මගේ බාප්පා තමයි මේ ජයග්‍රහණයේ මුල් අයිතිකාරයා

බැඩ්මින්ටන් ආසියානු කනිෂ්ට ශූරතාවය දිනාගත් වරංගනා නිම්සරණි
ජනවාරි 30, 2023

 

මම මුලින්ම හොඳම ක්‍රීඩිකාව වුණේ 13න් පහළ තරගයේදී. ඒ තරගය ජයග්‍රහණය කරන වෙලාවේ මගේ සෑම පුහුණු ගුරුවරයෙක්ම හිටියා. බාප්පා මට රන් මාලයකුත් දැම්මා.

සෑම ක්‍රීඩකයෙක්ම බිහි වන්නේ දක්ෂතාවය හා කුසලතාවය එක්තැන් වූ කැපවීමේ ප්‍රතිඵලයෙනි. එලෙසින් කුසලතාවය හා දක්ෂතාවය ගොඩනගා ගැනීමට පුහුණුව හා මඟපෙන්වීම ද අනිවාර්යෙන්ම ඇවැසිය. මෙවැනි දක්ෂතාව හා කුසලතාවය පිරි සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වී ඇත්තේ කුඩා කාලයේ පටන්ම දැක්වූ උපන් හපන්කම් ඔප් නංවා ගැනීමෙනි.

 

ක්‍රීඩාවෙන් ඉදිරියට එන්නට වෙසෙසින්ම ඇවැසි වන්නේ කැපවීම හා උනන්දුවයි. අපේ රටේ ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා පැමිණි සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම බිහිවී ඇත්තේ සුපිරි පැළැන්තියේ කොළඹ පාසල්වල දරුවන් පමණක්ම නොවේ. ඈත එපිට ගම් දනව් සිසාරා වෙල් ඉපනැල්ලේ හැදුණු වැඩුණු දරුවන් ද ජාතික තලය දක්වා පැමිණි අවස්ථා බොහෝය.

ක්‍රිකට් ක්‍රීඩාව හා මළල ක්‍රීඩාවෙන් පමණක් ඉහළ දස්කම් දැක් වූ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමාවලිය හැරෙන්නට වෙනත් ක්‍රීඩාවන්ගෙන් ඉදිරියට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අපගේ මතකයේ ඇත්තේ බෙහෙවින්ම අල්පවය. එලෙස දස්කම් දැක්වූ ක්‍රීඩකයන් පවා ටික කාලයකින් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන්නේ විවිධ බාධක අභියෝග රාශියකට මුහුණදීමේ අපහසුවෙනි.

 

කේ. වරංගනා නිම්සරණී ජයවර්ධන... ඇය බැඩ්මින්ටන් පිටියෙන් විකසිත වන්නේ නිල් මානෙල් පොහොට්ටුවක් ලෙසිනි. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ශිෂ්‍යාවක ලෙසින් ඇය බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය වර්ණවත් කරන්නේ විශිෂ්ටයන් අතර, කියැවෙන අලුත්ම නමක් ලෙසින් සටහනක් තබමිනි. 12 ශ්‍රේණියේ වානිජ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන වරංගනා බැඩ්මින්ටන් රැකට්ටුව අතට ගන්නේ අවුරුදු 4ක් වැනි කුඩා අවධියේදීය. වසර හතක් වැනි කාලයක් තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සහජ හැකියාවක් පෙන්වූ ඇය මේ වසරේදී ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ වයස අවුරුදු 17 පහළ ශ්‍රී ලංකා කණඩායම නියෝජනය කරමිනි. දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගීවෙමින් ඇය මෙවර මුල් වරට පෙන්වූ දස්කම් හා විස්කම් බැඩ්මින්ටන් ක්‍රීඩාව ගැන නවමු බලාපොරොත්තු ගොන්නක් දල්වයි. අනාගතය පිළිබඳ මහත්වූ බලාපොරොත්තු තැබිය හැකි වරංගනා ඇයගේ මේ ජයග්‍රාහී ප්‍රවේශවීම ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

 

“මට මුල්වරට මේ වසරේ ඇතැම්ස්හි පැවැති දකුණු ආසියානු තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ස්ථානය දිනාගත්තා. මේ තරගාවලියේ තනි ක්‍රීඩා ඉසව් තුනකට මම සහභාගී වුණා. ඒ තරග තුනෙන්ම මට තුන්වැනි ස්ථානය දිනා ගැනීමට හැකි වුණා. පාසල් දරුවන්ට සහභාගීවීමට පුළුවන් ලොකුම තරගය වන World Junior තරගයට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ආසියානු තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමටත් හැකි වුණා.

 

මගේ පුහුණුකරු ලෙස දැන් කටයුතු කරන්නේ යුක්ති රංග පෙරේරා සර්. ඔහු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සිටින පුහුණුකරු. ඊට අමතරව රමේෂ් චානක සර් සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඇත්තටම මගේ මුල්ම පුහුණුකරු වුණේ මගේ බාප්පා සමන්ත ජයවර්ධන. 2001 තමයි ඔහු මගේ හැකියාව දැකලා බැඩ්මින්ටන් ගහන්න උනන්දු කළේ. මම ජාතික පාසල් තරග රාශියකට සහභාගී වෙලා තියනවා. ඒ හැම තරගයක්ම ජයග්‍රහණය කරලා තමයි මම ජාතික කණ්ඩායමට එකතුවුණේ. ඇත්තටම දැන් අවුරුදු 10 විතර කාලයක් මේ ක්‍රීඩාවේ මම පුහුණුවීම් කරනවා. ඒ කාලය තුළ ලබපු ජයග්‍රහණය ගැන සතුටු වෙනවා. මම ඉගෙනීමට වඩා වැඩි කාලයක් කැප කළේ ක්‍රීඩාවට. සාපෙළ විභාගය හෙට තියෙන්නේ කියලා අද මම පුහුණුවීම්වලට ගියා. ඒත් සාපෙළ හොඳින් සමත් වුණා. මගේ හැකියාවන් දැකපු ගුරුවරු පවා මට ක්‍රීඩාවට විශාල උනන්දු කිරීමක් කළා. අපේ පාසලේ ලසන්ති ගුරුතුමි සෑම වෙලාවෙම මට හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම සුභාෂ් සර් සහ නලීන් සර්ලා තමයි මගේ ගමනට ආශිර්වාදයක් වුණේ. මම මුලින්ම Champion වුණා. ඊට පස්සේ හැම තරගයම ජයග්‍රහණය කළා.

 

මම මුලින්ම හොඳම ක්‍රීඩිකාව වුණේ 13න් පහළ තරගයේදී. ඒ තරගය ජයග්‍රහණය කරන වෙලාවේ මගේ සෑම පුහුණු ගුරුවරයෙක්ම හිටියා. බාප්පා මට රන් මාලයකුත් දැම්මා. ඒ තරගය මම ජයග්‍රහණය කළේ හොඳ තරගයකින්. මේ සෑම තරගයක්ම ජයග්‍රහණය කරලා දැන් මම ජාතික කණ්ඩායමට තේරුණාට පස්සේ බැඩ්මින්ටන් සංගමයේ සෑම නිලධාරියෙක්ම පුහුණුකරුවෙක්ම මට හරිම ආදරයෙන් කියලා දෙනවා. ඒක මට හරිම සතුටක්.”