අමාරුවේ නොවැටී ඔන්ලයින් බඩු ඕඩර් කරමු ද?

ජුනි 10, 2024

 

 අන්තර්ජාලය ගමින් ගමට දොරින් දොරට පැතිරීමත් එක්කම ලෝකයේ එහා කොනේ තිබෙන රටක බඩු බාහිරාදිය අපිට දැකබලා ගැනීමට ඒවායේ මිල ගණන් දැනගැනීමට අවස්ථාව උදා වුණා. එතෙක් කඩපිළට ටවුමට ගොස් ඒ කඩවල තිබෙන බඩු බාහිරාදිය තෝරාගත් අපි ඉන් පසු අන්තර්ජාලයේ ඊබේ, ඇමසන්, අලි එක්ස්ප්‍රස්, බැංගුඩ්, ගියර්බෙස්ට් ආදී අඩවියන් පීරා විවිධ ආකාරයේ බඩු බාහිරාදිය ගැන සොයාබලන්නත් ඒවා ඇණවුම් කරන්නත් හුරු වුණා. ඒ බඩු බැලීමේදීත් බඩු ඇණවුම් කිරීමේදිත් පොඩි පොඩි කාරණා ටිකක් ගැන අවධානය යොමු කළොත් අපේ මුදලුත් ඉතිරි වෙලා භාණ්ඩයත් කලට වේලාවට අතට ලැබෙන්නට හේතු වෙනවා.

 

සෙලර් ඇන්ඩ් සෙලර් රේටින්

 

ඊබේ, ඇමසන්, සහ අලි එක්ස්ප්‍රස් වැනි අඩවිවලදී එම අලෙවි අඩවියේ විවිධාකර වෙළෙන්දන් විසින් විවිධ ආකාරයේ බඩු බාහිරාදිය රැසක් විකුණනවා. ඒ අවස්ථාවලදී ඒ වෙළෙන්දාගේ තත්ත්වය අනුව ඔහු වර්ග කරන්නත් ඒ අඩවි කටයුතු කරලා තිබෙනවා. ඒ හරහා හොඳ රේට් එකක් ඇති පාරිභෝගිකයා විසින් හොඳ රිවිව්ස් ලබා දී ඇති ස්ටෝරුවකින් බඩු ගන්නට තෝරාගත හැකියි.

 

විකිණිලා තිබෙන කෑලි ගණන

 

එකම භාණ්ඩය ස්ටෝරු කිහිපයක තිබෙන අවස්ථාද තිබෙනවා. එවන් අවස්ථාවලදි එම අදාළ භාණ්ඩය හෝ උපකරණය කෑලි කීයක් පමණ විකිණී ඇතිද? ඒ ගැන පවසා ඇති හොඳ නරක මොනවාද කියාත් ඔන්ලයින් අඩවියකදී පරීක්ෂාකර බැලිය හැකිය. කෑලි දහස් ගණනක් විකිණී ඇතිනම් එවැනි තැනකින් භාණ්ඩය මිල දී ගැනීම වඩාත් විශ්වසනීයයි. එසේම නරක කමෙන්ට් රිවීව් අඩු වීමත් හොඳ ඔන්ලයින් භාණ්ඩයක තවත් ලක්ෂණයක්.

 

 

ෂිපින් මෙතඩ් එක

 

ෂිපින් නොමිලේ දාන්නත් පුළුවනි. ඒත් ඇතැම් චීන අඩවිවල මෙම ෆ්‍රී ෂිපින් හරහා බඩු ලංකාවට ඇවිත් අපේ ගෙදරට එන්නට බොහෝ කල් ගත වෙනවා. උදාහරණ විදියට අප වැසි කාලගුණය පටන් ගන්නා සමයක ලස්සන කුඩයක් ඕඩර් කළොත් සාමාන්‍ය චීන අලි එක්ස්ප්‍රස්, බැංගුඩ්, වැනි අඩවියකින් එම කුඩය පැමිණෙන විට නියං සමයකුත් පැමිණ තිබීමට පුළුවන්. ටිකක් වටිනා කියන ඉක්මනින් ඕනා කරන බඩුවක් නම් අපිට ෂිපින් ක්‍රමය වෙනස් කරලා බොහෝම පහසුවෙන් අතට ලැබෙන විදිහට ඕඩර් කරන්නත් හැකියි. DHL හරහා සතියකින්ද EMS හරහා සති දෙකකින් සාමාන්‍යයෙන් බඩු අපේ අතට ගත හැකියි. එහෙත් තවමත් අප රට තැපැල් සේවාවේ පවතින ප්‍රබල දෝෂ හේතුවෙන් ඇතැම් විට කටුනායකින් බාන පාර්සලය අපිට එන්නට සති කිහිපයක්ම ගතවන අවස්ථාද තිබෙනවා.

