, 2000 දී ප්‍රියංකා චොප්රා යන ඉන්දීය තරගකාරියන් ලෝක රූ රැජන කිරුළ පැළැඳුවා.

මෙම තරග ඉතිහාසයේ මේ දක්වා වැඩිම අවස්ථා ගණනක දී එනම්, සය වතාවක් ලෝක රූ රැජන කිරුළ පලඳා ඇත්තේ වෙනිසියුලානු යුවතියන්.

 

ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් වීම සඳහා තරගකාරියන් වයස අවුරුදු 17 - 27 අතර සිටිය යුතුයි. ඔවුන් අවිවාහක අය වීම මෙන්ම දරුවන් නොසිටීම ද තරග කොන්දේසියක්.

ලෝක රූ රැජන තරග ඉතිහාසයේ ආන්දෝලනාත්මක අවස්ථා ගණනාවක්ම තිබෙනවා. 1970 දී තරගයට විරෝධය දක්වමින් ස්ත්‍රීවාදිනියන් පිටි බෝම්බ දමා ගැසුවා. 1973 දී මාජරී වොලස්ට කිරුළ අහිමි කළේ වගකීම් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්. 1976 දී රටවල් ගණනාවක් ඊට තරග කිරීමෙන් වැළකුණේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදට විරෝධය පළ කරමින්. 1980 දී ලෝක රූ රැජන ලෙස කිරුළ පැලඳි ගේබ්‍රියෙලා බ්‍රම්, පසුදාම කිරුළ ගලවමින් ඉන් ඉවත්වූයේ සිය පෙම්වතාගේ අකමැත්ත හේතුවෙන්. 2013 දී ඉස්ලාමීය කණ්ඩායම් තරගයට විරෝධය පළ කළා. 2015 දී කැනඩා රූ රැජන ඇනස්තාසියා ලින්ට චීනය වීසා ලබා නොදුන් බව ප්‍රකාශ වූ අතර, ඇයට 2016 තරගයට ඉදිරිපත් වීමට සංවිධායකයන් අවසර ලබා දුන්නා. 2020 වසරේ දී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරගය අවලංගු කෙරුණා. 2021 දී ද වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවී 2022 මාර්තු මස එය පැවැත්වුණේ, 2021-2022 ලෝක රූ රැජන තරගය යනුවෙන්.

 

තවත් දින කිහිපයකින් 2025 ලෝක රූ රැජන කිරුළ පලඳිනු ඇති. එම කිරුළ දරමින් ලක්මවට කීර්තිය ගෙනඑන්නට ලැබේවා යැයි අපි, අනුදිට සුබ පතමු!