වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බුකර් සාහිත්‍යය සම්මාන දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාවි
මෙවර බූකර් සාහිත්‍ය සම්මානය කාන්තාවකට හිමි වීම ලොව පුරා කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. එසේ බූකර් සම්මානය දිනා ගත්තේ සමන්තා හාවි ය.
බුකර් ත්‍යාගය, සාහිත්‍ය සම්මානයක් වන අතර එක්සත් රාජධානිය හා අයර්ලන්තය විසින් වසරේ හොඳම, ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු නවකතාවට මෙම සම්මානය පිරිනමන අතර බ්‍රිතාන්‍ය පවුම් 50,000ක මුදල් ත්‍යාගයක් ද ඊට හිමිය. ඇගේ ලේඛන ජීවිතයේදී සෑම නිර්මාණයක්ම ලෝකය ඉදිරියේ කතා බහට ලක්වන තරම් අනර්ඝ නිර්මාණ වීම ඇගේ විශේෂත්වයයි.
සමන්තා හාවිට එම බුකර් සම්මානය හිමිවූයේ orbital නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි. orbital නවකතාවට පාදක වන්නේ, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටින පිරිමි ගගනගාමීන් දෙදෙනකු සහ කාන්තා ගගනගාමීන් සිවු දෙනකු මුහුණ දෙන අත්දැකීම්ය.
සමන්තා හාවි, orbital නවකතාව ඉතාමත් අලංකාර ලෙස රචනා කර ඇති බවත්, එය ඇගැයීමට ලක් කිරීමක් ලෙස මෙම වසරේ සමන්තාට බුකර් සම්මානය පිරිනැමීමට තීරණය කළ බවත් බුකර් විනිසුරු මඬුල්ලේ ප්‍රධාන විනිසුරු එඩ්මොන්ඩ් දේ වාල් පැහැදිලි කර ඇත.
සමන්තා හාවි විසින් රචිත (orbital) නම් ඉංග්‍රීසි නවකතාවට මෙවර බුකර් ත්‍යාගය හිමිවන බව නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ 2024 නොවැම්බර් 12 වෙනිදා ලන්ඩනයේ old Billingsgate හිදීය.
orbital නවකතාව පිටු 136 කින් සමන්විතය.
අඩු පිටු ගණනකින් යුත් නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, අභ්‍යවකාශයේ සිදුවීම් පෙළක් සහිත නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. 2023 ඔක්තෝබර් පළමුවෙනිදා සිට 2024 සැප්තැම්බර් අතර කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබූ ඉංග්‍රීසි නවකතා මෙම සාහිත්‍ය සම්මානය සඳහා සලකා බලනු ලැබීය. 2024 ජූලි 30 දින නවකතා රචකයන් 13 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මෙම සුප්‍රසිද්ධ නවකතා රචකයන් අතර Colin Barrett, Ritta Bullwin kel, Yael van der wouden කැපී පෙනුණි. බුකර් ත්‍යාගය උදෙසා වූ විනිශ්චය මඬුල්ලේ ප්‍රධානියා වු එඩ්මුන්ඩ් ඩි. වාල් ප්‍රකාශ කර ඇත්තේ, හාවේගේ නවකතාව තුළ භාවිත කර ඇති භාෂා විලාසය හා එහි තියුණු බව තුළින් ඇය අපව ආගන්තුක වූ අලුත් ලෝකයකට ගෙන යාමට සමත්වී ඇති බවයි. වාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හාවිගේ නවකතාව ඔස්සේ, ලෝකයේ සුන්දරත්වය සේම බිඳෙනසුලු බව ද ඉතාම මැනවින් විස්තර වී ඇති බවයි. සමන්තා හාවි මීට පෙර ද විවිධාකාර සාහිත්‍ය සම්මානවලට හිමිකම් කී තැනැත්තියකි. ඇයට ලැබුණු මේ බුකර් සම්මානය එක්සත් රාජධානියේ අයර්ලන්තයේ පිරිනමන ඉහළම කීර්තිමත් සාහිත්‍ය ත්‍යාගය වේ.
