ඉස්සර හැම තොරණකම අපේ තාත්තාගේ නම ඇහුණා

තොරණ කතා ලියන එකම කාන්තාව සේනානි සේනාරත්න පිය සෙනෙහස ගැන කතා කරයි
මැයි 20, 2024

බෞද්ධ ජනයා පමණක් නොව ජාති, ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් වෙසක් තොරණ බලන්න යනවා. ඒ අතීත පුරා වෘත්තයක ජාතක කතාව අහන්නට, දකින්නට ඇති ආසාවෙනි. තොරණ දෙස බලන් ඉන්න අපට එයින් කියැවෙන කතාව හරි අපූරුවට හිතට දැනුණොත් සම්පූර්ණ තොරණ කතාවම අහන් ඉන්න හිතෙනවා. ඒක තමයි ඒ තොරණේ ඇති සාර්ථකත්වය.

බාල, මහලු, තරුණ කොයි කවුරුත් නිවි නිවී දැල්වෙන රූප රාමු පෙළ අතරින් අහන තොරණ කතා ලියන එකම කාන්තාවයි මේ. වරෙක ඇය අත්කම් උපදේශිකාවක ලෙස තරුණී පිටු සරසන්නියකි.

ඇය ප්‍රවීණ තොරණ කතා රචිත මර්වින් සේනාරත්නයන්ගේ ආදරණීය දියණිය සේනානි සේනාරත්නයන්ය. අනූ එක් වසරක දිවියක් නිමා කළ එතුමන්ගේ නාමය තොරණ කතා අතර ඉදිරියට ගෙනයාම ඇගේ ඒකායන බලාපොරොත්තුවයි.

ඔබ තොරණ කතා ලියන්න අත්පොත් තැබුවේ කෙසේද?

“තාත්තා තොරන් කවි, කතා ලියනවා කියලා පුංචි කාලේ මට එච්චර අවබෝධයක් නෑ. ඒත් අවුරුදු අටක් නවයක් වගේ කාලේ තාත්තා ලියන පිටපත් එකතු කරන්න මට කියනවා. මට මතකයි ඒ කාලේ තාත්තා පාන්දර තුනට කලින් ඇහැරල තමයි ලියන්න පටන් ගත්තෙ. මේවා රෙකෝඩ් කරනකොට තාත්තා මාව එක්කන් ගියා. තාත්තා කඩදාසියක ලියපුවා නේද මේ තරම් මිහිරට ඇහෙන්නෙ කියලා පොඩි කාලේ හරි සතුටුයි. ඊටත් වඩා හොඳම මතකය තමයි ඒ කාලේ තාත්තා ලියපු කවි, සිංදු කැසට් මහ හයියෙන් දාලා ගෙදර අයත් එක්ක අහනවා. ඒවා මොනවාද කියලා ලොකු දැනුමක් නොතිබ්බත් පුදුම මිහිරක් හිතට දැනුණා. ඒ විදිහට ඒවා අහනකොට තාත්තාගේ මූණ හරිම සතුටින් එළිය වෙනවා. අදටත් මට මැවි මැවී පේනවා මම තොරණ කතා ලියන්න එකම හේතුව තාත්තාගේ නම තොරණේ ඇහෙනවා දකින්න ඇති උවමනාවයි.

අපේ රටේ නම් දැරූ තොරණ ගණනාවකි. ඒවායෙහි නූතන හඬ හිමිකාරිනිය ඔබයි.?

ඔව්. මිනිසුන්ට මතක හිටින තොරණ ඉදිවුණේ දෙමටගොඩ, පෑලියගොඩ, කැලණි පන්සල, පිටකොටුව, නවගමුව, නවලෝක, යන ස්ථානවල. ඒවා බලන්න ගම්පහ, කොළඹ අවට අය පමණක් නොවෙයි, විවිධ පළාත්වලින් එනවා. මගේ තාත්තා මේ සියලු තොරණවලට කවි, කතා ලිව්වා. ඒ සංවිධායක වරුන්ගේම ඉල්ලීම් වුණේ තාත්තාගෙන් පසු තොරණ කතාව මට ලියන්නටයි. ඇත්තෙන්ම අද අපේ රටේ ප්‍රධාන පෙළේ තොරණ විසි තිස් ගාණක කතා ලියන්නී මමයි. මෙවර සම්බුදු තෙමඟුල වෙනුවෙන් ඉදිවෙන තොරණ තිහකට මට පිටපත් ලියනවා.

