සුරිඳු පුදට සැම සැරසෙයි දැන් ඔකඳම කහ පාටයි

වන මැද්දෙන් සුරිඳු පුදට - කර පාදෙන් කතරගමට - 01
ජූලි 1, 2024

 

කුරුලු ඇසින් අහසේ සිට බලන්නකුට කහ පැහැති දාස් පෙතියා යායක අසිරි සිරිය උසුලන කරදිය මුසු ලවණ සුළඟින් පිරි හරිතවර්ණ මිශ්‍ර ගුරු පැහැයෙන් බබළන වන බිමකි. ඒ වන බිම මේ දිනවල බැතිමතුන් දහස් ගණනකින් පිරී ඉතිරී ගොසිනි. රූස්ස වනස්පතීන් යට සුවපහසු නවාතැන් සකසා ගත් එම පිරිස දෙවියන් බැහැදැකීම සඳහා වන දුර්ග මැදින් යන අසීරු බැතිබර ගමනට පේවී සූදානමිනි. මෙම ගමන සිංහල බසින් හඳුන්වනු ලබන්නේ පාද යාත්‍රාව ලෙසනි.

හින්දු බැතිමතුන් මෙසේ පාවහන් රහිතව කර පාදයෙන් යාපනයේ සෙල්ල සන්නිධි කෝවිලේ සිට දකුණේ රුහුණු කතරගම මහා දේවාලය වෙත පාගමනින් පැමිණෙන්නේ කදිරේෂන්, මුරුගන් නැතහොත් කතරගම දෙවියන්ට සිදුකරනු ලබන හෘදයාංගම ගෞරවයක්  ලෙසටය.වාර්ෂිකව යෙදෙන මෙම සුබ ගමන සඳහා ඔවුන් පේවී සූදානම් වන්නේ මාස තුනක සිටය.යාපනයේ තොන්ඩමනාරු ප්‍රදේශයේ සෙල්ල සන්නිධි කෝවිලෙන් නැකතට අනුව ගමන් අරඹන මෙම නඩයට තැන් තැන්හිදී විශාල බැතිමතුන් පිරිසක් එක්වන්නේ එකම මඟක යන එකම බලාපොරොත්තුවේ ගමන සාර්ථකව මෙන්ම ආශීර්වාදාත්මකව නිම කිරීම සඳහාය.

මෙසේ උතුරෙන් පාද යාත්‍රාව ඇරඹෙද්දී තවත් එක් සංධිස්ථානයක පිහිටි අරුමැසි දොවොල් බිමක් සූදානම් වන්නේ මේ පැමිණෙන පිරිස පිළිගැනීමට මෙන්ම පහසුකම් සැපයීමටය. එය තමන්ට දෙවියන්ගෙන් ලැබුණු ඉටු කළ යුතුම රාජකාරියක් ලෙස මෙම දෙවොල් බිමෙහි භාරකරුවෝ විශ්වාස කරති. අදහති.සැබෑවටම පාද යාත්‍රාවේ නිල ගමන ඇරඹෙන්නේ මේ ස්ථානයෙනි.එම පාරිශුද්ධ භූමිය දැන් හඳුන්වනු ලබන්නේ ඔකඳ හෙවත් ඕකන්ධ ලෙසටය.

එක් අතකින් මුහුදු සීමාවෙන් වටවන ඔකඳ වන දෙවොල කඳුකර දේවාල කිහිපයකින් සමන්විත වේ.

උතුරේ සිට පැමිණෙන වන්දනා නඩත් අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන බැතිමතුන් සියලුදෙනාත් ඔකඳ දේවාල බිමේදී එකම නඩයක් බවට පත්වේ. පාද යාත්‍රාව නැකතට අනුව නිල වශයෙන් ඇරඹෙන්නේ කුමන වනෝද්‍යාන පිවිසුමෙනි.

ඔකඳ දෙවොල් බිම පාද යාත්‍රාව පිළිබඳ   පුරාවතෙහි සහ කඳ සුරිඳු පුරාවෘත්තයෙහි ප්‍රබල සන්ධිස්ථානයකි. ඉන්දියාවේ සිට පැමිණි ස්කන්ධ කුමරු ඔකඳ වෙරළ තීරයෙන් ශ්‍රී ලංකාවට ගොඩබට බවත්, ඔහු පැමිණි රන් ඔරුව එම වෙරළ අසබඩ නොගැඹුරු මුහුදේ ගලක් බවට පත් කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ. අදට ද ඔකඳ වෙරළේ කෙළවර ඇති "රන් ඔරු ගල" ලෙස හැඳින්වෙන්නේ කඳසුරිඳුන් මෙරටට පැමිණි ඔරුව බව ජන විශ්වාසයේ පවතියි. මෙම ස්ථානයේ ඇති ඔරු බැඳිගල එම ඔරුවට නැංගුරම් ලා බැඳතැබූ ගල බවට ජනකතාවල කියවෙයි.

පාද යාත්‍රාව නිසා ජනාකීර්ණවන ඔකඳ දෙවොල අනෙකුත් දිනවලද බැතිමතුන්ගේ වන්දනා ලබයි. ස්කන්ධ කුමරු පළමුව පා තැබූ බිම ලෙස හින්දු බැතිමතුන්ගේ ගෞරවාදරයට ලක්වන මෙම බිම සිංහල බෞද්ධ ජනතාවගේද වැඳුම් පිදුමට පාත්‍ර වේ.

