SEX කියන්නෙ Art එකක්

සැප්තැම්බර් 23, 2024

ආදරය, විවාහය සහ ජීවිතය සම්බන්ධව කතා කරද්දී ලිංගික ජීවිතය ගැන කතා නොකරම බැරිය. ලිංගිකත්වය පවුලක බැඳීම ශක්තිමත් වෙන්න වැදගත් වන තවත් එක් පුරුකකි. මොකද නිදි යහනේදී හරි සතුට නොලැබීම පවුලේ දෛනික කටයුතු නීරස වෙන්නත් හේතුවක් විය හැකිය.

 

ඇතැම් කාන්තාවන් කියන්නේ ලිංගික එක් වීම දැඩි වේදනාවක් ගෙන දෙන්නක් බවයි. ලිංගිකව එක් වීමත් එක්තරා කලාවකි. එය නිසියාකාරව සිදු නොවන විට වේදනාවක් මිස සැපයක් නොදැනේ. ලිංගික උත්තේජන ක්‍රියාවලිය තුළ පිරිමි පාර්ශ්වය ලිංගික උත්තේජනය වෙන්න ලොකු උත්තේජක අවශ්‍ය නැහැ, පොඩි උත්තේජකයක් සංවේදනය වීම තුළ, ඒ කියන්නෙ අපේ පංචේන්ද්‍රියන්ට සංවේදනය වන පොඩි සිදුවීමකින් පිරිමි කෙනෙක්ගේ ඉන්ද්‍රිය ප්‍රාණවත් වෙනවා.

 

ඉතින් එහෙම වුණ ගමන් කාන්තාවත් ඒ ක්ෂණිකව සූදානම් කියලා හිතාගෙන ලිංගික කාර්යය කරන්න ගනිද්දි මොකද වෙන්නේ. කාන්තාවගේ යෝනි ප්‍රදේශය වියළි වෙලා තියෙන්න පුළුවන්. ඇයට දැඩි වේදනාවක් දැනෙන්න පුළුවන්. සමහර විට යෝනි මාර්ගයේ වියළි බව නිසා පටක තුවාල වෙලා රුධිරය එන්නත් පුළුවන්. මෙහෙම වුණාම පිරිමි හිතනවා මේ ගෑනි මම එක්ක ඉන්න අකමැතියි? මොකක්ද වෙලා තියෙන්නේ, මට ඕ‍ෙන සතුට ලැබෙන්නේ නැත්තේ ඇයි වගේ දේවල්. එහෙම හිතලා එක්කෝ ජීවිත කාලය පුරාවටම විඳව විඳව ඉන්නවා. එහෙම නැත්නම් වෙන වෙන අයව හොයාගෙන ගිහින් මුදලට තමන්ගේ ආශාව සපුරගන්නවා. ඒත් ගැහැනු පාර්ශ්වය, ඒ කියන්නේ තමන්ගේ සහකාරිය එක්ක ඇයි එහෙම වුණේ කියලා කතා කරන්නේ නෑ. එහෙම ඇහුවත් අහන්නේ 10%ක් වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම අහලා බලලා ඇයි ඒ කියලා අහන්නේ නැති අයට තමයි මේ පිළිතුරු දෙන්නේ. ගැහැනු කෙනෙක් පරිණාමය වෙලා තියෙන්නෙම උණුසුම, ආදරය, කරුණාව කියන කරුණු කාරණාත් පෙරදැරි කරගෙන. ඉතින් පිරිමි වගේ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව කාන්තාවන්ට පරිණාමිකවම අඩුයි. කාන්තාව ලිංගිකව උත්තේජනය වෙන්නෙත් මේ කියන කරුණු කාරණා මතයි. ගැහැනියව ළඟට අරගෙන ආදරෙන් සිප වැලඳගැනීම, හිස අතගෑම, කන් දෙපස සිපගැනීම, තුරුලු කරගෙන සිටීම තුළ තමයි ඇය ලිංගිකව උත්තේජනය වෙන්නේ.

 

කාන්තාව ලිංගිකව උත්තේජනය වෙලානම් ඇයගේ යෝනි ප්‍රදේශය තෙත් වෙනවා. ඒ ලබන උත්තේජනය වීම හරහා දෙදෙනාටම උපරිම ලිංගික සන්තර්පණයක් ලබාගන්න ඉඩකඩ ලැබෙනවා. ලිංගිකත්වය කියන්නේ කලාවක්. ඒ කලාව ඇතුළේ බාධක නැහැ. විවාහයක් කියන්නේ ආදරයක් කියන්නේ කොන්දේසි විරහිතව දෙන්නෙක් එක තැනක නතරවීමයි. ඒ ගමන සුන්දර කරගැනීම තියෙන්නේ තමන් මතම තමයි. ඒ සුන්දරත්වය වැඩි කරගන්න ලිංගිකත්වය කියන කලාව අත්‍යවශ්‍යයි. මේ කලාව තුළ දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත හැමවිටම දෙදෙනා දැනගත යුතුමයි. ඒ සඳහා දෙදෙනා මේ ගැන විවෘතව කතා කිරීම සහ දැනුවත් වීමත් අත්‍යවශ්‍යයි. එහෙම නොවුණොත් මිථ්‍යාවෙන් අසංවර වුණු ලිංගිකත්වය නිසා අසහනය විතරක් සදහට ඉතිරිවෙන්නත් පුළුවන්.

