ස්පාවල දියවෙන සුන්දර සමනල ජීවිත

සැප්තැම්බර් 23, 2024

ශ්‍රී ලංකාවේ කලින් කලට විවිධ වසංගත පැමිණේ. ඇතැම් වසංගතයන් සමාජයට සෘජු ලෙස බලපෑම් එල්ල කරනු ලැබේ. එසේ සමාජයට වසංගතයක් වූත් ඇතැම් ව්‍යාපාරිකයන්ට වසන්තයක් වූත් මාතෘකාවක් ලෙස ස්පා හඳුන්වා දිය හැකිය. සම්බාහන මධ්‍යස්ථාන ලෙස බොහෝ කාලයකට පෙර ආරම්භ කළ මෙම ස්පා කාලයාගේ ඇවෑමෙන් කොළඹ ගිල ගත්හ. මේ වනවිට අඩියෙන් අඩියට දැකිය හැකි ස්පා තරුණියන්ගේ ජීවිතය ක්‍රමානුකූලව විනාශය කරා රැගෙන යමින් පවතී. සම්බාහන මධ්‍යස්ථාන ලෙස ආරම්භ කරනු ලබන මෙම ව්‍යාපාර මේ වනවිට ගණිකා මඩම් බවට පත්ව ඇත. මේ හරහා තරුණියන්ගේ ජීවිත ද විනාශකාරී මාවතකට ඇද දා ඇත.

කොළඹ කේන්ද්‍රස්ථානය බවට පත් කර ගනිමින් මෙසේ පවත්වාගෙන යන ස්පා වෙත දිනෙන් දින පැමිණෙන සේවාදායකයන්ට සැප සේවය සැපයීම පිණිස බොහෝවිට සම්බන්ධ වෙනු ලබන්නේ ග්‍රාමීය තරුණියන්ය. ඒ හරහා කෙටි කාලීනව ඔවුන්ගේ ජීවිතය. මුදලින් පොහොසත් වුවද එහි දිගු කාලීන විනාශය ගණනය කළ නොහැකි තත්ත්වයක පවතී.

සුළු වශයෙන් ආරම්භ කළ මෙම ස්පා ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීම ආරම්භ වන්නේ මෑත කාලයේය.

සැබෑ ස්පා යනු සම්බාහනය සඳහා වෙන් වූ වෛද්‍ය අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයකි. මෙම සැබෑ සම්බාහන මධ්‍යස්ථාන හරහා රටට විදේශ විනිමය රැගෙන එන අතර ඒවාහි නිශ්චිත ක්‍රමවේද යටතේ සම්බාහන කටයුතු සිදු කරනු ලැබේ. නමුත් හන්දියක් හන්දියක් ගාණේ එල් ඊ ඩී එළිවලින් පාර කියන ස්පාවල සිදුවන්නේ පූර්ණ වශයෙන්ම ලිංගික ආශාවන් ඉටු කරදීමය. මේ වනවිට ස්පා වැඩි වශයෙන්ම දකින්නට ලැබෙන්නේ තලවතුගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි. මීටර් පනහේ දුරින් ස්පා දහයක් පහළොවක් මේ නගරයේ දක්නට හැකිය. රාත්‍රී කාලයේ අතිශය ජනාකීර්ණ වන එපුරයට බොහෝ කස්ටමර්ස්ලා පැමිණෙන්නේ බොහෝ දුර බැහැර සිටය. ඇතැමුන් මෙම ගමන පැමිණෙන්නේ විශේෂ චාරිකාවක් යන ලෙස සූදානම්වය. ඇතම්විට එක ස්පා නඩයක පිරිස දහයක් පහළොවක් අතර වන තරමට මෙම සෙල්ලම සරුය. ඔවුන් එලෙස පැමිණෙන්නේ තරුණියන්ගේ සුව පහස පතාය.

