වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ප්‍රේමය හඹා යනකොට පලා යන්නේ ඇයි?
එදා කාන්තා දින වැඩසටහනකට ගිහිල්ලා මට හම්බවුණු අපූරුම චරිතයක් තමයි ප්‍රවීණ ලේඛිකා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂිකා තුෂාරි අබේසේකර මහත්මිය. ඇය ගැන මම මීට කලින් ගොඩක් දේවල් අහලා තිබුණට ඇගේ පොත් කියවල තිබුනට දැක්කේ හමුවුණේ එදා. ඇය ලොකු දැනුම් සම්භාරයක්, අත්දැකීම් රැසක් දරා ඉන්න ගැහැණියක් කියලා මට දැනුනා . ඇය ජීවිතය අමුතු තැනකින් අල්ලපු ගැහැනියක් විදිහට මට දැනුණා. .
මගේ පුරුද්දක් තියෙනවා ඒ වගේ අය කතා කරන දේවල් අකුරක් නෑර අහගෙන ඉන්න එක. ඒකට හේතුව ඒ කතා කරන දේවල් ඒ තරම්ම වටිනවා කියලා මම දන්නවා . මගේ හොඳ වෙලාවට තුෂාරි අක්කගේ නරක වෙලාවට එයාගේ වාහනේ මඟ කැඩිලා ඒක මඟ දාලා තමයි එයා ඇවිත් තිබුනේ . ඉතිං මං ඒකෙන් ප්‍රයෝජනය ගත්තා . මට ඕනෙ වුණේ මේ අමුතු ගැහැනිය එක්ක තනිවෙලා ජීවිතේ ගැන කතා කරන්න . ආශිර්වාදයක් වගේ මරදාන ඉඳලා කෝට්ටෙට එනකල් පුදුම ට්‍රැෆික් එකක්. ඒකෙනුත් මං උපරිම ප්‍රයෝජන ගත්තා . අවධානය කොයිතරම් වෙනතක ද කියනවා නම් පාරේ වැරදි ට්‍රැක් එකේ යන්න ගිහිල්ලා පොලිසියේ අයියලගෙනුත් බැණුම් ඇහුවා . කොහොමහරි වටෙන් වටෙන් ගිහිල්ලා කෝට්ටෙ රජමහ විහාරය ගාවට ඇවිල්ලා මං තුෂාරි අක්කා ව බැස්සුවා . එතකොට එයාගේ පුතාල ඇවිල්ල වාහනය ගෙදරට ගෙනිහිල්ලෙ. වාහනය හදන්න දාලාෙ.
එන අතරමග තොරතෝංචියක් නැතුව ජීවිතය ගැන කතා කරපු තුෂාරි අක්කගෙයි මගෙයි සංවාදය ඇතුළේ තුෂාරි අක්කා ගේ අතින් කිය වෙච්ච හරි සුන්දර ප්‍රකාශයක් මං මෙතන ලියනවා. ඒ වචන ටිකට මට හරි ආස හිතුණා. මං තුෂාරි අක්කට කිව්වා අක්කෙ මං මේක ලියනවා කියලා . ඇයත් ලෝබ නැතුව කිව්වා “ලියන්න නංගි” කියලා. දවසක තුෂාරි අක්කගේ නමින් මගේ පොතකත් මේ වචන ටික ලියැවෙයි කියලා හිතෙනවා.
මම :
අක්කෙ අපි අනෙකාගෙන් ආදරේ බලාපොරොත්තු වෙනව වැඩීද ? ඒකද මේ හිත් රිදීම් සියල්ලම.
ඇය :
නංගි ආදරේ කියන්නේ අමුතු දෙයක් , අපි ආදරය හඹාගෙන යනකොට ආදරේ පලා යනවා. අපි පලා යන කොට ආදරේ අපිව හඹා එනවා.
මම :අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම තියෙනව නේද?
අහ්…තවදෙයක්…
පොත් කියවන පොත් ලියන ගැහැනු භයානකයි කියන්නේ ඇයි කියලා මම ඔයත් එක්ක කතා කරපු මේ ටික වෙලාවෙදි තේරුම් ගත්තා.
ඇය :
පොතක් ලියන කියවන ගැහැනිය ජීවිතයේ ලබන්න පුළුවන් හරිම උතුම් සැනසිල්ලක් ලබනවා . ඒ සැනසිල්ල ගැන කියන්න වචන එකතු කරන්න අමාරුයි නංගි. ඔයත් ලියන ගැහැනියක් හින්ද එක තේරුම් ගන්න පුලුවන් ඔයාට . තව ලියන්න, තව නිදහස් වෙන්න ඒ සැහැල්ලුව අත්විඳින්න. හරියට මං අත්විඳිනවා වගේ.
ඇගේ කතාව බරපතළ ජීවිත කියවීමක් සහිත කතාවක් වෙන්න ඇති කියල තේරුම් ගන්න මට ඒ සංවාදය ප්‍රමාණවත්.
ඇය අපි ප්‍රේමය හඹා යනකොට එය පලා යන්නේ?
