වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වැස්සත් එක්ක එන ඉන්ෆ්ලුවෙන්සා
අපිට ඔන්න මේ දවස්වල ගංවතුර තත්ත්වයන් දක්වාම අධික වර්ෂාපතනය. ඉතින් මේත් එක්කම ලෙඩ රෝග පැතිරී යාම වැඩියි. පසුගිය සමයෙහි ඇති වූ අධික දාහය, පිපාසය වැනි හේතුන් මුල්කොට ගෙන නිතර නිතර සිසිල් ජලය පානය කිරීම, සිසිල් බීම කෘත්‍රිම පැණි බීම වර්ග පානය කිරීම, දිනකට කිහිප වාරයක් ඇල්දිය සේවනය කිරීම, ද්‍රව බහුල ආහාර නිතර නිතර පරිභෝජනය කිරීම, වායු සමීකරණය කළ ස්ථාන පරිහරණය කිරීම, විදුලි පංකා නිතර භාවිතය යනාදී කරුණු හේතු කොටගෙන වර්ෂාවත් සමඟ සෙම කෝප වී සෙම ජනිත උණ රෝගය හට ගනී. මෙහිදී සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, අධික නිදිමත, හිසදරය වැනි ලක්ෂණ ඇති වන අතර, සමහර රෝගීන්ට වමනය හා පාචනය හටගනී. මෙකී රෝගී තත්ත්වයන් පහළ වේ නම් වෛරසයක් මඟින් ව්‍යාප්තවන ඉන්ෆ්ලුවෙන්සා නම් රෝගය යැයි හඳුනාගත යුතුය.
රෝගය බෝ වීම සිදු වන්නේ සමීප ආශ්රයෙන් හා වැරැදි සෞඛ්‍ය පුරුදුවලිනි. කිවිසුම් යැවීෙම්දී, වේගවත් කැස්සකදී, හඬනඟා කතා කරන විටදී හෝ සිනාසෙන විටදී මුඛයෙන් පිටවන කෙල බිඳිති එසේත් නැතිනම් සොටු දියර මඟින් රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.
මේ රෝගය වැලඳීමට හා උත්සන්න වීමට වැඩි හැකියාවක් ඇති පිරිස අතරට ගැබිනි මව්වරුන්, වයස අවුරුදු 02ට අඩු දරුවන්, ශරීර ශක්තිය දුර්වල වයස අවුරුදු 65 ඉකුත් වූවන් ආදී පිරිස අැතුළත් වේ. එසේම ඇදුම, පීනස ආදී රෝගයන්ගෙන් පෙළෙන පිරිස හා දිගු කාලීනව දියවැඩියා රෝගයට ගොදුරුවූවන්ට මෙම රෝගකාරක වෛරසය පහසුවෙන් ශරීරයට ඇතුළු වීමේ ප්‍රවණතාව වැඩියි.
එසේම මෙම රෝගය කුඩා දරුවන් කෙරෙහි කරන බලපෑම ඉතාමත් තදබලය. මෙහිදී කුඩා දරුවන් කිරි උරා බීම හා දියර වර්ග පානය කිරීම ප්‍රතික්ෂේප කරති. එබැවින් ශරීරය අප්‍රාණික නම් එවිට ශරීරය විජලනයට පත්වෙන අතර ඊට සාපේක්ෂව මුත්‍රා පිටවීම අඩු වේ. මෙහි සියලු ශාරීරික පීඩනයන් නිසා දරුවන් නොසන්සුන්කාරී බවක් දැකිය හැකියි.
මේ රෝගයට ආයුර්වේද ප්‍රතිකාර අතීතයේ සිටම හඳුන්වා දී තිබේ. වාතය හා සෙම ප්‍රබල වීම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපායි. එබැවින් රෝගයෙන් ආරක්ෂා වීමට ප්‍රථම පියවර වශයෙන් ශරීරයේ වාතය හා සෙම සමබරතාවයෙන් තබා ගැනීම වැදගත් වේ. බාහිර පරිසරයේ සීතල හා අධික උණුසුම වැඩි මෙවන් කාලවලදී ශරීරය තුළ ද සෙම හා වාතය වැඩි වීමේ ඉඩකඩ පවතී.
රෝගයෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග
* දිරවීමට පහසු උණුසුම් සුප් වර්ග හා කැඳ පානය කිරීම.
* උණුසුම් ජලය පානය කිරීම.
* පෝෂ්‍යදායි, පහසුවෙන් දිරවිය හැකි ආහාරපාන උණුවෙන් භාවිත කිරීම.
* කැස්ස හෝ කිවිසුම් පිටකරන අවස්ථාවල දී නාසය හා මුඛය ආවරණය කිරීම.
* දෑත්වලින් නාසය, මුඛය නිතර නිතර ඇල්ලීම නොකළ යුතුය.
* දෑත් සබන් හෝ විෂබීජ නාශක දියර යොදා සෝදා පවිත්‍ර කිරීම.
* ජනාකීර්ණ ස්ථානවලින් බැහැර වීම.
* විවේකීව සිටීම.
ළදරුවකු මෙම රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් නොනවත්වාම මව්කිරි දීම සිදුකළ යුතුය.
එසේ කිරීමෙන් රෝගයට ඔරොත්තු දීමේ ශක්තියක් ඇති කරයි.
රෝගයෙන් ආරක්ෂා වී සිටීමට නම්,
ප්‍රතිශක්තිය වඩන ආහාර හා ඔෟෂධවලට යොමුවිය යුතුය. සිසිල් ජලය හෝ සිසිල් පාන වර්ගවලින් අෑත්වීම ඉතා වැදගත්ය.
* මදුරුතලා කොළ, විෂ්ණුක්‍රාන්ති මුල්, ගම්මිරිස් යන මේවා තම්බා උදය, සවස පානය කිරීම.
* මදුරුතලා කොළ, ගම්මිරිස්, ඉඟුරු, කුරුඳු යන මේවා සීනි ස්වල්පයක් සමඟ පානය කිරීම.
* අබ තෙල් බිංදු කීපයක් ආඝ්‍රාණය කිරීම.
* රාත්‍රී නින්දට පෙර උණු ජලය වීදුරුවක් පානය කිරීම.
* දෙහි යුෂ, මී පැණි සමඟ පානය කිරීම.
* නෙල්ලි, පැණි දොඩම්, දෙහි ආහාරයට ගැනීම.
* කොහොඹ කොළ තම්බා නිවුණු පසු එම ජලයට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීම.
* ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, ගම්මිරිස් තම්බා බීම කළ හැකියි.
බොහෝ විට රෝගය බෝවන්නේ රෝගියා සමීපව ඇසුරු කරන අයගේ නොසැලකිලිමත් බව හා වැරැදි සෞඛ්‍ය පුරුදු නිසාය. එබැවින් ඒ සඳහා නිසි චර්යා විධි අනුගමනය කිරීම යහපත් සමාජ මෙහෙවරක් බව සිතිය යුතුය.
කෙසේ වෙතත් ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පහළ වී ඇත්තම් අනවශ්‍ය ලෙස කල් නොමරා වහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතාමත් වැදගත් වේ. ඉන් රෝගියාටත් අවට සමාජයටත් සෙත සැලසෙනවා නොඅනුමානයි.
උපදෙස් -
ආයුර්වේද වෛද්‍ය
කාන්ති මදුරප්පෙරුම