වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොවිඩ් වසංගතයෙන් ඔබ්බට සිතන්නට යමක්.....
දුරස් වීමෙන් ඇතිවන මානසික බලපෑම
තාක්ෂණික මෙවලම් නිසා මිනිසා මිනිසාගෙන් ඈත් වුව ද මිනිසා යනු සමාජ ජීවියකි. තමන් අසල සිටින්නා සමඟ කතා නොකළ ද සමාජ වෙබ් අඩවි හරහා මිතුරු සමාජ ඇතිකර ගන්නේ එබැවිනි.
නව වසංගතය නිසා එකිනෙකාගෙන් විමසීමට සිදුවී ඇත්තේ දුරස් වන්නට මේ ලෙසින් කිමද ඇයි අප හමුවුණේ ? කියාය. මෙ කාලයේදී වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ගතින් දුරස් වන්නේ හැබෑවටම සිතින් ළංවූ අයයි.
සමාජ දුරස්ථභාවය සහ හුදෙකලා වීම අතර වෙනසක් පවතියි. සමාජ දුරස්ථභාවය කායිකව කෙනකු කෙනකුගෙන් දුරස් වීමය. සෙනඟක් මැද වුවද පුද්ගලයකුට හුදෙකලා වීමට පුළුවන.
මානව සබඳතා මානවයාගේ පැවැත්මට අත්‍යාවශ්‍යය. විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට හුදෙකලා වීමට සිදු වීමෙන් විවිධ කායික මානසික ගැටලු පැන නැඟිය හැකිය. ඇල්ෂයිමර්,
ඩිමෙන්ෂියා වැනි රෝග ඇතිවීමට වැඩි ඉඩක් පවතිනවා සේම අකාලයේ මිය යාමට වුවත් පුළුවන. හුදෙකලාවී දිගු කලක් සිටින විට අකාලයේ මියයාමේ ඉඩ වැඩියි.
සමාජ දුරස්ථභාවය සමඟ සිපවැලඳ ගැනීම්වලට ද සමු දීමට සිදුව තිබේ. ආදරණීය ස්පර්ශයකින් අවදි වන්නේ සතුට ගෙනදෙන හෝර්මෝනයක් වන ඔක්සිටොසින් හෝර්මෝනයයි.
අලුත උපන් බිලිදා සහ මව අතර බැදීම ඇති කිරීමේදී ඔක්සිටොසින් මඟින් මාහැඟි කාර්ය භාරයක් ඉටු වෙයි. විශ්වාසය, කාංසාව, ලිංගික උත්තේජනය ආදී විවිධ මානසිකත්වයන්හිදී ඔක්සිටොසින් වැදගත් මෙහෙයක් සිදුකරයි. සිරුරේ ඔක්සිටොසින් හෝර්මෝන මට්ටම අඩු වීම ආතතිය, කාංසාව ඉහළ නංවන කරුණකි. අත් ඇල්ලීම මඟින් කෙනකුගේ වේදනාව දුරු වන බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ.
රැකියාවට යාම වැනි සුපුරුදු කාර්යයන්හි නිරත වීමට ඇති බාධාවන් ද මානසික සෞඛ්‍යයට අහිතකරව බලපායි.
මෙවැනි කාලයක සමහරුන්ට නින්ද නොයාමට, මත් ද්‍රව්‍ය වැනි නරක දෙයට ඇබ්බැහි වීමට, මානසිකව විඩාපත් වීමට ඇති ඉඩ වැඩිය.
ව්‍යායාම කරමින් කායික සෞඛ්‍ය පවත්වා ගැනීම මෙන්ම මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීම ද වැදගත් වෙයි. වැඩිහිටියන්ට කෙටි පණිවිඩ, ස්කයිප් ආදී විවිධ තාක්ෂණික උපක්‍රම යොදා ගැනීමට පුළුවන. වගාකිරීම, කුරුල්ලන් නැරැඹීම වැනි යහපත් විනෝදාංශ, යෝගා වැනි ව්‍යායාම, අලුත් යමක් ඉගෙන ගැනීම, පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් දිවි ගෙවීම වැනි විවිධ ක්රමෝපායන් මඟින් තනිකම පහසුවෙන්
දුරුකර ගතහැකිය. මේ අන් අය ගැන බියෙන් සැකෙන් දිවි ගෙවිය යුතුකාලයක් නොවෙයි. රෝගයක් නිසා හුදෙකලා වන බව වටහා ගෙන පෞද්ගලික සනීපාරාක්ෂාව හොඳීන් පවත්වා ගෙන යමින් ජීවත් විය යුතු කාලයකි.
ඩෙංගි - කොවිඩ් 19 භයානක සුසංයෝගයක්
මේ කාලයේ මුළු ලෝකයම නව කොරෝනා වෛරසය ළඟ නතර වී ඇත. කොරෝනා - කොවිඩ් - 19 මුව මුව රැව් දෙන එකම වදනයි.
කොරෝනා වසරේ ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබුණ ද දිව මැද ඇති දත් මෙන් අප තවත් සෞඛ්‍ය තර්ජන ගණනාවකටම මුහුණ දෙමින් සිටින බව අමතක නොකළ යුතුය.
අධික උණුසුමත් විටින් විට ඇද හැළෙන වැස්සක් පවතින මෙවන් කාලයක අනිවාර්යයෙන්ම හිස ඔසවන රෝගයක් වන්නේ ඩෙංගිය (ඩෙංගු). සමකයට ආසන්න රටක ජීවත් වන විට ඩෙංගි සහ කොරෝනා එකවර වැළඳීමට ඇති ඉඩ හොඳටම වැඩිය. මෙය ඉතා භයානක තත්ත්වයක් වන්නේ රෝග දෙකෙහි සමාන ලක්ෂණ නිසා වරදවා වටහා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්තාව වැඩි වීමයි. රෝග දෙකම මාරාන්තික විය හැකිය. එක් පුද්ගලයකු රෝග දෙකටම ගොදුරු වුවෙහාත් තත්ත්වය වඩාත් බරපතළ වෙයි.
නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් අපට කොරෝනා වළක්වා ගත හැකි සේම වත්තෙ පිටියෙ ජලය එක් රැස්වන තැන් නැති කිරීම මඟින් ඩෙංගි රෝගය මේ කාලවකවානුවේ හිස එසවීම අපට වළක්වාගත හැකිය.
ඇඳීරි නීතිය පවතින වර්තමානය තරම් එය ඉතා පහසුවෙන් කළ හැකි කාලයක් යළි උදාවේවිදැයි සැකසහිතය.
උපදෙස්
සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයෙන් සහ මනෝ වෛද්‍ය
විශේෂඥ රූමි රූබන්
-------------------------------
මේ ගැනත් සිතන්න
ලෝක යුද්ධයක, න්‍යෂ්ටික බෝම්බ ප්රහාරයක පලවිපාක දවසින් දෙකින් අවසන් වන්නේ නැත. විසි එක් වැනි සියවසේදී ලෝක ප්‍රජාවට වසංගතයේ තරම මේ යැයි කියා දුන් කොවිඩ් - 19 ප්‍රතිඵල ද තවත් වසර දෙකක කාලයක් යනතුරුවත් දරුණු ලෙස මුළු ලෝක වාසීන්ටම භුක්ති විඳීන්නට සිදුවනු ඇත. එනිසා ඉදිරියටත් අප පරෙස්සම් විය යුතු කරුණු බොහෝය.
* අත්‍යාවශ්‍ය සේවකයන් සීමිත වශයෙන් රැකියා ස්ථානවලට ගෙන්වා ගත්ත ද වායු සමීකරණය කළ සැප දායක කාමරවල කල් ගත කිරීමේදී අප සැලකිලිමත් විය යුතුය.
චීනයෙන් වූහාන් නගරයෙන් පිටත රෝගය පැතිර ගියේ ජනවාරි මාසයේදී වූහාන්වලින් පැමිණි පවුලක් ගුවෑන්ෂෞ නගරයේ වායු සමීකරණය කළ අවන්හලකින් කෑම ගෙන පැමිණියාට පසුවය.
ඔවුන් අසල මේසවල සිටි අනෙක් සියලුම පුද්ගලයන්ට රෝගය බෝවිය. වසංගතයට මුල පිරී ඇත්තේ එතැනිනි.
මේස අතර පරතරය මීටරයක් පමණ තිබී ඇති අතර සෙම් බිඳීති මඟින් රෝගය පැතිරෙන බවට අනුමානකර ඇත්තේ ඉන්පසුවය.
වෛරස් වාතයේ රැඳෙන්නේ ස්වල්ප වේලාවකි.
බිඳීති ගමන් කරන්නේ ද කෙටි දුරකි. එහෙත් මෙවැනි වායු සමීකරණ යන්ත්‍ර මඟින් අසල ස්ථානවලට පමණක් නොව ඉන් ඔබ්බට ද වෛරසය පතුරවයි.
ආපන ශාලාවල නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්විම සඳහා ඔවුන් පැමිණෙන්නන්ගේ උෂ්ණත්වය මැන බැලීමටත්, මේස අතර පරතරය වැඩි කිරීමටත් වාතාශ්‍රය වැඩි කිරීමටත් පියවර ගෙන ඇත.
මෙය සැබැවින්ම අපේ රටේද ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරියේදී මේ රෝගය පමණක් නොව වෙනත් වෛරස් රෝගයක් වුව පැතිරීමේ අවදානමෙන් මිදිය හැකිය.