හැඳිමිටේ නුවණ පරදන අලුත්ම ස්මාට් App

ජූලි 3, 2023

ස්මාට් ජංගම දුරකතනය සමස්ත සමාජයම වෙනස් කළ මෙවලමකි. එය වයස් සීමාවකින් තොරව සෑම කෙනකුගේම අතට පත් වී ඇත්තේ සුහුරු උපකරණයක් ලෙසිනි. පසුගිය කාලයේ කොරෝනා වසංගතය හමුවේ දරුවන්ට පවා දුරස්ථ මාර්ගගත අධ්‍යාපනය සඳහා ජංගම දුරකතනය භාවිත කරන්නට සිදු වූයේ කවුරුත් නොසිතූ අයුරිනි. කාලයක් සමා‍ජයේ දුලබ භාණ්ඩයක් බවට පත් වූ ජංගම ස්මාට් දුරකතනය මේ වනවිට කාටත් නැතිවම බැරි තත්ත්වයට පත් වී තිබේ.

මේ නිසාම කාන්තාවන් අතර ද ජංගම දුරකතන භාවිතය වැඩි වී ඇත්තේ නොසිතන ලෙසිනි. ජංගම ස්මාට් උපකරණ භාවිතයත් සමඟම සමාජයේ විවිධ කණ්ඩායම් සඳහා විශේෂ වූ App වර්ග ද බොහෝමයක් බිහි විය. සරල ලෙස App යනු අපගේ දෛනික කටයුතු පහසුවෙන් කළමනාකරණය කරන ‍ජංගම දුරකතන මෘදුකාංගයකි. මෙවැනි App වර්ග සිය දහස් ගණනක් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ විවිධ කටයුතු සඳහා ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමය. ව්‍යාපාරික ලෝකයේ විවිධ භාණ්ඩ අලෙවියට හා කටයුතු පහසු කරන මෙවැනි උපකරණ අතර අප රටේ බහුලවම App භාවිතය සිදු වන්නේ එක්තරා සීමා සහිත පිරිසක් අතරය. අගනුවරට ආසන්න වූ ප්‍රදේශවල ජීවත්වන බොහෝ පිරිස් මෙවැනි App වර්ග භාවිතයෙන් තමුන්ගේ දෛනික කටයුතු සහ ප්‍රවාහන කටයුතු, සෞඛ්‍ය උපදෙස් හා වෛද්‍යවරු හමුවීම, බැංකු කටයුතු, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙවැනි App වර්ග යොදා ගන්නට හුරු වී තිබේ.

 

අප මේ ඔබට හඳුන්වාදෙන App වර්ග කිහිපය ඊට තරමක් වෙනස්ය. එම App වඩාත් ප්‍රයෝජනවත් වන්නේ කාන්තාවන්ටය. ඔබත් කාන්තාවක් ලෙස ඔබගේ දෛනික කටයුතුවලදී එම දෛනික කටයුතු කළමනාකරණයට වැදගත් වූ මෙවැනි App වර්ග භාවිතා කරන කාන්තාවක් වන්නට ඉඩ තිබේ. නැතිනම් මෙවැනි App වර්ග ගැන ඔබ අසා තිබෙන්නට ඉඩ ඇත. ඒ කෙසේ හෝ මේ App වර්ග කිහිපය කාන්තාවන්ට වැදගත්වන විශේෂිත වූ හේතු කිහිපයක් වෙයි. එයින් ඔබගේ දෛනික වැඩ පහසු කරයි. එසේම ඔබගේ සෑම කටයුත්තක්ම මැනවින් කළමනාකරණය කර ගැනීමට පහසු කරවයි. තවද මෙවැනි App භාවිතයෙන් ඔබට මුහුණදීමට සිදුවන විවිධ වූ අපහසුතා හා සෞඛ්‍යමය ගැටලුවලින් ද මිදීමට පහසු කරයි.

Mint

Mint යනු ඔබ වියදම් කරන සෑම දෙයක්ම නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම සඳහා යොදා ගන්නා යෙදුම්වලින් එකකි. එය ඔබගේ නිවෙසේ අයවැය පාලනය කරන මෙවලමකි. එයින් ඔබට දෛනිකව ඔබගේ වියදම් නිරීක්ෂණය කළ හැකි අතර ඔබේ අතේ ඇති මුදල සමඟින් සංසන්දනය කරමින් මාසික අයවැය නිර්මාණය කළ හැකිවනු ඇත.

 

ඔබට නිශ්චිත ඉලක්කයක් සඳහා ඉතිරි කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය වුවහොත් මෙය ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත. එසේම ඔබ කොපමණ මුදලක් වියදම් කරන්නේදැයි සොයා ගැනීමට අවශ්‍ය වූ විටදී ද මෙම App එක ප්‍රයෝජනවත්ය. එය IOS සහ Android ජංගම දුරකතන සඳහා ක්‍රියාත්මක කරයි.