 

ට්‍රැකින් සහ ඇටෙන්ෂන් එකෙන් සිටීම

 

ඔන්ලයින් අඩවි රැසක්ම අප ඕඩර් කරන ලද භාණ්ඩය තිබෙන්නේ කොතැනද කියා සෙවිය හැකි ට්‍රැකින් පහසුකම සපයා තිබෙනවා. ඒ හරහා අපිට අපේ ඇණවුම හිරවී ඇතිද? ඒ කොතැනකද කියා දැනගැනීමට හැකියි. එසේම බඩු භාණ්ඩ ඇණවුම්කර නිසි කාලය තුළදී අප අතට ලැබුණේ නැතිනම් ඒ පැමිණිලි කිරීමට  කාලයක් අපිට ලැබෙනවා. ඒ කාලයද හමාර වුවහොත් නැවතත් එම බඩුව සම්බන්ධයෙන් අපිට ගන්නට හැකි ක්‍රියාමාර්ගයක් අඩුයි. ඒ නිසා අප යමක් ඇණවුම් කළා නම් අවම වශයෙන් මාසයකට වරක්වත් ඒ ගැන තරමක සෙවිල්ලෙන් සිටීම වැදගත් වෙනවා. මේ ට්‍රැකින්වලදී ලංකාවට බඩුව ඇවිත් නම් මහ තැපැල් කන්තෝරුවට සහ ඔබේ පළාතේ තැපැල් කන්තෝරුවට කතා කරලා බඩු කොහිද කියා බැලීමත් කළ යුතු අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් තැපැල් යනු සේවාවක් වුවත් අප රටදි ඇතැම් විට එය අපේ භාණ්ඩය අප ගොස් ලබාගත යුතු තැනටම පැමිණ තිබෙන අවස්ථා තිබෙනවා.

 

ගෙන්නන භාණ්ඩ සහ පර්මිෂන් ටැක්ස්

 

පිටරටින් විදුලි සංදේශ උපකරණ සහ ස්මාට්ෆෝන් ගෙන්වීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවසරයක් තිබිය යුතුයි. එසේ නොමැතිව වුවද ෆෝන් අතටම එන අවස්ථා තිබුණත් එසේ අවසර නැතිව එන බඩු නවත්වා ඔබට කන්තෝරුව වෙත කැඳවීමටද හැකියි. එවිට යම් බදු මුදලක්ද ගෙවා අවශ්‍ය අවසර ගත් පසු ෆෝන් එක අතට ගැනීමට හැකියි. ඩ්‍රෝන යානා ආදී මාදිලිවල විශාල ඒවා නම් ගුවන් හමුදාවෙනුත් අවසර ගන්නට වෙනවා. එසේම මේ ගෙන්වන භාණ්ඩ තීරුබදුවලට යටත් නොවන නිසා හසුවන ඕනෑම මොහොතකදී එම භාණ්ඩයට අදාළ තීරුබදුද අපි විසින් ගෙවීමට සිදු වෙනවා. අප සාමාන්‍යයෙන් ඇණවුම් කරන බඩු අතටම ලැබීමේ සම්භාවිතාවය වැඩි වුවත් වටිනාකම වැඩි බඩු එසේ තැපැලේ නැවතී තීරුබදු එකතු වීමට හැකියි.

 

ඔන්ලයින්වලට බිය වෙන්න ඕනාද?

 

ඔබ ගෙවා බඩු ඇණවුම් කරන  වෙබ් අඩවිය හොඳ ප්‍රසිද්ධ අඩවියක් නම් එහිදී ගෙවිම් සම්බන්ධයෙන් වැඩිමනක් බිය විමට අවශ්‍ය නැහැ. ඔන්ලයින් ඇණවුම්වලදී ලංකාවට ඒමට පෙර භාණ්ඩය නැති වුවහොත් බොහෝ අන්තර්ජාලිත අඩවිවලින් නැවත මුදල් බැර කිරීමක් ද සිදු වෙනවා. ඔන්ලයින් විදෙස් අඩවිවලින් බඩු ඕඩර් කිරීම කියන්නේ කාලය ඉතිරි කරන බොහෝ විට මිල අඩුවෙන් බඩු ගන්න පුළුවන් ක්‍රමයක්. එය ක්‍රම සහ විධි දැනගෙන අවබෝධයෙන් කළොත් අමාරුවේ වැටීමට ඇති ඉඩකඩ අඩුකර ගන්නට හැකියි.

 

ලංකාවේ තැනක් නම්

 

හැමදාම ඔන්ලයින් ෂොපින් කරන මනුස්සයෙක් වුණත් හිතලා බලන්න ඕනෙ තමන් බඩු ගන්න යන ඔන්ලයින් ෂොප් එක මොකද්ද, ඒක ෂුවර්ද කියන එක. මෙතැනදී ගොඩක් වෙලාවට ජනප්‍රිය, ලංකාව පුරා ශාඛා එහෙම තියෙන සන්නාමයක් නම් ලොකු අවුලක් නෑ. එතකොට අලුතින් පටන් ගත්තු, ඒ තරම් ජනප්‍රිය නැති ඔන්ලයින් ෂොපින් සයිට් එකක් එක්ක වුණත් ගනුදෙනු කරන්න බය වෙන්න ඕනෙ නෑ, තැන ගැන හරියට දන්නවා නම්. දැන් කොහොමද එහෙම දැනගන්නේ? යන්න ඒ ඔන්ලයින් කඩේ ෆේස්බුක් පිටුවට. එහෙම නැතිනම් ඒ කඩේ ගැන ගූගල් සර්ච් කරලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් ඒකට මිනිස්සු මොනවද කියලා තියෙන්නේ කියලා. ආන්න එතකොට තැන හොඳද නරකද කියන එක ගැන අදහසක් ගන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවේ බඩු ඩිලිවර් කරද්දි කලින් ගෙවලා ගන්නත් පුළුවන් ඒ වගේම බඩුව අරගත්තට පස්සෙත් ගෙවන්න පුළුවන්. මේ දෙවැනි ඔප්ෂන් එකට යනවා නම් කිසිම බයක් නැතිව බඩු ගන්න පුළුවන්. ඒවා ගැන සැලකිලිමත් වීම හරිම වැදගත්.