වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
රටට ඩොලර් වැහි ගේනා යටියන්තොට උණ බට ගම
සොබාදහම අපට උරුම කර දුන් දෑ බොහෝය. මිනිසා සහ සොබාදහම අතර වූ මේ සැබැඳියාව තුළ එකිනෙකට වෙන් කළ නොහැකි වූ නිර්මාණ ද බිහි වෙයි. වස්දඩු රාවය තුළින් මැවෙන සියුම් ස්වරය ද එවැනිම දායාදයකි. මේ අපූර්වතම වූ වස්දඬුව තුළින් මැවෙන සප්ත ස්වරයට වඩා බොහෝ දෑ මිනිසා විසින් නිර්මාණය කරන්නේ මිනිසා තුළ වූ නිර්මාණාත්මක කුසලතාව හා තාක්ෂණික ශිල්පීය ඥනයෙහි.
මෙවැනි තාක්ෂණික නිර්මාණ කුසලතාව ඔප් නංවමින් උණ ලීයට වටිනාකමක් එක් කරමින් සිත් ඇදහිය නොහැකි වූ නිර්මාණ බිහි කරන පිරිසක් හමු විය. ඒ සුන්දර කැලණි ගං මිටියාවතේ පැලැල්ලේගම ගම්මානයෙනි. තම ශිල්පීය කුසලතාවය තුළින් සුමුදු දෑඟිලි මතින් මැවෙන ඔවුන්ගේ එම නිර්මාණ දැක ගන්නට අප පසුගිය දිනක එහි ගියේ යටියන්තොට නගරය පසු කරමින් තවත් කිලෝමීටර් අටක් තරම් දුරක් ගෙවා කැලණි ගඟ හරස් වූ මාර්ගයක ගමන් කරමිනි.
සොබා දහමින් සුසැදි අති රමණීය භූමි ප්‍රදේශයක් වූ මෙම උණ කර්මාන්ත වැඩපොළ බිහි වන්නේ කැලණි කලා ශිල්ප සමාජය මුල්කර ගනිමිනි. වසර පහකට පෙර ආරම්භ වූ මෙම උණ කර්මාන්ත වැඩබිම සකස් වී ඇත්තේ පැලැල්ලේගම පත්තිනි දේවාලය ඉදිරිපස වූ පුංචි කඳු ගැටයකය. පැලැල්ලේගම ප්‍රාථමික විද්‍යාලය පිහිටි මේ භූමිය දැන් කාර්යබහුල වැඩබිමකි. මේ වැඩබිමට අප ළඟා වන විට ද තරුණ තරුණියන් කිහිපදෙනකු තම වැඩ කටයුතු ඉතාම උනන්දුවකින් කරගෙන යන අයුරු දකින විට ඇති වූයේ මහත් සතුටකි. තුරු ලතා ගොමු මැද බිහි වූ මේ මනස්කාන්ත භූමිය පුරාම අප නෙත ගැටෙන්නේ විවිධ වර්ගයේ උණ පඳුරුය. සම්ප්‍රදායික වැඩබිමකට වඩා වෙනස් වූ මෙහි තම නිර්මාණ කරමින් සිටි ශිල්පීන් ස්වාධීනව තම කාර්යයන්හි නිරත වන අතර මේ වටිනා කටයුත්ත පිළිබඳ අදහස් දැක්වීමට එක් වූයේ කැලණිය කලා ශිල්ප සමාජයේ සභාපති නිමල් පලිහක්කාර මහතාය. දක්ෂ නිර්මාණ ශිල්පියකු ලෙස ජනාධිපති සම්මාන හා තවත් සම්මාන රැසක් ලබා ඇති ඔහු දක්ෂ කැටයම් මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙස මේ වටිනා කටයුත්ත ආරම්භ කිරීමට පුරෝගාමී වූ නියමුවා ද වෙයි.
දේශීය කලාව හා නිර්මාණකරණය වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ ඔහු ප්‍රදේශයේ බොහෝ දෙනකු ආදරයෙන් හඳුන්වන්නේ කැටයම් නිමල් ලෙසිනි.
සහජ කුසලතා තුළින් නිර්මාණ කටයුතු සඳහා යොමු වූ නිමල් පලිහක්කාර මහතාගේ අප්‍රතිහත ධෛර්යය මත බිහි වූ මේ කර්මාන්ත ශාලාව හා උණ බට කර්මාන්තය දේශීය කර්මාන්තයක් ලෙස දියුණු කිරීම තුළින් අප රටට හිමිවන ප්රතිලාභ හා මේ කර්මාන්තයේ පවතින ගැටලු ගැන ද අපට විග්රහ කළේ පුළුල් ප්‍රායෝගික අත්දැකීම් සමුදායක් එක්තැන් කරමිනි.