සාහිත්‍ය ග්රන්ථ අතර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට ලෝකයේ විශාල තැනක් හිමි වන අතර සමන්තා හාවිගේ orbital නවකතාව ද ඉතාම සාර්ථකව පාඨකයා අතරට යන බව නොඅනුමානය. මෙවර බුකර් ත්‍යාගය පිළිගනිමින් හාවි ඇයගේ කතාවේදී පවසා ඇත්තේ, මහපොළොවට එරෙහි නොවන්නන් හා ඒ වෙනුවෙන් පෙළ ගැසී සිටින්නවුන් සමඟින් ද මානව දයාවට කැපවූවන් සමඟින් ද ඇය තම ත්‍යාගය බෙදා ගන්නා බවයි.
එහිදී ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලෝක සාමය උදෙසා හඬක් නඟන්නා වූත් ඒ වෙනුවෙන් කැප වී වැඩ කරන කොටස් ද මෙම බුකර් ත්‍යාගයේ සම කොටස්කරුවන් බවයි. සමන්තා හාවිගේ orbital නවකතාව, බුකර් ත්‍යාගයක් හිමිවූ ප්‍රථම අභ්‍යාවකාශ විෂයය හා සම්බන්ධ ග්රන්ථයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
නවකතා 156ක් අතුරින් බුකර් ත්‍යාගය දිනාගත් orbital කෘතිය ඉතාම ඉහළින් ඇගැයුමට ලක් කළ එඩ්මුන්ඩ් ඩී. වාල් පවසන්නේ, හාවිගේ කෘතිය තුළින් පාඨකයින්ට අභ්‍යවකාශය, ග්‍රහලෝක, ගගනගාමීන් පිළිබඳ අලුත් ආකාර දැක්මකින් බැලීමට ඉතා සුන්දර අවස්ථාවක් හිමි වී ඇති බවයි. ජූරි මණ්ඩලය ඉතා ප්‍රසිද්ධ නවකතාකරුවන්ගෙන් සැදුම්ලත් එකක් වූ අතර ගිය වසරේ බුකර් ත්‍යාගය හිමිකර ගනු ලැබුවේ අයිරිෂ් ජාතික ලේඛක Paul Lynch ගේ “ප්‍රොපට් ගීතය” කෘතියටයි. මෙවර සමන්තා හාවිට බුකර් ත්‍යාගය හිමිවීම වසර 5කින් කාන්තාවක් මෙම ඉහළම සම්මානයට පාත්‍ර නොවීමේ හිඩැස පිරවූයේය.
ඉදිකරන්නකුගේ දියණියක් වන හාවි, මවුපියන්ගේ දික්කසාදය වන තෙක් ඇගේ ජීවිතයේ පළමු දශකය ගත කළේ කෙන්ට්හි මේඩ්ස්ටෝන් අසල ඩිටන් හි ය. ඉන් පසුව, ඇගේ මව අයර්ලන්තයට ගිය අතර, හාවි ඇගේ නව යොවුන් විය ගත කළේ යෝර්ක්, ෂෙෆීල්ඩ් හිදීය. හාවි යෝර්ක් විශ්වවිද්‍යාලයේ සහ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය හැදෑරීය. ඇය 2005 දී බාත් ස්පා විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛන MA පාඨමාලාව සම්පූර්ණ කළාය. ඇය නිර්මාණාත්මක ලේඛන පිළිබඳ ආචාර්ය උපාධියක් ද සම්පූර්ණ කර ඇත.
ඇගේ පළමු නවකතාව වන The Wilderness (2009), ඇල්සයිමර් රෝගය වර්ධනය වන මිනිසකුගේ දෘෂ්ටිකෝණයෙන් ලියා ඇත. ඇයගේ දෙවැනි නවකතාව, All Is Song (2012), සදාචාරය සහ පුත්‍ර වගකීම් පිළිබඳ නවකතාවක් වන අතර, ප්‍රශ්න කිරීම සහ අනුකූල වීම අතර තේරීම පිළිබඳ නවකතාවකි.
ඇගේ තුන්වැනි නවකතාව වන Dear Thief යනු ත්‍රිකෝණ ප්‍රේමයක චිත්තවේගීය බිඳවැටීම විස්තර කරන කාන්තාවක් ඇගේ නොපැමිණෙන මිතුරාට ලියන ලද දිගු ලිපියකි. හාවිගේ සිව්වැනි නවකතාව වන The Western Wind, පහළොස්වැනි සියවසේ සමර්සෙට්හි පූජකයෙකු ගැන, 2018 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. එසේ ලේඛන කලාවේ දිගු ගමනක් ආ හාවි රචිත Orbital නවකතාව වෙනුවෙන් ඉහළම සාහිත්‍ය සම්මානය දිනා ගත්තාය.