ඔයාගෙ ෆෝන් එකෙත් No sim card කියලා වැටෙනවද?

නොවැම්බර් 18, 2024

අද කාලයේ ෆෝන් එකක් පාවිච්චි නොකරන කෙනෙක් හොයාගන්න නැතිම තරම්. ඒ තරමට මොබයිල් ෆෝන් එක ජීවිතයට නැතුවම බැරි වෙලා. හැබැයි මේ නැතුවම බැරි ෆෝන් එකේ සිද්ධ වෙන සමහර පුංචි පුංචි දේවල් නිසා ඔබේ දෛනික කටයුතුවලටත් බලපෑම් වෙන්නත් පුළුවන්. No sim card කියලා වැටෙන එකත් ඒ විදිහෙ ගැටලුවක්. හැබැයි මෙහෙම දෙයක් වුණාම ගොඩක් වෙලාවට ඒක නැවත හරිගස්සන්න වෙන්නේ සිම් එක ගලවලා, නැවතත් සිම් එක දැම්මට පස්සේ. ඒත් ඉතින් කාටහරි කෝල් එකක් ගන්න වෙන හදිසි අවස්ථාවක එහෙම වුණොත් සිම් ගලව ගලව ඉන්න ගියොත් වෙන්න තියෙන දේ වෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා නිතර නිතර එහෙම වෙන්නේ ඇයි කියලා බලලා ඒකට පිළියමක් යෙදීමයි කළයුතු වන්නේ.

බොහෝ වෙලාවට සිම් එක නිවැරදිව ඇතුළු කර නොමැති වීම මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඇතැම් විට සිම් එක බුරුල් වී තිබෙනවා විය හැකියි. මේ නිසා සිම් එක ඉවත් කර, තත්පර 30ක් පමණ සිට එය නැවත ස්ථාපනය කරන්න. නැවත දැමූ විට ගැටලුව විසඳීමට වැඩි ඉඩක් තිබෙනවා. 

සිම් එකේ මතුපිට අපිරිසුදු වී තිබීම ද මෙයට හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා සිම් එක ගලවා පිරිසුදු රෙදි කඩකින් පිස දමන්න උත්සාහ කරන්න. එහි  මතුපිට මෘදු ලෙස පිරිසුදු කර ගත යුතුය. සිම්පතේ මතුපිට අතින් ස්පර්ශ කිරීමෙන් වළකින්න. අතින් ස්පර්ශ කිරීම නිසා සිම් එක මත කුණු, තෙල් ආදිය තැවරෙන්න පුළුවන්. සිම් එක කිසිවිටෙක ජලයෙන්, සබන්වලින් හෝ ඇල්කොහොල්වලින් පිරිසුදු නොකළ යුතුය. ඒවා නිසා සිම් එක සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙන්න පුළුවන්.

එමෙන්ම SIM slot එක අපිරිසුදු වී තිබීම නිසා ද සිම්පත නොපෙනී යා හැකියි. සිම් එක ගලවා ඉවත් කර එම සිදුර පිරිසුදු කර ගන්න. සම්පීඩිත වායු දහරාවක් (පීඩනයක් සහිත සුළං පහරක්) මඟින් එය සිදු කළ හැකිය.

සිම් එක දිරා ගොස් තිබේ නම් හෝ සීරී තිබේ නම් ද මෙම ගැටලුව මතු වෙන්න ඉඩ තියෙනවා. සිම් එක නිතර නිතර ගලවමින් නැවත ඇතුළු කරනවා නම් සිම් එක සීරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සිම් එක කියන්නේ දිරාපත් වන දෘඪාංග කොටසක්. ඉතින් වසර ගණනාවකට පසුව එය ස්වාභාවිකවම දිරාපත් වෙලා යනවා. මෙවැනි අවස්ථාවකදී ඔබ කළ යුත්තේ පැරණි සිම් එක ඉවත් කර, එම අංකයටම නව සිම්පතක් ලබා ගැනීමයි. 

මෑතකදී බාගත කළ යෙදුම් තවත් හේතුවක් වෙන්න පුළුවන්. ඒවා එකින් එක ඉවත් කර පරික්ෂා කර බලන්න ඔබට පුළුවන්. 

Cached data මකා නොදමන විට ඒවා එකතු වෙනවා. ඇතැම් විට මේවා මකා දැමීමෙන් ගැටලුවට විසඳුම හිමි වෙනවා.

 දුරකතනයේ තියෙන සුළු දෝෂයක් නිසාත් මෙම තත්ත්වය උදා වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ දුරකතනය ඕෆ් කර නැවත ඔන් කිරීමයි. හැබැයි මෙය නිතර සිදු කිරීම සුදුසු නැහැ. එමඟින් දුරකතනයේ දෘඪාංගවල ගැටලු ඇති විය හැකියි. මේ නිසා No SIM Card ලෙස දිස් වන සෑම වාරයකදීම මෙම විසඳුම අත්හදා බැලීම සුදුසු නැහැ.

මෙසේ සිදු වීමට හේතුව Network settingsවල දෝෂයක් වෙන්නත් පුළුවන්. එම නිසා Network settings වෙත පිවිසී Reset කර බලන්න.

 Operating system එක යාවත්කාලීන කර නොතිබීම තවත් හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා නිතරම යාවත්කාලීන කර තබා ගන්න.