ඔකඳ දේවාල බිමෙහි ගල් කුළක් මත ඉදිකොට ඇති වල්ලිමාතා දේවාලය වන්දනාකරුවකුට මෙන්ම පරිසරලෝලියකුටද හිත සනසන නෙත නිවන ස්ථානයකි. ඒ මතට ගොඩවූ කල අවට පරිසරයේ සිරිසර නොඅඩුව ඇස් කූඩයට පුරවාගත හැකි වේ. එක් පසකින් මහා වන වදුලකින් සුපෝෂිත මෙම ගිරිකුළට තරමක් ඈතින් ක්ෂිතිජ රේඛාව දිස්වේ. හැන්දෑකරයේ අලංකාර රූ රටා හදමත මවන මෙම සිරි ගිරි දෙවොල නිරතුරුවම බැතිමතුන් විසින් දැල්වූ කපුරු සහ හඳුන්කූරු සුවඳින් සුවඳවත් වේ.

මෙම ගිරිකුළ මත ඇති ශුද්ධ පොකුණ හින්දු බැතිමතුනට සුවිශේෂී ස්ථානයක් ලෙස සැලකේ. වල්ලි මාතාව ස්නානය කළ පොකුණ ලෙස සැලකෙන මෙම පොකුණෙන් දිය නෑම තීර්තම් ලෙස හින්දු බැතිමතුන් හඳුන්වයි.ඔකඳට යන බොහොදෙනා මෙම ශුද්ධ පොකුණෙන් දියනෑම ආශීර්වාදයක් සේ සලකයි.

පාද යාත්‍රාව නිසාම කාර්යබහුල වූ ඔකඳ ප්‍රධාන දෙවොලේ සවස පූජාව සුවිශේෂී එකකි. මෙම බිමට පැමිණෙන සියලුදෙනා කඳසුරිඳුන් නිරතුරුවම රැක බලා ආරක්ෂා කරන බව බැතිමතුන් අදහති.

ඒ නිසාම කඳ සුරිඳුන් කතරගමට ගිය වන මඟ ඔස්සේ රුහුණු කතරගම මහා ‍ෙදවොල පුදා වැඳ නමස්කාර කර භාර හාර පුදදීම හින්දු බැතිමතුන් වාර්ෂිකව බැතිබරව චාරිත්‍රයක් ලෙස ඉටු කරති. කුමන වන උයන මැදින් බාගුරේ,කුඹුක්කන් ඔය හරහා ළිංතුනට පැමිණෙන ඔවුහු වරහනින් කටගමුව ජාතික වන උයනින් කතරගම බලා ගොස් ගමන නිම කරති.

දැන් දහස් ගණනක් සියලු ජාති ආගම්වල බැතිමතුන් ගමනට සුදානමිනි. රාත්‍රිය උදාවෙද්දී ඉවුම් පිහුම් අහවර කරන බැතිමත්හු ඔකඳ දෙවොල් බිමේදී හබලපෙති සකසන්නේ දෙවියන් සඳහා පුදදෙනු පිණිසය. ඔකඳ ගලේ දේවාලයට හබලපෙති පුදදෙන පිරිස් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ බැතිබර වන ගමනේදී තම කණ්ඩායමට රැකවරණය ලබාදෙන ලෙසටය.

"මුරුගන් අපිව බලාගන්නවා.

ඒක ස්ථීරයි"

නාගදීපයේ නාගපූෂානි අම්මාන් කෝවිලේ සිට ඔකඳට පැමිණි ගනේෂන් අපට පවසන්නේ හබලපෙති සංග්‍රහයක්ද ලබාදෙමිනි.

ඔබ කුමන ආගමක කුමන තරාතිරමක අයකුවුවද ඒ හබලපෙති සංග්‍රහය අනිවාර්යෙන් භුක්තිවිඳිය යුතුම වේ. ඉන් හටගන්නා බැඳීම සහ ඔවුන් ලබනා සන්තෝෂය පාද යාත්‍රාව නිමාවනතෙක්ම ඒකාන්තයෙන්ම රැඳී පවතී.

ඔකඳ දෙවොල් බිමට හැන්දෑව උදාවනවිට මුළු භූමියම කපුරු සහ සාම්බ්‍රානී සුවඳින් පිරී යයි. පැණි බත් සුවඳ පරයා නැඟෙන කපුරු සුගන්ධය පසුදින භක්තියේ ගමන අරඹන බවට පරිසරයට සන් කරයි. එතැන්පටන් පූජාවේ යෙදී සිටින සියලුදෙනා නැකැත් දිනයේ උදෑසන වනතෙක් බලා සිටින්නේ කුමන ජාතික වන උයනේ ප්‍රධාන ගේට්ටුව නැකතට අනුව විවෘතවන මොහොත පැමිණෙන තෙක් ය.

මෙය ආශීර්වාදාත්මක පරිසර වන්දනා ගමනකි. ඒ ගමන අප සන්සුන්ව එක් සිත්ව යා යුතුය.