මෙසේ දිනකට ස්පා වෙත පැමිණෙන පිරිස අනුව සේවය සැපයීමට අවශ්‍ය තරුණියන් පිරිස ගණනය කිරීමට හැකිය. එබැවින් දිනෙන් දින ස්පා වෙත පැමිණෙන තරුණියන් ප්‍රමාණය අතිශය විශාල වන අතර එම එක් තරුණියක් එක් දිනකට අවම වශයෙන් හතර පස් දෙනෙකු වෙනුවෙන් සේවාව සපයනු ලැබේ. එසේ සපයනු ලබන සේවාවන් පිළිබඳ අමුතුවෙන් කතා කළ යුතු නැත. මන්දයත් තෙල් සාත්තුවක් දා ගැනීම සඳහා මෙතරම් පිරිසක් ස්පා වෙත නොයන වග පැහැදිලිය.

මෙලෙස ස්පා වෙත පැමිණෙන යුවතියන් පවසන්නේ දිනකට විශාල මුදලක් සහ සන්තෝසමක් ඉපයිය හැකි බවය.

සන්තෝසම් මුදල තීරණය වන්නේ ලබාදෙන සේවාවේ උපරිමය අනුවය.

මෙහි ඇති ඛේදවාචකය නම් වයස අවුරුදු දාහතේ දහඅටේ තරුණියන් නොදැනුවත්වම මෙම ඉරණමට ලක්වීමය.

අප කළ ගවේෂණයේදී එසේ හමුවූ තරුණියන් කී කතාන්දර මේ බවට සාක්ෂි සපයනු ඇත. එම ඇතැම් කතාන්දර අතර අපට හමුවන්නේ මේ පිළිබඳ නොදැනුවත්වම රැකියාව සඳහා යොමුවූ පිරිසකි.

" මගේ ගම මඩගල්ල. අපේ අක්ක කෙනෙක් හිටිය කොළඹ වැඩ කරන. එයා ගමේ එන්නෙ කැබ් එකක. අඳින්නෙ ලොකු ලොකු ගණන්වල ඇඳුම්. ගාන සෙන්ට් එක එහෙම පට්ට ගාණක ඒවා. මමත් ඇහුව දවසක් මට ජොබ් එකක් හොයල දෙන්න බැරිද කියල. එයා කිව්වෙ ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කියල. අක්ක කොළඹ ගිය දවසේ ඉඳල එයාගෙ ස්ටයිල් වෙනස් වෙලා තිබුණා. මමත් ඉතිං ලස්සනට ඉන්න කැමති කෙනෙක් කියල අක්ක දන්නවා.

එදා කතාවෙන් පස්සෙ අක්ක කිව්වා ජොබ් එකක් නම් තියෙනවා ගිහින් තමයි කරන්න වෙන්නෙ කියල. දවසට රුපියල් හය හත් දාහක් හොයන්න පුළුවන් කියලත් කිව්වා. දවසට රුපියල් හය හත්දාහක් කියන්නෙ මරුනේ කියල තමයි මම කැමතිවුනේ. අක්කා කම්පැනි එකේ කෙනෙක්ට කතා කරල නංගි කෙණෙන් ඉන්නව එක්කන් එන්නද කියල ඇහුවා. එයා ඉස්සෙල්ලම මගේ ෆොටෝ ටිකක් දාගත්තා. ඉන් පස්සෙ OK එක ආව. මේ අතරෙ අක්ක මට කොළඹ සැප ජීවිතේ ගැන ගොඩක් දේවල් කිව්වා. ඇත්තටම මම ඒ විදියට ජීවිතේ ගෙවන්න හීන දැක්කා. මේ අතරෙ තමයි අක්කා ස්පා ගැන කතා කළේ. එතකොට මම අර ජීවිතේ ගැන හීන මවල ඉවරයි. ටික කාලයක් මේක කරල සල්ලි ටිකක් හොයා ගන්නව කියල හිතල තමයි මේ රස්සාවට එන්න හිතුවෙ. ඒත් සල්ලි හම්බෙනකොට ජීවිතේ අමතක වෙලා යනවා. දැන් ජීවිතේ සල්ලි විතරයි. එන එන මිනිහ එක්ක ඉන්න කෙල්ලෙක්ට ජීවිතයක් කියල දෙයක් නෑනේ.

