වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
විදුලි වේගයෙන් පන්දු යවන විදුලිපුර රශ්මි
ලෝකයේ ඉහළින්ම අපේ රටේ නම බබළවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වුයේ දිවයිනේ සතර දෙසිනි. මේ අතර නිරතුරුවම කියැවෙන නමක් වුයේ ගිනිගත්හේන ජාතික පාසලයි. මධ්‍යම පළාතේ දිදුලන විදුහලක් ලෙස ක්‍රීඩා ක්ෂේත්රයේ දක්ෂයන් බිහි කළ මේ පාසලින් ජාතික තලයට පැමිණි ක්‍රීඩික ක්‍රීඩිකාවන් බොහෝය. ලක්ෂපානේ කුඹුරුහේනෙන් බිහිවන රශ්මි සමාරා දිසානායක දියණිය ද එවැනි මැණික් කැටයකි. මේ වනවිට මධ්‍යම පළාතේ වේගවත්ම පන්දු යැවීමක නිරතවන ඇය පැයට කිලෝ මීටර් 98ක වේගයක් රඳවාගෙන සිටීම විශේෂ කුසලතාවයකි.
මේ විශේෂ කුසලතාවය හිමි දරුවාගේ හැකියාව හා දක්ෂතාවය ගැන අපට මුලින්ම සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික් පුහුණු උපදේශක ජනක සෙනවිරත්න මහතා ඇය ගැන සඳහන් කළේ මහත් බලාපොරොත්තුවෙනි.
‘මේ දරුවා තවම ළාබාල ක්‍රීඩිකාවක්. අපට මේ දරුවා හමුවුණේ මධ්‍යම පළාත් තෝරා ගැනීමේ තරගවලදී. ක්‍රමානුකූලව මේ දරුවා අපි ජාතික මට්ටම දක්වා රැගෙන ආවේ හොඳ පුහුණුවක් ලබා දෙමින්. ඇත්තටම මේ දුවගේ වයස තවම අවුරුදු 15ක් විතර. ඒ නිසා අනෙක් දරුවන්ට වඩා හොඳ ගමනක් යන්න පුළුවන්.
මට දැඩි විශ්වාසයක් තියෙනවා තව අවුරුදු කිහිපයකදී මේ දරුවා 19න් පහළ කණ්ඩායමේ හොඳ දක්ෂතාවක් පෙන්වයි කියලා. දැනට අපි දරුවාගේ තාක්ෂණික පැත්ත දිනපතා පුහුණු කරනවා. 2021 දී රශ්මි දියණිය 19න් පහළ අන්තිම 20 දෙනා අතර ඉදිරියෙන්ම සිටියා. අපට අනාගතයේදී මධ්‍යම පළාතේ හොඳ දක්ෂ ක්‍රීඩිකාවක් බිහි කරන්න පුුළුවන්.‘
රශ්මි දියණියගේ ක්‍රීඩා පුහුණුවට හා ගමනට පාසලෙන් විශාල දායකත්වයක් හිමි වෙයි. ගිනිගත්හේන ජාතික පාසලේ විදුහල්පති ඒ.ඒ. උපුල් මහතා නිරතුරුවම ඇය ගැන සොයා බලයි. රශ්මිට මේ ගමන යන්නට දිරිදෙන සියලු දෙනා ගැන ඇය අපට සඳහන් කළේ මෙලෙසිනි. ‘මාව මුලින්ම පාසලේදී පුහුණුවීම් සඳහා තෝරාගත්තේ අනුරාධ ශාමල් සර්. ඊට අමතරව පින්නදූව සර් කටයුතු කළා. ඇත්තටම මගේ ක්‍රීඩා ජීවිතය පටන් ගත්තේ ගෙදරින්. සියලුදෙනාටම පෙර මගේ හැකියාව මුලින්ම හඳුනාගෙන මගේ තිබුණු ආසාව නිසාම මගේ තාත්තා මාව ක්‍රිකට්වලට පුහුණු කළා. ඔහු හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්. තාත්තා ඩී.එම්. දිසානායක, අම්මා සාගරිකා කුමාරි. මේ දෙන්නා තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ ආරම්භයේ පටන්ම හිටියේ.
මට මේ වනවිට විදේශ රටවල් කිහිපයක් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. ඒක විශාල ජයග්‍රහණයක්. ඇත්තටම මගේ ලොකුම හීනය වෙලා තියෙන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමයි.