වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදර අහස
"අහස් දැන් ඇති මචං. වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඒ දේවල් උඹටවත් මටවත් වෙනස් කරන්න බැහැ. ප්ලීස් බං දැන් මෙතන අඬන්නෙ නැතුව ආපහු ගෙදර යමු. ආන්ටිත් දැන් කෝල් කළා."
“බෑ ශේන් බෑ. මට ආපහු යන්න බෑ. උඹ දන්නවද අර ඈතට යන ප්ලේන් එකේ ඉන්නේ මගේ පණ ටික මචං. ඒ මගේ හුස්ම ටික බං. ඇයි බං ඩැඩී අපිට මෙහෙම කළේ..”
"ආධ්යා.."
මීගමු වැල්ලේ දණින් වැටිලා වටපිට හිටපු මිනිස්සුත් හැරිලා බලන තරම් හයියෙන් මම කෑගැහුවේ මගේ මැණිකට ඇහිලා ආපහු දුවගෙන එයි කියන බොලඳ සිතිවිල්ලෙන්.
ඒත් එක්කම දුකට සැපට මං ගාව ඉන්න මගේ යාළුවා ශේන් මාව වැලඳගත්තා. මට දැනෙන්නේ මගේ හදවතේ කොටසක් ගලවලා දාලා වගේ.
මම අහස් බණ්ඩාර. කෝටිපති ව්යාපාරික පවුලක එකම දරුවා. අද මගේ ජීවිතයම කඩා වැටිලා. මුළු පපුවම හූරගෙන මට දැනෙන්නෙ මහා විරහා වේදනාවක්. අවුරුදු පහක් පුරාවට අහස් බණ්ඩාර, ආධ්යා මිහිරාවි ආදර කතාව බ්රවුන්ස් බීච් එක පුරාවට හරි ලස්සනට ලියැවුණා. මේ මගේ ආදි නැතුව මම බීච් ආපු පළවෙනි දවස. වෙනදා පාරාදීසයක් වගේ දැනෙන බීච් එක අද දැනෙන්නේ මහ පාළු සොහොන් පිට්ටනියක් වගේ.
" අහස් බලපන්, උඹ හොඳටම තෙමිලා. උඹට දැම්ම යන්න බැරි නම් අපි අර ගල උඩින් වාඩිවෙමු. උඔට ඇති තරම් ඉඳල හිත හදාගනින් බං"
" තෑන්ක්ස් ශේන්. මට මේක දරාගන්න අමාරුයි බං. අවුරුදු පහක් පණ වගේ ආදරේ කරපු කෙල්ල තමන්ගෙම නංගි කියල දැනගත්තම..
ශිට්.."
" මට උඹගෙ හැඟීම් තේරෙනවා අහස්. උඹල මැරි කරන්න කලින් ඇත්ත දැනගත්ත එක හොඳයි. උඹ හිත හදාගනින්. ආධ්යා නංගිත් රේණු ආන්ටි එක්ක කොහේ හරි සතුටින් ඉඳීවී. උඹ මේ වෙලාවේ කරන්න ඕනේ හිත හදාගන්න එක.
නොදැනුවත්වම මගේ හිත දුවලා ගියේ අතීතයට..
අදින් මාසෙකට කලින් අපේ ජීවිත තිබුණේ කොතැනද. ගිය මාසේ සිකුරාද දවසක හවස් වරුවේ මමයි මගේ ආදියි අද වගේම මේ බීච් එකේ කොච්චර සතුටින් හිටියද. මට මතක් වෙන්නේ ඒ ආදරණීය දවස. කවුද දැනගෙන හිටියෙ අපි එදා ආදරෙන් ළං වෙන අන්තිම දවස වෙයි කියලා. අපි සතුටින් හිනාවුණ එකම දවස වෙයි කියලා..
ආදිගේ මතකවලින් මිදිලා මං පියවි සිහියට ආවේ ශේන් මගේ පිටට දාපු තට්ටුවත් එක්ක.