 

ලිංගිකත්වය ගැන කතා කරද්දි තවත් එක් වැදගත් මිථ්‍යාවෙන් වැහුණ දෙයක් තමයි ලිංගික ඉරියව්. ලිංගිකත්ව කලාවක් විදිහට රස විඳින විට පිරිමි කෙනා කැමැති විවිධ ඉරියව් තියෙන්න පුළුවන්. ගැහැනු කෙනා කැමැති ඉරියව් තියෙන්නත් පුළුවන්. හැබැයි මේවා කවදාවත් දෙන්නා දෙමහල්ලෝ කතා බහ කරන්නේ නැහැ. ඒවා කතා කරන එක ලැජ්ජයි. මම ඒවා එයාට ඒවා කියන්න ගියොත් එයා මං ගැන මොනවා හිතයිද.. ඒ වගේ ආකල්පවල ජීවත් වෙන්න අපේ අය පුරුදු වෙලා ඉන්නවා. ලිංගිකත්වය යනු මිථ්‍යාවෙන් ලජ්ජාවෙන් තොර බියෙන් තොරව තිබිය යුතු හැඟීමක්. දැනුවත්භාවයෙන් යුතුව විඳිය යුතු හැඟීමක්.

 

ඒ වගේම යහපත් ලිංගිකත්වයක් තිබීම තුළ පුද්ගල පෞරුෂය වර්ධනය වීමටත් හේතුවක්. එමෙන්ම ශාරීරිකව ලබාගන්න පුළුවන් හොඳ ව්‍යායාමයක්. සබඳතා වර්ධනය සහ පවත්වා ගැනීමට මනා පිටිවහලක් මේ හරහා ලැබෙනවා. ලිංගිකත්වය තුළ සෑම විටම දෙදෙනාගේ අදහස් නිසැකවම හුවමාරු විය යුතුය. දෙදෙනාගේ තෘප්තිමත්භාවය අතෘප්තිමත්භාවය පිළිබඳ දෙදෙනාම දැනගත යුතුය. මේ කියන කාරණා තුළ යහපත් ජීවිතයකට මඟ සැලසෙනවා පමණක් නොව සබඳතා ශක්තිමත් වීමත් අනිවාර්යෙන්ම සිදුවන බව ඔබට දැන් වැටහෙනවා ඇති. හැබැයි මේ දේවල් සැමියට බිරියට කතා බහ කරන්න බැරි වුණාට අනියම් බිරිය අනියම් සැමියා සමඟ කතා කරන්න ලැජ්ජා වෙන්නේ නැහැ. අනියම් පෙමක පැටලෙන්නත් ලිංගිකත්වය එක් හේතුවක්.

 

ඒ වගේම මානසිකමය ගැටලු නිසාත් අනියම් පෙමක පැටලෙන්න පුළුවන්. මානසික රෝග බෝ වෙන්නේ නැහැ කියලා කිව්වට මානසික අවපීඩන තත්ත්ව බෝ වෙන්න පුළුවන්. විෂාදය බෝ වෙන්නේ නැහැ කියලා හිතුවට ඇත්තටම විෂාදය කියන්නෙ බෝවෙන මානසික රෝගයක්. විෂාදයෙන් පෙළෙන කෙනෙක් එක්ක දිගින් දිගට ඉද්දී පවුලේ අනිත් සාමාජිකයන්ටත් ඒක දරා ගන්න හරි අමාරුයි. එතකොට පවුලේ අනිත් අයටත් මේ තත්ත්වය එන්න පුළුවන්. විෂාදය තියෙන දෙන්නෙක් එකම ගෙදර ඉද්දී ඒ ගෙදර තියන තත්ත්වය අපිට හිතා ගන්නවත් බැරි තරම්.

 

සමහර කාර්යාලවල කතා හැදෙන ඇතැම් අය අතර ඇත්තටම අනියම් සම්බන්ධතාවක් නැහැ. හැබැයි ඒ එල්ල කරන චෝදනාවලින් මානසික පීඩනයට පත් වෙලා එයාලා ඇත්තටම අනියම් සම්බන්ධතාවලට යොමු වෙන අවස්ථා මම දැකලා තියෙනවා. මම දන්න එක වැදගත් නෝනා කෙනෙක් ඉන්නවා. එයා නිතරම මහත්තයගෙ ඔෆිස් එකට කෝල් කර කර බලනවා දැන් ඔයා කොහෙද ඉන්නේ. කොතැනද ඉන්නේ. කවුද කාර් එකේ ගියේ. කොයි මළ ගෙදරකද ගියේ. මහත්තයත් ඇත්තටම ගෙදරට ඒ විස්තරේ කියලා යන්නේ. ඇත්තටම ඒ නෝනට තියෙන්නේ විෂාද තත්ත්වයක්. මහත්තයත් අඳුරගෙන තිබුණේ නැහැ ඒ නෝනට විෂාදය තියෙන්නේ කියලා. දැන්නම් එයා ප්‍රතිකාර යටතේ ඉන්නේ. එයා සුවය ලබන ගමන් ඉන්නේ. දැන් පවුලත් සාමකාමී.

 

තව දෙයක්, කෙනෙක් හිතාගෙන යන ලෝකෙදි අනෙක් කෙනාගෙන් ලැබෙන්නේ නැහැ. මගෙ මහත්තයගෙ වැරදි නිසයි මම මෙයත් එක්ක යාළු වුණේ. දැන් මම කබලෙන් ළිපට වැටිලා වගේ කියන අයත් ඉන්නවා. අපි දකින්නේ නයිට් ඩ්‍රස් එකක් ඇදගෙන උයන පිහන නිතරම කෙඳිරි ගගා කෑගහන බිරියව. හැබැයි එයා එළියට යද්දි නියපොතු පාටකරගෙන තොල් පෙති රතු කරගෙන කොටට ඇදලා ඉද්දි සමාජයට ලස්සනට පේන්න පුළුවන්. ඉතින් ඒක ඇත්ත නෙවෙයි. හොඳම දේ තමන් තමන්ගේ හිත පාලනය කරගෙන ඉඳීම. දැන් අය ෆේස් බුක් එකෙන් යාළුවෙලා බඳිනවා. කවුද දන්නේ ඒ කියන දේවල් ඒ පේන දේවල් ඇත්තද බොරුද කියලා.

 

සමහර මඟුල් ගෙවල්වලට ගියාම මට පුදුම හිතෙනවා. මම අත්සන් කරන්නයි ඒ මංගල්ලයට සහභාගි වුණේ. මනමාලිගේ සැමියා කොහෙද වැඩ කරන්නේ කියලා ඇහුව්වා. ගාමන්ට් එකක කිව්වා. කොහෙද කියලා ඇහුවම...කල්පනා කරලා බලල කටුනායක පැත්තේ තමයි කිව්වා. ගාමන්ට් එකේ නම ඇහුවම නම දන්නේ නැහැ. ඉතින් මේ තරම් වගකීමක් නැතුව ජීවිත මිනිස්සුන්ට බාර දෙනවද. අපි සාරියක් ගන්න ගියත් මේක හැකිලෙනවද මේක මදින්න පුළුවන්ද? මේක රැලි වෙනවද? සීයක් ජාති හොයනවා. මිනිහෙක් හොයන්න ගියාම කිසි දෙයක් හොයන්නේ නැහැ. මෙයාට පවුලක් රකින්න පුළුවන්ද? මෙයා කොහොම කෙනෙක්ද? මෙයා ආස මොනවටද ඒ කිසි දෙයක් හොයන්නේ නැහැ. ඒවා තමයි මේ හැමදේටම මුල. ඉතින් මොන දේ වුණත් ඉවසීමෙන් මුහුණ දෙන්න ඕනේ. සතුට කියන දේ තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සතුට තියෙන්නේ තමා තුළමයි.

 

මිනිසුන්ගේ ජීවිතවලට සුබ දේවල් ඉබේ පහළ වෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් සුබ දේවල් හිතන්න පුරුදු වෙන්න ඕ‍ෙන. හැමෝටම ආදරණීය මිනිස්සු මුණගැහෙන්නෙ නෑ.

ආදරණීයන් ජීවිතවලට එන්න නම් හිත්වල ආදරය පිරිලා තියෙන්න ඕ‍ෙන. හැමෝටම හැම කෙනෙක්වම ආකර්ෂණීය වෙන්නෙ නෑ.

වටිනාම මිනිස්සු ජීවිත ඇතුළෙ රැඳෙන්න නම් හිත්වල කරුණාව ඇඳිලා තියෙන්න ඕ‍ෙන. ජීවිතවල වෙන සිද්ධි, හමුවීම් මේ හැම දෙයක්ම අහම්බයක් නෙමෙයි. වපුරන දේ අස්වැන්නෙන් ලබා ගන්නවා වගේ ආපහු අපි වෙත පෙරළා මේ එන්නෙ අපි විශ්වයට මුදාහරින දේවල්.

 

සතුටු වෙන්න, ධනාත්මක වෙන්න, හොඳ දේවල් දකින්න, අහන්න. නොහිතන වෙලාවල් වල නොහිතන තැන්වලදි අඳුරුම පරිච්ඡේද වෙනුවට ජීවිතවලට වසන්ත කාල උදා වෙන්නෙ එතකොටයි.

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව