තරුෂි වගේම මමත් ලංකාවට පදක්කමක් ගේනවා

දිනාරා බණ්ඩාර
ජුනි 10, 2024

 

තරුෂි මෙන්ම මලල ක්‍රීඩා පිටියට තවත් අනාගත බලාපොරොත්තුවක් තිබේ. ඇය ද ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දස්කම් පෙන්වන නවක ක්‍රීඩිකාවකි. කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් බිහිවන මේ දක්ෂ ක්‍රීඩිකාව පිළිබඳ අපට බොහෝ බලාපොරොත්තු තැබිය හැකි සාධක රාශියක්ම තිබේ.

දිනාරා බණ්ඩාර ක්‍රීඩිකාව මේ වන විටත් කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩිකාවක් ලෙසින් වාර්තා ගණනාවක්ම තබා තිබීම එලෙසින් බලාපොරොත්තු තැබීමට හේතුවයි.

කුඩා කාලයේදීම ක්‍රීඩාව වෙනුවෙන් යොමු වූ දිනාරා වසර 10 දී පමණ ක්‍රීඩා කිරීම ආරම්භ කරන්නේ ඇයගේ සහෝදරයා වන පවන් බණ්ඩාර ක්‍රීඩා කිරීමට වූ ඇල්ම හා උනන්දුව දැකීමෙනි. මෙලෙසින් ක්‍රීඩා පිටියට එක්වන දිනාරා මේ වන විට ජාත්‍යන්තර තරග ගණනාවකට සහභාගී වී ජයග්‍රහණ ද හිමිකරගෙන සිටියි. ඇයගේ දක්ෂතාවය ගැන අප සමඟ පිළිසඳරකට එක්වෙමින් ඈ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

‘මට පුංචි කාලේ පටන්ම ක්‍රීඩාවට ආසාවක් තිබුණා. ඒ ආසාව ඇති වුණේ මගේ අයියා ක්‍රීඩා කරනවා දැකලා. මුලින්ම මම අයියා ක්‍රීඩා කරනවා බලන්න ගියා. ඊට පස්සේ ටික ටික මටත් දුවන්න ආසාව ඇති වුණා. මම මුලින්ම පාසල් ගියේ ඇලිතියා ජාත්‍යන්තර පාසලට. ඒ පාසලේ ඉගෙන ගන්න කාලේ මම හොඳට ක්‍රීඩා කරන නිසා 9 ශ්‍රේණියේදී මට ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා.

මගේ මුල්ම ක්‍රීඩා ගුරුතුමිය වු‍ෙණ් භද්‍ර ගුණවර්ධන. ඇය මට හොඳ ආරම්භයක් ක්‍රීඩාවට ලබා දුන්නා. ඊට පස්සේ තමයි මට ඒ.ඩි. නන්දාවතී ගුරුතුමිය හමුවුණේ. මේ දෙන්නාගෙන් ලැබුණු උපදෙස් මත මම මීටර් 100 සහ 200 තරඟ ඉසව් දෙකම කළා. 2017 වර්ෂයේදී තමයි මම මුලින්ම සමස්ත ලංකා තරගාවලියේදී මීටර් 100 සහ 200 තරග පළමු ස්ථානය හිමිකර ගත්තේ.

ඊට පස්සේ මගේ පාදයේ ආබාධයක් නිසා ටික කාලයක් ක්‍රීඩා කරන්න බැරි වුණා. නැවතත් මම ක්‍රීඩා පිටියට එකතු වුණේ 2022 වර්ෂයේදී. මම 2023 වසරේදී කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයට සහභාගී වුණා. ඒ තරගයේදී මට ආසියාවේම 8 වැනි ස්ථානයට එන්න හැකි වුණා. මගේ හොඳම තරග කාලය සටහන් වෙන්නේ පසුගිය වසරේ පැවැති කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී. ඒ මීටර් 100 සඳහා 20.02 කාලයකුත්, මීටර් 200 තරගය සඳහා මිනිත්තු 24.72 ක කාලයක්.

මම ක්‍රීඩා කරන අතර මගේ අධ්‍යාපන කටයුතු කිසිම දෙයක් අතපසු ක‍ෙළ් නැහැ. ඒ නිසා මට නීති විද්‍යා පීඨයට ප්‍රවේශ වෙන්න හැකි වුණා. දැන් මම දෙවැනි වසරේ ඉගෙනුම ලබා නීති විද්‍යා ශිෂ්‍යාවක්. ඇත්තටම අධ්‍යාපනයයි ක්‍රීඩාවයි දෙකම සමබරව කරගෙන යන්න මට හුඟාක් උදවු කළේ මගේ මවුපියන්. ඒ දෙන්නා මට විශාල සහයෝගයක් දෙනවා. මගේ මව දිල්ෂා බණ්ඩාර. පියා හස්තික බණ්ඩාර. අයියා දැන් විදේශ රටක සිටියත් ඔහු මට හැමදාම කතා කරනවා. මගේ ක්‍රීඩා කටයුතුවලට උපදෙස් දෙනවා. ඒ සියලු දෙනාගේ ආශීර්වාදය නිසා මට හොඳ ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා.

මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ආසියානු තරගාවලියකදී රන් පදක්කමක් රැගෙන එන්න. මම හිතනවා තරුෂි වගේම මටත් ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙයි කියලා. මගේ ඉගෙනීමේ කටයුතු නිසා සමහර අවස්ථාවලදී ක්‍රීඩා කටයුතු අතපසු වෙනවා. නමුත් තව ටික කාලයකින් මම පූර්ණ කාලීනව ක්‍රීඩාව වෙනුවෙන් කැප වෙලා පදක්කමක් රැගෙන එනවා.

දිනාරා දියණියගේ අපේක්ෂාව වී ඇත්තේ ද තරුෂි මෙන්ම ක්‍රීඩාවේ ඉහළටම යන්නටය. ඇයට ද ඒ ඉලක්කය සපුරා ගන්නට අපහසු නොවේ. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මේ දිනවල ගත කරන ඇය ඉදිරියේදී ඒ ඉලක්කය හඹා යන බව අපට විශ්වාසය.