" අහස් ආ යූ ඕකේ මචං"
" යෙස් මචං"
"අහස් උඹ අවුල් ගන්නෙ නැත්නම් මම උඹගෙන් ප්රශ්නයක් අහන්නද?"
"ඕෙන දෙයක් අහපන් ශේන්. දැන් මගේ හිතේ රිදෙන්න තැනක් නැහැ"
"ඇත්තටම බං මෙච්චර දෙයක් වෙනකම් ආධ්යා කියන්නේ උඹගේ නංගි කියලා කවුරුවත්ම දැනගෙන හිටියේ නැද්ද? මං අහන්නෙ මචං උඹගේ අම්මලවත්"
"නෑ බං අපේ මමී අහිංසකයි. ඩැඩී අපි හැමෝවම රැවැට්ටුවා. ඩැඩි අන්තිම මොහොත වෙනකම් මේ දේවල් රහසක් විදිහට තමයි තියාගෙන හිටියේ. මං උඹට කියන්නම් ශේන් හැමදේම."
ගිය මාසේ සිකුරාදා අන්තිමට ආදියි මමයි හම්බවුණෙත් මේ බ්රවුන්ස් බීච් එකේමයි. එදා අපි ගොඩක් සතුටින් හිටියා. එදා ආදියි මායි තීරණය කළා අපේ සම්බන්ධය ගැන ගෙවල්වලට කියලා හැමදේම කම්ප්ලීට් කර ගන්න ඕනේ කියලා. එදා මම ගෙදර ගියේ හීන බලාපොරොත්තු ගොඩක් ඔළුවේ තියාගෙන.
එදා රෑ කෑම මේසෙදි අපේ අවුරුදු පහක ආදර කතාව මමීයි ඩැඩීයි එක්ක කිව්වා. ඒ දෙන්නා එක අහගෙන හිටියෙ ගොඩක් සතුටින්. මොකද මටත් දැන් අවුරුදු 28ක් වෙන හින්දා එයාලට ඕෙනකම තිබුණා මාව ඉක්මනට කසාද බන්දලා දෙන්න.
හැබැයි මම ගොඩක් බයෙන් හිටියේ. මොකද මගේ අාදිව ලැබෙන්න කියලා දැනගත්ත දවසෙම ආදිගේ අම්මා යාළුවෙලා හිටපු පිරිමි ළමයා එයාලව දාලා යන්න ගිහින් තිබුණා. යන්න ගිහින් තිබුණා විතරක් නෙමෙයි, පස්සේ හොයලා බලනකොට තමයි ආරංචි වෙලා තියෙන්නේ ආදිගේ අම්මා රැවටිලා තියෙන්නේ කසාද බැඳපු මනුස්සයෙක්ට කියලා. ඒ මනුස්සයා කරලා තිබුණේ ආදිගේ අම්මා වෙච්චි රේණුකා ආන්ටිව හරිම ජරා විදිහට රවට්ටපු එක.
හැබැයි මං මේ විස්තරේ හැමදේම කියනකොට මම නොහිතපු විදිහට මගේ මමී අපේ සම්බන්ධෙට කැමති වුණා. මේ දේවල් කියනකොට ඩැඩීගේ මූණේ පොඩි පොඩි වෙනස්කම් මම දැක්කත් ඩැඩිත් කිසිම වෙනසක් නැතුව අපේ සම්බන්ධෙට කැමති වුණා.
ඊට පස්සේ අපි ආධ්යාලගේ ගෙදරට ගියා. ආධ්යාලගේ ගෙදරට යනකොට අපිව පිළිගන්න ආධ්යාගෙ අම්මා, ආච්චි, ලොකු අම්මා වගේ කීප දෙනෙක් ලෑස්ති වෙලා හිටියා. මුලින්ම ගෙදරට ඇතුළු වුණේ මගේ මමීයි ඩැඩීයි. මම ගියේ එයාලගේ පිටිපස්සෙන්. මගේ ඩැඩීව දැකපු ගමන් ආධ්යාගේ අම්මා ගොඩක් කලබල වුණා.
" ජ.. ජයේ ඇයි ඔයාලා අපේ ගෙදර. කවුද මේ දරුවා. අපේ ආදි දුව යාළු වෙලා ඉන්නෙ ඔයාගෙ පුතා එක්කද?
“රේණු. මෙහ් මේ.. එතකොට ආධ්යා කියන්නේ ඔයාගෙ දුවද?”
රේණුකා ආන්ටිගෙයි, ඩැඩීගෙයි කලබලකාරී හැසිරීම දිහා මමීයි, මමයි බලන් හිටියේ ගොඩක් අවුලෙන්. මොකද අපිට තේරුණා මෙතැන මොකක් හරි දෙයක් තියෙනවා කියලා.
" යනවා යන්න. තමුන්ට දෙන්න දරුවෝ මං හදලා නෑ. දරුවත් එක්ක මාවත් අනාථ කරලා තව එනවද මගේ කෙල්ලව තමුන්ගෙ පුතාට දීග ඉල්ලගෙනත්"
රේණු ආන්ටි එකපාරට කෑගහගෙන අපේ තාත්තගේ කොලර් එකෙන් අල්ල ගත්තා.
"අනේ ජයේ අපි යමු. මේ ගෑනිට පිස්සුද කොහෙද? ගෙදරට ආපු අයට මෙහෙමද සලකන්නේ" මමීටත් හොඳටම තරහ ගිහින්.
මේ සද්දෙ ඇහිලා මගේ ආදිත් කාමරෙන් එළියට ආවා. ආදි එදා ගොඩාක් ලස්සනයි. රෝස මලක් වගේ. මම අරන් දීපු ළා රෝස පාට සාරිය ඇඳගෙන එනකොට මම දැක්කෙ සුරංගනාවියක් වගෙයි. හැබැයි මට ඒ සුරංගනාවිගේ ලස්සන ගොඩක් වෙලා විඳගන්න බැරි වුණා. ඊළඟ තත්පරේදී ආදිගේ ආච්චි අම්මගෙයි, එයාගේ ලොකු අම්මගෙයි මැදිහත්වීමෙන් මේ කලබලය සමථයකට පත් වුණා. හැබැයි අපිට කතා කරන්න වචන ඉතුරු වෙලා තිබුණෙ නැහැ. අපිට තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. කොටින්ම අපිට හුස්ම වැටෙනවද කියලාවත් අපි දැනගෙන හිටියේ නෑ. රේණුකා ආන්ටි මගේ ආදිව බදාගෙන ඉකිගගහා අඬනකොට, ආදිගේ ආච්චි අම්මා අපිට මුළු කතාවම කිව්වා. අවුරුදු විසිපහකට කලින් රේණුකා ආන්ටිව රවට්ටලා බඩට දරුවෙක් දීලා පැනල ගිය ඒ වනචර මිනිහා වෙන කවුරුවත් නෙමෙයි, ඒ මිනිහා මගේ තාත්තා.
සැරින් සැරේ කෝල් කර කර ආදිගේ අම්මට ආදිව නැති කරන්න කියපු මිනිහා වෙන කවුරුවත් නෙමෙයි මගේ තාත්තා. මම ඉපදිලා අවුරුදු තුනක් වෙනකොට මගේ තාත්තා රේණුකා ආන්ටිත් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන තිබුණා. නෑ.. හරියටම කිව්වොත් තමන් තනිකඩයෙක් කියලා රේණුකා ආන්ටිව හරිම පහත් විදිහට රවට්ටලා දරුවෙක් දීලා මගේ තාත්තා එයාගේ පවුල් ජීවිතේ හරි ලස්සනට ගෙවලා තිබුණා. මමත්, අම්මත්, තාත්තත් අපේ ජීවිත හරි ලස්සනට ගෙවන අතරේ ආධ්යාව හදා වඩා ගන්න රේණුකා ආන්ටි නොවිඳිනා දුක් විඳලා තිබුණා.