එම කතාව තුළ ඇත්තේ වේදනාත්මක ස්වරයකි. බොහෝ ගම්බද තරුණියන් මේ සඳහා ඇද ගැනීමට ස්පා හිමියන් කරනු ලබන කූට උපායන් බොහෝය. ඉන් පළමුවැන්න මෙම වෘත්තිය සඳහා පිළිගත් වෘත්තීයමය නාමයක් එක් කිරීමය. සම්බාහන මධ්‍යස්ථානවල ඇත්තේ තෙරපිවරියන්ය. තෙරපිවරියන් යනු සම්බාහනය සඳහා නියමිත පුහුණුව ලද වෘත්තිකයන් වුවද මෙසේ හොර සම්බාහන මධ්‍යස්ථාන වෙත පැමිණෙන තරුණියන් තෙරපි ගැන කිසිවක් දන්නේ නැත. මෙසේ පැමිණෙන තරුණියන් තෙරපිවරියන් ලෙස රැකියාවට බඳවා ගනිමින් සිදු කරනු ලබන්නේ ගණිකා සේවයය.

මෙම ලිපිය සඳහා තොරතුරු ගවේෂණය වෙනුවෙන් අප කතා බහ කළ බොහෝ තරුණියන් මේ වනවිට ගණිකාවන් බවට පත්ව හමාරය.

" ගොඩක් අය මේවට එන්නෙ ෆුල් සර්විස් එකක් ගන්න. එන අයගෙන් ගොඩක් කට්ටිය එන්නෙ බීලා. ඉතිං පොඩ්ඩක් හුරතල් වුණාම තියෙන සල්ලි ටික ඔක්කොම දීල තමයි යන්නෙ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙදර හරියට සෙක්ස් ලයිෆ් එකක් නැති එක. ඒකේ අඩුව පුරවගන්න තමයි ගොඩක් අය එන්නෙ. කාමරේට ආව ගමන් ඕනෙ කෙනෙක් කියන කතාවක් තමයි මට ඔයාට ආදරේ හිතුණා කියන එක. සමහරු ලව් බ්‍රේක් වුණාම එන්නෙ මේවගේ තැන්වලට. හැබැයි ඉතිං තාවකාලික සතුටක් අරන් යනවා. මේ තැන්වල ඉන්න කෙල්ලෝ කාලයක් ගියාම මේ ලයිෆ් එකට හුරුවෙනවා. දවසට තුන් හතර දෙනෙක්, දන්නෙම නැති මිනිස්සු එක්ක සිහියෙන් ඉන්න බැරි නිසා මත්ද්‍රව්‍ය වලට ඇඩික්ට් වෙනවා. එතනින් පස්සේ ඉතිං ජීවිතේ ඉවරයි. මේ රස්සාවෙ ඉන්න කිසිම කෙනෙක් මේකේ ඇත්ත එළියට කියන්නෙ නෑ. මොකද මේකට ආවම සල්ලි විතරයි ජීවිතේ. ලැජ්ජාව, බය, බැඳීම් කිසිම දෙයක් කාලයක් යනකොට අදාල වෙන්නෙ නෑ. අනෙක මේකට සෙට් වුණොත් ගැලවීමක් නම් නෑ. ඒකට හේතුව තමයි ඉන්න ඉන්න සල්ලි අතට එනවා. ඒක නිසා වැඩි දෙනෙක් එක්ක ඉන්න තමයි හැමෝම ට්‍රයි කරන්නෙ. ඒකට සෙට් වෙන්න ඩ්‍රග්ස් ගන්න වෙනවා. ඒකට ඇඩික්ට් වුණාම සල්ලි හොයන්න ඕ‍ෙන. පස්සේ මේකෙන් ගැලවෙන්නන වුණාට ඩ්‍රග්ස් මතක් වෙද්දි , ඒකට සල්ලි හොයන්න ඕ‍ෙන කියල හිතෙද්දී ගැලවෙන්න බෑ. මොකද මේ හම්බනෙ සල්ලි එක්ක වෙනම ලයිෆ් එකකට අපි හුරුවෙලා ඉවරයි ඇත්ත තේරෙනකොට.

