වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නියම පිරිසුදු පොල්තෙල් ගෙදර හිඳගන්න කුඩා ව්‍යාපාරයකටත් කදිම උපකරණයක්
කාන්තා දිනය වෙනුවෙන් පාඨකයන් තිදෙනෙකුට මේ උපකරණය නොමිලේ
කොරෝනා වසංගතයත් සමඟ මිනිසුන්ට ජීවිතය ආවර්ජනය කරන්න අවස්ථාවක් උදා වුණා. අතීතයේ පැවැති දර ළිප, කුස්සියේ තිබුණු මෝල් ගස, වංගෙඩිය, කුරහන් ගල, මිරිස් ගල තියෙන වටිනාකම තදින්ම දැනුණා. වස විෂ නැති පොල් තෙල් ටිකක් ගෙදරම හිඳගැනීමේ වටිනාකම ගැන තදින්ම දැනෙන්න ගත්තේ පසුගිය වසරේ අලුත් අවුරුද්ද ළං වෙනකොටමයි.
ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක රසායන අඩංගුවීම. පොල් තෙල් සමඟ එළවළු තෙල් කළවම් කිරීම ගැන විවිධ කතා කාලයෙන් කාලයට මතු වෙනවා.
කොහොම වුණත් නැවතත් ‘අප රට දේ සිරි සැප දේ පිටරට දේ අපට නොවේ’ කියන තත්ත්වයට දැන් පාරිභෝගික ජනතාව පත් වෙලා. දැන් ගැටලුව අපේම රටේ පොල් තෙල් වුණත් හොඳම පිරිසුදු නියම පොල්තෙල් සොයා ගැනීමයි. ඒ ගැටලුවට ක්ෂණික විසඳුමක් නැති වුණත් පුංචි උත්සාහයක් කළොත් පිටරටවලින් පොල්තෙල් ආනයනය කිරීම නැවැත්වීමටත් අපට පුළුවන්.
මේ උත්සාහයට කදිම ප්‍රවේශයක් සපයන උපකරණයක් නිෂ්පාදනය කරන්න අපේම රටේ ආයතනයකට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ මධ්‍යස්ථානය නැතිනම් අප කවුරුත් දන්න නර්ඩ් මධ්‍යස්ථානය තමයි මේ උපකරණය නිර්මාණය කිරීමට දායක වුණේ. මේ ආයතනය නිර්මාණය කරන උපකරණ අතර පොල් තෙල් නිෂ්පාදනය කරන මේ උපකරණය ගෘහස්ථ උපකරණයක් ලෙස තමුන්ගේ නිවෙසට ප්‍රමාණවත් තරමට ඉතාම පිරිසුදු පොල් තෙල් නිෂ්පාදනය කර ගන්න හැකිවීම විශේෂ වාසියක්. එසේම සරල ආකාරයට නිර්මාණය වූ මේ උපකරණය අඩු මුදලකට මිලදී ගැනීමටත් අවස්ථාව උදාවී තිබෙනවා.
තමුන්ගේ නිවෙසේදීම ඉතාම පහසුවෙන් විනාඩි කිහිපයකින් නැවුම් පොල්තෙල් (vergin Coconut oil) සාදා ගැනීමට හැකි මේ උපකරණය නිෂ්පාදනය සඳහා තාක්ෂණික දැනුම හා පර්යේෂණ සිදු කර තිබෙන්නේ නර්ඩ් ආයතනය. ඒ වගේම මේ උපකරණයේ පේටන්ට් බලපත්‍ර සහතිකය හිමිකරගෙන තිබෙන්නේ ද මේ ආයතනයමයි. පොල් ගෙඩියකින් තමුන්ගේ නිවෙසේදීම පොල්තෙල් නිෂ්පාදනය කරන මේ උපකරණයේ ඇති වාසි ගැන අපට වඩාත් හොඳින් විස්තර කිරීමට එක්වුණේ නර්ඩ් ආයතනයේ අලෙවි සහකාර අධ්යක්ෂ දිල්රුක්ෂි පතිරණ මහත්මියයි. ඇය එහි ඇති වාසි හා ගුණාත්මකබව ගැන අපට මැනවින් පැහැදිලි කළේ මෙලෙසින්.
“තමුන්ගේ නිවෙසේදීම කුඩා පරිමාණයේ පොල් ගෙඩියකින් නියම ස්වාභාවික, ගුණාත්මක පොල්තෙල් මිලි ලීටර් 100 ක යන්ත්‍රයක් තමයි අප මුලින්ම නිෂ්පාදනය කළේ. එම කුඩා යන්ත්‍රයට අමතරව පොල් ගෙඩි 3 - 5 ප්‍රමාණයක් යොදාගෙන ස්වභාවික පොල්තෙල් මිලි ලීටර් 300 ක ප්‍රමාණයක් ලබාගත හැකි උපකරණයකුත් නිෂ්පාදනය කර තිබෙනවා. මේ නැවුම් පොල් තෙල්වල විශේෂත්වය වන්නේ 100% ක් ස්වාභාවික වීමයි. එසේම මේ උපකරණයෙන් තෙල් නිස්සාරණය කිරීමේදී කිසිම රත්වීමකට භාජනය වෙන්නේ නැහැ. ඒ නිසා විටමින් හා පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම සුරක්ෂිතව පවතිනවා. එසේම මෙහි මේද අම්ල ප්‍රමාණය 0.15 - 0.2 ප්‍රමාණයක් පවතින්නේ කිසිම රසායනික සාන්ද්රණයකට භාජනය නොවන නිසයි. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ පොල්තෙල් ටික දිනකින් මුඩු නොවීමයි. බොහෝ විට ඔබ පොල්තෙල් වෙළෙඳපොළෙන් මිලදී ගත් විට ටික දිනකින් මුඩුවීම සිදුවෙනවා. නැතිනම් රත්කර නිවෙසේදීම තෙල් සිඳීම කළත් ඉතාම ඉක්මණින් මුඩු වෙනවා. එහෙත් මේ උපරකණයෙන් නිස්සාරණය කර ගන්නා තෙල් දීර්ඝ කාලයක් හොඳින් තබා ගන්න පුළුවන්.
එසේම මේ උපකරණය මිලදී ගෙන ඔබට කුඩා පරිමාණයේ ස්වයං රැකියාවක් නිවෙසේම ආරම්භ කරන්නත් හැකියාව තිබෙනවා. පොල් ගෙඩියක ප්‍රමාණයේ සිට පොල් ගෙඩි 100 දක්වා නිස්සාරණය කළ හැකි විවිධ ප්‍රමාණයට නිෂ්පාදනය කළ උපකරණ 04 ක් අප හඳුන්වා දී තිබෙන්නේ නිවාස, ආයතන හා හෝටල් යන සෑම ආයතනයකට සරිලන ආකාරයටයි. මේ උපරකණයේ පොල් නිස්සාරණයේදී පොල් දීර්ඝ කාලයක් අව්වේ වියළා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. පොල් ගෙඩිය හොඳින් ගාගත් පසු අව්වේ පැය 2 ක් තරම් වියළා ගැනීම ප්‍රමාණවත්. මෙසේ පොල් තෙල් නිස්සාරණය කරගත් පසු එයට මඳ රස්නය ඇති ජලය එක්කර පොල් කිරි සාදා ගැනීමටත් හැකිවීම විශාල වාසියක්. එය ඔබට ව්‍යංජන සඳහා යොදා ගන්නත් පුළුවන්. එයින් ඉතිරිවෙන පොල් කුඩු ටික පවා ප්‍රයෝජනයට ගන්න දක්ෂ ගෘහණියකට හැකියාව තිබෙනවා. අප විවිධ ප්‍රමාණයේ නිෂ්පාදනය කළ මෙම උපකරණවලින් විශාල ප්‍රමාණයේ උපකරණ සදහා හයිඩ්‍රොලික් ජැක් හා මෝටර් යන්ත්‍ර පවා යොදා ගෙන තිබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කිරීමටයි. නමුත් ගෘහස්ථ උපකරණ දෙකම ක්‍රියා කරනු ලබන්නේ අතින්. ඒ සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.
අප මේ උපකරණ විශේෂ වට්ටමක් සහිතව අලෙවි කිරීම සඳහා අලෙවි නියෝජිතයන්ට භාරදී තිබෙන්නේ ඉතාම වගකීමෙන් යුතුවයි. එසේම මේ උපකරණය සඳහා අප ආයතනය මඟින් වගකීම් සහතිකයක් පවා පිරිනමන බව දන්වන්නේ ඉතාම සතුටින්. ඔබටත් මේ උපකරණයක් ඔබගේ නෑ හිතමිතුරන්ට තෑගි කිරීමට අවශ්‍ය නම් හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අපට කතා කරන්න. නිරතුරුවම ඒ සඳහා මඟ පෙන්වීම ලබාදීමට අප සූදානම්.”
අප පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මේ උපකරණය පිළිබඳ පළ කළ ලිපිය සඳහා අපගේ පාඨකයන්ගෙන් ලැබුණේ විශාල ප්රතිචාරයකි. එය මිලදී ගැනීමට ඇති ආයතනයක් පිළිබඳ අපගෙන් විමසමින් තවමත් දුරකතන ඇමතුම් දිනපතාම ලැබෙයි. මේ උපකරණය නිෂ්පාදනය කිරීමට නර්ඩ්ස් ආයතනය මඟින් නිෂ්පාදන ආයතන කිහිපයකට බාරදී තිබේ. එම ආයතන අතුරින් මිනුවන්ගොඩ ‘ස්වශක්ති‘ බහු කාර්යය උපකරණ නිෂ්පාදන ආයතනය අපගේ පාඨකයන් හට සහන මිලකට එය ලබාදීමට කැමැත්ත පළකර තිබීම ඔබට සුබ ආරංචියකි. එසේම එම ආයතනය එලෙස නිෂ්පාදනය කරන ගෘහස්ථ පොල්තෙල් සිඳින උපකරණ 3ක් අපගේ පාඨකයන් තිදෙනකුට තිළිණ කිරීමටද අප සමඟ එකඟ වී ඇත.
ඔබත් ඒ සදහා උනන්දුවක් දක්වන්නේ නම් වැඩි විස්තර දැනගැනීම සඳහා 011-2429591 - 2 අප අමතන්න.
ඔබත් මෙම උපකරණය හිමිකර ගැනීමට උනන්දුවක් ඇති නම් මෙහි පළවන කූපනය පුරවා පහත ලිපිනයට යොමු කරන්න. තිදෙනකුට මේ උපකරණය හිමිකර ගැනීමට අවස්ථාව හිමි වේ.
ලිපිනය:-
තරුණී,ලේක්හවුස්, කොළඹ - 10.
වැඩි විස්තර සඳහා
0112429591 - 92 අමතන්න.
සටහන
දුමින්ද කාරියවසම්