Flipboard

මෙය කාන්තාවන්ට පමණක් නොව දෛනිකව ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත්ය. මෙහිදී සිදුවන්නේ ඔබ සැලකිලිමත් වන පුවත් පහසු ලෙස ඔබගේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමයි. ඔබ මෙම යෙදවුම බාගත කරගත් පසු ඔබට කියවීමට අවශ්‍ය කතන්දර වර්ග හෝ ලිපි, ප්‍රවෘත්ති, ඡායාරූප තෝරාගත හැකිවනු ඇත. Flipboard ඔබේ මනාපය අනුව එදිනෙදා පළවන ප්‍රවෘත්තිවල සඟරා සාදනු ලබයි. එය ඔබේ ප්‍රවෘත්ති සංවිධානය කිරීමට සහ ඔබ වඩාත් උනන්දුව දක්වන මාතෘකා පිළිබඳ යාවත්කාලීනව සිටීමට ඉතා සාර්ථක ක්‍රමයකි. උදාහරණයක් ලෙස ඔබ රූපලාවන්‍ය ගැන උනන්දුව දක්වන්නේ මෙම App එක හරහා එම තොරතුරු ඔබට පහසුවෙන් ලබාගත හැකිවනු ඇත.

Todoist

 

මේ App එක කාන්තාවන්ගේ දෛනික කටයුතු සැලසුම් කරයි. IOS සහ Android දුරකතන සඳහා ඇති මේ App එක තමුන්ගේ වැඩ සියල්ල ලැයිස්තුගත කිරීම සිදු කරයි. මෙහි වැඩසටහන් සැලසුම් කිරීම සඳහා ඔබගේ අද දිනයේ සහ හෙට දිනයේ කිරීමට ඇති වැඩකටයුතු පිළිබඳ කෙටි සටහන් මඟින් තොරතුරු ගබඩාකර තබා ගනියි. එසේම ඔබගේ ඉදිරි වැඩසටහන් හා ඉලක්කයන් ගැන ද මෙහි කෙටි සටහන් මඟින් තොරතුරු එක්රැස් කර එම තොරතුරුවලට අනුව ඔබගේ දෛනික කටයුතු හා ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීම හා සිහිපත් කිරීම මේ App එක මඟින් සිදු කරනු ලබයි.

කාන්තාවන්ගේ ආරක්ෂාව මේ කාලයේ ඉතාම වැදගත්ය. විශේෂයෙන් තරුණ ගැහැනු දරුවකුගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්වීම පිළිබඳ මාධ්‍ය මඟින් ද අසන්නට ලැබෙයි. මේ සඳහා ජංගම දුරකතනයේ සාර්ථක App ගණනාවක් පවතී. ඒ අතුරින් Safet Pin යෙදුම ඔබගේ ප්‍රදේශයේ ආරක්ෂිත ලකුණු නිරීක්ෂණය කර ගණනය කරන අතර ඒ පිළිබඳ ඔබව දැනුවත් කරයි. මේ සඳහා තොරතුරු රැස් කිරීමට GPS යෙදුම භාවිත කරයි. එපමණක් ද නොව අනාරක්ෂිත ප්‍රදේශ හා ඒ ප්‍රදේශවලින් ගමන් නොගෙන විකල්ප මාර්ග සොයා ගැනීමට ද මෙය භාවිතා කළ හැකි වෙයි.

මේ යෙදුම ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමෙන් හදිසි සම්බන්ධතා ඇමතීමට ද ඔබට ඉඩ සැලසෙයි. එසේම ආරක්ෂාව ලකුණු ගණනය කිරීම සඳහා ආලෝකය ලබා ගැනීම හා ස්ථානයේ ආරක්ෂකභාවය ගැන ද මෙයින් දැනුම දෙයි.

Safet Pin

 

පවුලක ආරක්ෂාව වැඩිපුරම පැවරෙන්නේ ගෘහිණියකටය. එහිදී තම පවුලේ සාමාජිකයන් සිටින ස්ථානය දැන ගැනීම ඉතා වැදගත්ය. කාර්යයබහුල ජීවිතය තුළ සියලුම සාමාජිකයන් සිටින ස්ථාන ගැන සොයා බැලීම තරමක අසීරු කටයුත්තකි. ඒ සඳහා මේ App එක බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. GPS තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරන මේ යෙදුම මඟින් පවුලක සාමාජිකයන්ගේ දුරකතන අංක මේ යෙදුමට ඇතුළත් කළ පසුව ඔවුන් සියලු දෙනා සිටින ස්ථාන එහි පෙන්නුම් කරයි. මෙය Android තාක්ෂණයේ තවත් ඉදිරි පියවරකි.

Family Locator

කාන්තාවන්ගේ ඔසප් චක්‍රය පිළිබඳ ඉතා හොඳින් දැනුවත් කරන App එකක් ලෙස මෙය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වී තිබේ. මෙහි ඔබගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන ආකාරය හා එහිදී ඇතිවන අතුරු ආබාධ පිළිබඳ දැනුවත් කිරීම ද මෙම App එක මඟින් සිදු කරයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඔබට මේ කාල පරිච්ඡේදය තුළ දී ඇතිවන සෞඛ්‍ය ගැටලු සඳහා ද උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම ගැන මෙහි දැනුවත් කරයි. නොමිලේ ක්‍රියාත්මක මේ App එක මඟින් ඔබ ගැබ් ගෙන ඇති ද යන තොරතුරු හා ඔසප්වීම මඟහැරී ඇති නම් ඒ අනුව ගර්භිණී තත්ත්වයට පත්වීම දක්වා ගමන් කිරීමට මෙම යෙදුම ඉතාම ප්‍රයෝජනවත් වේ.