අපි ප්‍රේම කරන අනෙක් පාර්ශ්වයත් අපි කරන තරම්ම අපිට ප්‍රේම කරන්න ඕනෙ කියලා නියමයක් කොහෙද තියෙන්නේ. අපි ඒවා හිතින් හදාගත්තු මිත්‍යාවන් කියලා කිව්වේ ඇල්බට් එලිස් කියන මනෝවිද්‍යාඥයා. මේ මිත්‍යාව පස්සෙ දුවන අපි තමයි අන්තිමේදි සැබෑව දැන ගනිද්දි අතරමං වෙන්නේ. ඒ කියන්නෙ අපි ප්‍රේමය පස්සෙ දුවනවා. අනික් හැමදේම අමතක කරලා, අත හැරලා දාලා දුවනවා. ඇඳි වතත් අමතක කරල දුවනවා. අපි දන්නෙම නැතුව අපේ වස්ත්‍ර ගැලවිලා යනවා. අපිට අපේම අයගෙ වටිනාකම් අමතක වෙනවා. අඩුම තරමින් තමන් කොයි තරම් වටිනව ද කියලවත් මතක් වෙන්නෙ නෑ. ප්‍රේමය හඹායන්න හඹායන්න ප්‍රේමය අපෙන් ඈතට පියඹලා යනවා. මේ ගැන මටත් අත්දැකීම් තියෙනවා. ඔබටත් ඇති. ආදරේදි බලාපොරොත්තු වැඩි උනහම වේදනාවත් ඊට සාපෙක්ෂව වැඩියි.
සරලව කියනව නම් , අපි පස්සෙන් යන්න යන්න අපේ ආදරේ අගය අඩු වෙනවා. අපිට සැබෑවටම ආදරේ මිනිස්සු, අපි පස්සෙන් එනකල් ඉන්නෙ නෑ ආදරේ කරන්න. ඒ අයටත් අපිව ඕනෙම නම් ලෝබ නැතුව ආදරේ දෙනවා. හැබැයි අපි ඔවුන්ගෙ පස්සෙන් වැටෙන තත්ත්්වෙට පත්වෙන්නෙ අපි බලාපොරොත්තු වෙන මට්ටමින් ආදරේ නොලැබී ගියහම. ඉතින් වදයක් වෙන තරමට ආදරේ හඹායන්න පටන් ගන්නවා. Phone check කරනවා. යාලුවන්ට කෝල් කර කර හොයනවා. සැක කරනවා. මෙතනදි අනෙක් පාර්ශ්වය කරන්නෙ පලා යන එක. ගතින් නොවුණත් ඔවුන් සිතින් පලා යන්න පෙළඹෙනවා. දිල්ශාන් පතිරත්න ලියනවා, හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියලා. එතනදි කියන්නෙත් ඒ කතාවම තමයි.
සාමාන්‍යයෙන් පෙරුම් පුරල පුරලා ලබා ගන්න දේවල් වලට වඩා නිකම්ම ලැබෙන දේවල්වල අගය අඩුයි. ඒකයි අපි ආදරේ wholesale දෙනකොට අනෙකාට ඒකෙ වටිනාකම අඩුවෙන්නෙ. “අපෝ එයාගෙ ආදරේ ඕනෙ වෙලාවක තියෙනවනෙ” කියන හැඟීම අපිම ඒ අයට ඇති කරල ඉවරයි. මේකෙ අනිත් පැත්තත් එමමයි. අපිට whole sale ආදරේ ලැබෙනකොට අපිටත් ඒකේ අගය අඩුවෙන්න ගන්නවා. ඒක වදයක් වෙනවා. ඉතින් ගැලවෙන්න හිතෙනවා. ඒකයි කිව්වේ අපි පලා යනකොට ආදරය තව තව අපිව හඹා එනවා කියලා. ඉතිං මින් තේරුම් ගන්න ඕනෙ ප්‍රධානම හරය තමයි ආදරය හඹා නොයන තරමට අපි ශක්තිමත් වෙන්නේ කෙසේ ද කියන එක. තමා තුළ සතුට තෘප්තිය අඩු උනහම තමයි අපිට පිටින් ඒක හොයන්න වෙන්නෙ. ඉතින් තමා තුළ සතුට තෘප්තිය හදාගන්න එක විදිහක් තමයි ලියන එක , කියවන එක. ඒ තුළින් අසාමාන්‍ය ලෙස මිනිස්සු සැහල්ලු වෙනවා. හිතට එන ඕනෙම දෙයක් ලියන්න. කොළයක් පෑනක් අරගෙන ලියනවනම් වඩාත් හොඳයි. මනෝ උපදේශනයේදී මෙම චිකිත්සාව හඳුන්වන්නේ ප්රජානන චර්යා චිකිත්සාව තුළ එන එක් චිකිත්සාවක් ලෙස. Writing is a therapy. කෙනෙක්ව පූර්ණ ලෙස සුවපත් කරන්න ලිවීමට සහ කියවීමට පුළුවන්.
මේකෙ අනෙක් පැත්ත තමයි , කියවන්න ලියන්න නැඹුරු වුණ ගහැණුන්ට ආදරය කිරීම භයානකයි කියන එක. ඒක තමයි දැනගන්න ඕන, හොඳම කතාව. භයානක කම කෙසේ වෙතත් ඔබට ඉන්නෙ ඒ විදිහෙ බිරිඳක් හෝ පෙම්වතියක් නම්, ආදරෙන් රැකගන්න. ඇය ඔබට වදයක් වෙන්න ආදරේ ඉල්ලන්නෙ නෑ. ඒ ඇයි කියල ඊළඟ ලිපියෙන් කියන්නම්