මෙම තරුණියන්ගේ ජීවිතය මේ වනවිට අඳුරු ස්පා තුළ දියවී අවසානය. නමුත් මෙම තරුණියන් විකුණා ජීවිතය සරු කරගන්නා ස්පා මුදලාලිලා හෙට ද මාන බලන්නේ තවත් එක් හෝ තරුණියක මේ වෙත එක් කර ගැනීමට ය. ඔවුන්ට වුවමනාව අඩුම වයසේ තරුණියන් හැකිතාක් මේ වෙත එක් කරගැනීමටය. වැඩිම ඉල්ලුම පවතින්නේ අඩුම වයසේ තරුණියන්ටය. එබැවින් ගමේ අක්කලාද වැඩිපුරම ඇහැ යවනනේ නංගියකු ස්පා එකට ඩැහැ ගැනීමටය. එක් අයකු ගෙන ඒම වෙනුවෙන් ස්පා හිමියන් අතරමැදියාට විශේෂ මුදලක් පිරිනමන අතර එසේ ගෙනෙන අක්කලා සීනියර්ලා බවට පත්වෙන්නේ තවත් වරප්‍රසාද ලබමිනි.

ස්පා වෙත රැකියාවට යොමුවන ඇතැම් තරුණියන් මෙම රැකියාව සඳහා යොමුවන්නේ කිසිදු කැමැත්තකින් නොවීම ඛේදනීයම කතාන්දරයකි. මතට ඇබ්බැහි වූ තමාගේ ස්වාමියා විසින් මෙසේ ස්පා සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කළ කාන්තාවන්ද ස්පා තුළ දැකිය හැකිය. කාලයාගේ ඇවෑමෙන් මත්කුඩුවලට ඇබ්බැහි වන එම කාන්තාවන්ද මෙසේ සේවය කරනු ලබන්නේ හුදෙක් මත්කුඩු සඳහා මුදලක් ඉපයීමට මිස අන් කිසිවකට නොවන බව කිව යුතුමය.

මෙම ලිපිය හරහා අප කීමට උත්සාහ දරන්නේ ස්පා රස්සාව නිසා ඛේදනීය ඉරණමකට නොදැනුවත්වම ගොදුරුවන සුන්දර කාන්තා ජීවිත පිළිබඳවය. තලවතුගොඩ සහ ඒ අවට ප්‍රදේශයේ දළ වශයෙන් ස්පා එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් දැකගත හැකිය. ඒ එක් ස්පා එකක දස දෙනෙකුන් සේවය කරනවා යැයි අනුමාන කළහොත් සමස්ත තරුණියන් ප්‍රමාණය එක්දහස් පන්සියයකට ආසන්නය. මෙය අනුමානයක් වන අතර සාමාන්‍ය වශයෙන් මෙම ප්‍රදේශයේ පමණක් තරුණියන් තුන් හාර දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම රැකියාවේ නියුතුව ඇත. මෙම තරුණියන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවලින් කොළඹට සංක්‍රමණය වූ අයය. මේ තරුණියන් ස්පාවල සේවය කරන බව අම්මා, තාත්තා, සැමියා හෝ කිසිවකු දන්නේ නැත.

මෙසේ ගණිකා සේවයේ යෙදෙන තරුණියන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ දන්නේද නැත. එබැවින් ඔවුන් ඒ ගැන නොතකා දිනකට දෙතුන් දෙනෙකුට සේවය සපයන්නෝය. ඉන් පසුව ගමට යන ඔවුන් ගමේ සිටින තම පෙම්වතා හෝ සැමියා සමඟද එක්වෙයි. බොහෝ ලිංගාශ්‍රිත රෝග ප්‍රබලව ව්‍යාප්ත වීමට මේ හරහා පහසු මඟක් සැකසේ.

මේ සියල්ලට වඩා මෙසේ විනාශවන ජීවිත අවසන් වන්නේ කිසිවකුටත් සිතා ගත නොහැකි ඛේදාන්තයකිනි. මෙලෙස රටේ තරුණියන් මෙම පාරට ඇද දැමීමට අතරමැදියන් වන්නේද බොහෝවිට කාන්තාවන් ය.

ග්‍රාමීය කාන්තාව රස්සාව සඳහා ඉලක්ක කර ගන්නා ස්පා හිමියන් පළමුව සිදු කරනු ලබන්නේ රැකියාව සඳහා පැමිණෙන කාන්තාවන්ට සුර පුරයක් මවාපෑමය. ඒ සඳහා ඔවුහු ක්‍රමානුකූලව සැලසුම් කරති. මෙසේ ස්පාවල රැකියාව කරනු ලබන තරුණියන් ගමට යන්නේ වෙනස්ම විලාසිතා සහ වෙනස්ම උසස් ජීවන මට්ටමක් මවාපාමිනි. ඒ හරහා ගම්වල තරුණියන් මෙසේ පැමිණි හිතවත් කාන්තාවන්ගෙන් එසේ ජීවත්වීමේ රහස විමසති. වළේ වැටුණු එකා කැමති අනෙකාද වළට ඇද දැමීමේ න්‍යාය භාවිත කරන එම කාන්තාවන් තවත් තරුණියක් මේ නරාවළට ඇද දමන්නේ කමිෂන් මුදලට ඇති තණ්හාව නිසාමය.

චක්‍රයක් ලෙස ගලා යන මෙම ඛේදවාචකය හරිහැටි තේරුම් නොගතහොත් අපේ තරුණියන්ට අනාගතයේ අත්වන ඉරණම කෙසේ වේදැයි සිතිය නොහැකිය.

එක් අතකින් මේ ස්පා තුළ සිදුවන මත්ද්‍රව්‍ය භාවිතයට තරුණියන් වේගයෙන් හුරුවෙමින් පවතී. එසේම මේවාට පැමිණ එක්වන පුද්ගලයන් නිසා විශාල වශයෙන් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වේ. ඒ සැමට වඩා තරුණියන්ගේ ජීවිත විශාල ගණනක් මේ හරහා විනාශ මුඛයට ඇද වැටේ.

ග්‍රාමීය තරුණියන් විශාල ලෙස ගිල ගන්නා මේ ස්පා රකුසාට ඔවුහු බිලිවන්නේ මේ පිළිබඳ සමාජය කතිකා නොකිරීම සහ තරුණියන් මේ පිළිබඳ නොදැනුවත් වීම නිසාය. තෙරපිවරියන් ලෙස නමක් පටබැඳ ඔවුන් මේ බඳවා ගන්නේ ලිංගික ශ්‍රමිකයකු ලෙස බව බොහෝ තරුණියන්ට වැටහෙන්නේ වැට පැන්නායින් පසුවය. එබැවින් මේ ජාවාරම්කරුවන්ගේ උගුලට කිසිම විටෙකවත් හසු නොවීමට සමාජය දැනුම්වත් කළ යුතුව ඇත.

ඔබ නොදැනුවත්වම ඔබත් ස්පා තැරැව්කරුවන්ගේ ගොදුරක් බවට පත්විය හැකිය. ඔබට කවුරුන් හෝ මෙවැනි රැකියාවක් හෝ මේ ආශ්‍රිත රැකියාවක් සඳහා ආරාධනා කරන්නේ නම්, නිතර මෙම රැකියාව ගැන උදම් අනන්නේ නම් ඒ පිළිබඳ ඔබ බුද්ධිමත් තීරණයක් ගත යුතුය.

මන්දයත් ඔවුන්ගේ ඊලඟ ඉලක්කය ඇතැම්විට ඔබ විය හැකිය. ඔබේ සමීපතම යෙහෙළිය ඇතැම්විට මුදලට ඔබව ස්පා එකකට බිලි දිය හැකිය. අප ජීවත්වන්නේ මුදලට ඕනෑම දෙයක් පාවාදෙන සමාජයකය. එබැවින් ඔබ ප්‍රවේසම් වීමට ඔබම වගබලා ගත යුතුය.වළේ වැටුණු පසුව ඉන් ගොඩ ඒම සිතන තරම් පහසු නැත. එබැවින් වළේ නොවැටී සිටීමට කාන්තා සැමදෙනා මේ ජාවාරම් පිළිබඳ දැනුමෙන් සිටීම වැදගත් ය.