අපි ආසයි මේ කර්තව්‍ය සිදු කෙරෙන ආකාරය දැනගන්න.

තොරණ සංවිධායක අය තොරණ නාට්‍ය ශිල්පීන්, කවි - විරිඳු ගයන්නන් එදා පටන් අපේ ගෙදර ආවා ගියා සාමාන්‍ය යෙන් තොරණ පෙන්වන්නෙ වෙසක් දවසට වුණාට අපේ තාත්තා කතාව ලියන්න පටන් ගන්නෙ ඊට කලින් අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ ඉඳලා.

මොකද ඒ කාලේ තාත්තා සෑම අවුරුද්දකම තොරණ විස්සකට වඩා ලියනවා. ඒවායින් බොරැල්ල, තොටළඟ, කැලණිය, දෙමටගොඩ, නවගමුව, පිටකොටුව, නවලෝක, කොට්ටාව වගේ තාත්තා මුල් කාලේ ඉඳලා නොකඩවා කවි ලියූ ඒවා. කොහොමහරි රූප රාමුවලට අනුව ජාතක කවි, විරිඳු දමලා මා ලියුවට පසුවයි චිත්‍ර ශිල්පියා අතින් තොරණේ සිතුවම ඇඳෙන්නේ. ඒ අනුවයි හඬ කැවීම් ශිල්පීන්, ශිල්පිනියන්ට (නළු නිළියන්) පිටපත දීලා හඬ කැවීම සිදුවන්නේ.

මෙතරම් දක්ෂ ලෙස තොරණ කතා ලියූ ඔබේ පියා ගැන සිහිපත් කරන්න.

මගේ පියා මර්වින් සේනාරත්න කවියට, කතාවට, ලිවිල්ලට මෙතරම් සමතකු වුවත් ඔහු වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙක්. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේම, මැලේසියා මහකොමසාරිස් කාර්යාලයේ ඔහු සේවය කළා. ඒ අතරතුර ගුවන්විදුලියට ද සම්බන්ධ වූවා. ‘නොකියාම එදා‘.. ගීතය මගේ තාත්තා අතින් ලියැවුණු ගීත අතරින් ඉතා ජනප්‍රිය ගීතයක්.

ඔබ මුලින්ම ලියූ තොරණ කතාව මොකක්ද?

මගේ තාත්තා අසනීපවීමෙන් අනතුරුව තොරණ සංවිධායකවරුන්ගේ බලවත් ඉල්ලීම අනුව මා තොරණ කතා, කවි ලියන්න පටන් ගත්තා. ඒ අනුව මම මුලින්ම 2016 වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් තොරණ කතාව ලියුවා. හා හාපුරා කියලා කැලණිය තොරණයි ලියුවේ. ඒ ආනන්ද හාමුදුරුවන්ගේ කතා වස්තුවයි. එදා සිට අද දක්වාම වෙසක් කාලය වෙනුවෙන් තොරණ කතා 25 – 30 මා අතින් ලියවෙනවා.

අපේ රටේ තොරණ කතා ලියන එකම කාන්තාව ඔබයි. ඒ අභිමානය දැනෙන්නේ කොහොමද?

ඇත්තටම සතුටුයි. මට පිය උරුමයෙන් ලද දායාදයක් මේ. මම කතාව ලියූ තොරණ බලන්න මම යනවා. මගේ පුතා ඩියොන් ආදිත්‍ය තමයි මගේ තනි නොතනියට යන්නේ. එසේ ගොස් මහා ජනකායක් රස විඳින තොරණ ළඟ හිද තමන් කළ නිර්මාණය රස විඳිමින් අසද්දී හිතට දැනෙන සතුට කියා නිම කළ නොහැකියි. මම වෘත්තියෙන් අත්කම් උපදේශිකාවක්. එහෙත් මගේ තාත්තාගේ නම තවදුරටත් තොරණ පාදමේ ලියවීමටත් මර්වින් සේනාරත්නගේ දියණිය සේනානි සේනාරත්න ලියූ තොරණ කියලා ප්‍රචාරය වීමත් ඇසීම තමයි මගේ ලොකුම ආසාව. මට හතර පද පහළ වෙන්නෙ මගේ තාත්තාගේ උරුමයෙන්. ඒ පුණ්‍ය කර්මයේ ආනිසංස මගේ තාත්තාට ලැබෙන්න ඕනේ.