"රේණුකා නංගී, ආධ්යා දුව අනේ මට සමාවෙන්න. මං මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. මේ මිනිහා ඔයාලව වගේම මාවත් රවට්ටලා. අදින් පස්සේ මට මේ මිනිහා එපා. මම මේ මිනිහව ඩිවෝස් කරනවා. ඩිවොස් කරන්න බැරි වූණොත් මං මේ මිනිහගෙන් වෙන්වෙලා වෙනම ජීවත් වෙනවා. ආධ්යා දුව මට සමාවෙන්න. ඔයා, අහස්, කියන්නේ, එක අම්මගේ කුසින් ඉපදුණේ නැති වුණාට සහෝදරයෝ."
මගේ අම්මා කියාගෙන ගියේ වේදනාවෙන්.
" රේණුකා, ආදි දුව මට සමාවෙන්න. අහස්, ශ්රීජා දහස් වාරයක් මට සමාවෙන්න. මේක හදන්න බැරි වැරැද්දක්. පව්කාරයා මමයි. මේ පව්කාරයට කවදාවත් සමාව ලැබෙන්නේ නැති බව ඇත්ත. අහස් ඔයා කල්පනාවෙන් වැඩ කරන්න. පිළිගන්න අකමැති වුණත් ආධ්යා කියන්නේ ඔයාගේ නංගි. ඔයාගෙම නංගි. ඒ නිසා කවදාවත් මේ මැරේජ් එක නම් කරන්න එපා පුතේ. මම පුතාට වැඳලා කියන්නම්. ශ්රීජා, මට සමාවෙන්න මම දන්නවා ඔයා මට කවදාවත් සමාවක් දෙන්නේ නැහැ කියලා."
ඩැඩී එහෙම කියලා එතැනින් යන්න ගියේ ආධ්යාටත්, රේණුකා ආන්ටිටත් ඩැඩීගේ දේපළවලින් කොටසක් ලියල දෙන පොරොන්දුව උඩ. අම්මටයි, මටයි කොහොමත් ඩැඩීගේ දේපළයි, බිස්නසුයි අයිති වෙනවා කියලා ඩැඩී කියලමයි ගියේ. ඩැඩී තාමත් හිතාගෙන ඉන්නේ හැම වැරැද්දක්ම සල්ලිවලින් වහන්න පුළුවන් කියලා.
ඒත් දෙයියනේ හිතක් කැඩුණහම ඒක හදන්න සල්ලි කොච්චර තිබුණත් බැහැ. මගේ හිතේ ඩැඩී ගැන තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්.
අාධ්යා මගේ ළඟට ඇවිල්ලා "මට සමාවෙන්න අයියේ" කියලා කකුල් දෙක අල්ලලා වඳිද්දි මට දැනුනේ මගේ මුළු ආත්මෙම කඩාගෙන වැටෙනවා වගේ.
ඕක තමයි ශේන් කතාව. මම එදා ඉඳන් මගේ ආදිව කොච්චර කන්ටැක් කර ගන්න උත්සහ කළාද. ආදිගේ ගෙදර ඉස්සරහ මම කොච්චර රස්තියාදු වුණාද. අන්තිමට මගේ ආදි රේණු ආන්ටිත් එක්ක ලංකාවෙන් යන්නම ගියා අද.
මගේ කරුමක්කාරකමට අන්තිම මොහොතේවත් මට මගේ ආදිගේ... නෑ මගේ එකම නංගිගේ මූණවත් බලාගන්න බැරි වුණා. මං පරක්කුයි හැමදාම වගේ මම පරක්කුයි. මම යනකොට ආදිගේ ෆ්ලයිට් එක උස්සලා ඉවරයි.
ශේන් යමක් කියන්න උත්සාහ කළත් මම ඔහුට ඒකට බාධා කරලා ඉඳගෙන හිටපු ගලෙන් බැහැලා මුහුදු වෙරළට ඇවිදගෙන ගියා. ඇඟිල්ලෙන් මුහුදු වෙරළේ "ආධ්යා" කියන නම ලොකුවට ලියලා බලාගෙන හිටියා.
ටිකක් දුර ශේන් එක්ක ඇවිදගෙන ආව මම ආපස්ස හැරිලා බලනකොටම, "ආධ්යා" නම සුදු පාට ලොකු මුහුදු රළකින් මැකිලා ගියා.