“මේ උණ බට කර්මාන්ත ව්‍යාපෘතිය අප ආරම්භ කළේ මීට වසර පහකට පෙරයි. කැලණි කලා සමාජයේ නියමු ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කිරීමට මූලික හේතුවක් වුණේ මේ ප්‍රදේශයේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම හා ප්‍රදේශයේ තරුණ පිරිසට රැකියා උත්පාදනයයි. ඇත්තෙන්ම මෙය අප හිතුවටත් වඩා සාර්ථක වුණා. කැලණි ගඟ කියන්නේ මේ ප්‍රදේශයට තිබෙන ලොකුම සම්පතක්. මේ සම්පත රැක ගනිමින් රැකියා උත්පාදනය කිරීම සඳහා හොඳම විකල්පයක් ලෙස උණ බට වගාව හඳුනා ගත්තේ පරිසරවේදීන් විසින් කරපු දීර්ඝ කාලීන සමීක්ෂණයකට අනුවයි. ගඟ දෙපස ඉවුරු ඛාදනයට හොඳම විසඳුම උණ ගස් වගාව බව දීර්ඝ කාලයක පටන්ම අප කතා කරනවා. නමුත් උණ වගා කිරීම හැර එයින් අපට ලැබෙන ආර්ථික වටිනාකම ගැන කවුරුවත් හිතුවේ නැහැ.
අපි කලා ශිල්පීන් ලෙස මේ කටයුත්තට මුල පිරුවේ තවත් ආයතන කිහිපයක සහයෝගයෙන්. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික ශිල්ප සභාව සහ ජාතික මෝස්තර නිර්මාණ ශිල්ප ආයතනය යන ආයතන සියල්ලේම සහයෝගය ඇතිව තමයි මේ ස්ථානය කේන්ද්‍ර කරගෙන මේ කර්මාන්ත ශාලාව ආරම්භ කළේ. මෙය දේශීය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමෙන් ලැබෙන වාසි ගණනාවක් තිබෙනවා. වර්තමානයේ අපේ රටට විදේශ විනිමය ලැබෙන ඩොලර් ඉපයීමේ අවශ්‍යතාව තදින්ම තියෙනවානේ. ඒ සඳහා හොඳම මාර්ගයක් ලෙසින් උණ බට කර්මාන්ත ආශ්රිත නිර්මාණ හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම තමයි උණ බට කර්මාන්තයක් ලෙස දියුණු කිරීමෙන් පරිසරය ආරක්ෂා වෙනවා. උණ ගස් වගාවෙන් ගං ඉවුර ඛාදනය වැළකීම විතරක් නොවෙයි. උණ බට ආශ්රිත නිර්මාණ ප්ලාස්ටික් සඳහා හොඳම විකල්පයක්. උදාහරණයක් ලෙස දැන් අපි උණ ගස් යොදා ගනිමින් වතුර බෝතල් හදනවා. එම බෝතල් හරිම ආකර්ෂණීයයි. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතයි. ප්ලාස්ටික් බෝතලයක් භාවිතයෙන් පසු පරිසරයට මුදා හැරීමෙන් සිදුවන හානිය ඉතාම අවම කර ගන්න මේ බෝතල් හොඳ ආදේශකයක්. මේ බෝතල් පාසල් දරුවන්ට පවා හඳුන්වා දෙන්න අපට පුළුවන්. ඇත්තෙන්ම මේ බෝතල් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම අප හඳුන්වා දී තිබෙන සිසිල් බීම බොන බට (Soft Drink straw) ඉතාම සාර්ථක නිෂ්පාදනයක්. ඒ සඳහා දැන් අපට විශාල වශයෙන් ඇණවුම් ලැබෙනවා. මේ බීම බටයක් එක් වරක් නොවෙයි කිහිපවරක් වුණත් පිරිසුදු කරලා ගත්තහම පාවිච්චි කරන්න පුළුවන්. එය පරිසර හිතකාමී ආදේශකයක් ලෙස මෙරට පමණක් නොවෙයි විදේශිකයන්ගේ පවා අවධානයට යොමු වෙලා තියනවා. අප හඳුන්වා දුන් නිර්මාණ අතුරින් ඒ තවත් පරිසර හිතකාමී නිර්මාණ දෙකක් විතරයි. මේ නිර්මාණවලට අමතරව ලාම්පු ආවරණ, කුඩා රුවල් නැව් නිර්මාණ, ටේබල් මැට්ස්, පුටු මේස පවා දැන් මේ කර්මාන්ත ශාලාවේ හදනවා.
මේ කර්මාන්ත ශාලාවේ පස් දෙනෙක් පමණ නිර්මාණ දැනට සාදනවා. මේ ස්ථානයේ සිටින මේ ශිල්පීන්ට අමතරව ස්වාධීනව තමුන්ගේ නිවාස තුළ නිර්මාණ කාර්යයෙහි නිරත පිරිසකුත් සිටිනවා. ඊට අමතරව මේ නිර්මාණ කාර්යෙහිදී අවශ්‍ය වෙන තාක්ෂණික උපකරණ සකසා ගැනීමේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අමතරව දේශීය පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් ඔවුන්ගේ තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට ඉදිරිපත් වී සිටිනවා. ඒක අපට විශාල ශක්තියක්.
මෙලෙසින් දේශීය කර්මාන්තයක් ලෙස උණ බට කර්මාන්තය දිවයින පුරාම ව්‍යාප්ත කිරීම තුළින් ගෘහ ආශ්රිත කර්මාන්තයක් ලෙසත්, පරිසර හිතකාමී නිර්මාණ රැසක් බිහි කළ හැකි අතර වාසි රාශියක් අත්කර ගත හැකි වෙයි. එසේම මේ හරහා වක්‍ර ලෙස රැකියා රැසක් උත්පාදනය කළ හැකි බව අපට පැහැදිලිව අවබෝධ විය.