ඩිම්බ මෝරා ගැනීම සහ ධාතු පරීක්ෂණය කරලා බලමු

ජනවාරි 13, 2025

කිරි සිනාවක හඬ අසන්නට ඉමහත් ඕනෑකමක් ඇති නව යුවළක් මේ මිහිපිට නොසිටීද? ඒ හඬ ඒ තරම්ම මිහිරිය, අරුත්බරය. ගැබ්බර බවෙන් සිට සැමියාට දාව තම ලෙයින් උපන් කිරිකැටි දරුවකු මෙලොවට බිහි කරන්නට ඇය ඉමහත් වෙහෙසක් දරන්නීය. එය සඵල කරගන්නට නොහැකිව ළතවෙන නව යුවළ ද නැත්තේ නොවේ.

මඳසරු බවින් පෙළෙන එවැනි යුවළකට බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කළ හැකි ප්‍රතිකර්ම මොනවාදැයි බලමු.

බටහිර ප්‍රතිකාර වෙත යොමු වන මඳසරු යුවළකගේ පළමුව කරනුයේ කාන්තාවගේ අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාවයි. එම පරීක්ෂාවට අනුව ඩිම්බකෝෂ, පැලෝපීය නාල, ගර්භාශයේ කිසිදු ගැටලුවක් නොමැති නම්, පුරුෂයාගේ ධාතු පරීක්ෂණයේද කිසිදු ගැටලුවක් නොමැති නම් ඩිම්බ මේරීම සඳහා ඖෂධ ලබා දේ. ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුවන හෝ ක්‍රමානුකූල බවක් නොමැති දෙගොල්ලන්ටම ඩිම්බ මේරීම සඳහා ප්‍රතිකාර ලබාදීම සිදුවේ. ඩිම්බ මේරීම වැඩිකර ගැනීම සඳහා මෙන්ම ඩිම්බ මෝරවා ගැනීම සඳහා ද ඖෂධ ලබාදේ. මාසික ශුද්ධ වීම අක්‍රමවත් අයගේ ඩිම්බ මෝරවා ගැනීම සඳහා හා ඩිම්බ මේරීම අඩු අයගේ ඩිම්බ මේරීම වැඩි කර ගැනීම සඳහා මෙලෙස ප්‍රතිකාර සිදු කරයි.

ශුද්ධ වීම සිදුවී දෙවැනි දවසේ හෝ තෙවැනි දවසේ ඩිම්බ මේරීම සඳහා ප්‍රතිකාර කිරීම අරඹයි. මොනයම් විදියක හෝ ඖෂධ ලබා දී ඩිම්බ මෝරන්නේ දැයි බලා ගැනීමට ශුද්ධ වීම පටන් ගත් දිනය පළමු දිනය ලෙස සලකා 12වන දවසේ ස්කෑන් පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙස දන්වයි. එම ස්කෑන් පරීක්ෂණයේදී දින 16 ට වැඩි දින 30⁣ට අඩු දවස් ගණනකදී ඩිම්බයක් ඇත්නම් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාව මඟින් එම ඩිම්බයේ ඇතුළත ව්‍යුහය හොඳින් බලා ගත හැකි වේ. මෙය මෝරපු ඩිම්බයක් ද නැද්ද යන්න බලා එය හොඳින් මෝරා ඇති ඩිම්බයක් නම් එය මුක්තවීමට එනම් ඩිම්බය මේරීමේ අවසාන අදියරට යෑම සඳහා නික්ෂේපණයක් (Injection)මාංස පේශී සඳහා ලබාදෙයි. මෙම ඉන්ජෙක්ෂන් එක ලබාදී පැය 36කින් එකතු විය යුතු යැයි බොහෝදෙනා සිතයි. එම ඉන්ජෙක්ෂන් එක ලබාදී පැය 36කින් ඩිම්බය පිටවේ. හැමවිටම ඊට කලින් සම්බන්ධ වී පුරුෂයාගේ ශුක්‍රාණු පිටවී, ඇයගේ ගර්භාෂය ඔස්සේ එම ශුක්‍රාණු පැලෝපීය නාළයේ ඩිම්බය පිටවන විට තිබිය යුතුයි. එවිටයි පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව වැඩි වන්නේ.

ධාතු පරීක්ෂණයේදී අඩුපාඩු නොමැති නම් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයේ හෙළිවන තොරතුරුවලද අඩුපාඩු නොමැති නම් ඩිම්බ මේරීමට ඖෂධ ලබාදී මාස තුනක් නිරීක්ෂණය කරයි. ස්කෑන් එක සඳහා පළමු මසදී පමණක් පැමිණීමත් ප්‍රමාණවත්. නමුත් සාමාන්‍යයෙන් නම් සෑම මසකම 12වන දිනයේදී ස්කෑන් පරීක්ෂණය සඳහා ගෙන්වා ගනී. එම අවස්ථා තුනේදීම පිළිසිඳ ගැනීමක් නොවුණේ නම් ඊළඟට සිදු කරන්නේ නාළ පරීක්ෂණයයි.

මෙම නාළ පරීක්ෂණය ගර්භාශය, ඩිම්බකෝෂ ආශ්‍රිතව වෙනත් කිසිදු ගැටලුවක් නොමැති නම් සරල HSG යන පරීක්ෂාව කිරීම ප්‍රමාණවත්. මෙහිදී ඩයි එකක් යවා එක්ස්රේ එකක් සිදු කරයි. නැතිනම් ලැපරස්කොපි පරීක්ෂණයක් සිදු කරයි. මෙහි දී සිදුවන්නේ නාළවල අවහිරතා ඇත්දැයි පරීක්ෂා කිරීමයි. එම පරීක්ෂණයේත් අඩුපාඩුවක් නොමැති නම් තවත් මාස තුනක් ඩිම්බ මේරීම සඳහා ඖෂධ ලබාදී ස්වාභාවිකවම එක්වීමට උපදෙස් ලබාදේ.

එම මාස හය තුළදී පිළිසිඳ ගැනීමක් නොවුණි නම් ඊළඟ අවස්ථාව වන්නේ ධාතු තැන්පත් කිරීමයි. ධාතු තැන්පත් කිරීම එක දිගට හය වතාවක් සිදු කරයි. එවිට පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව පළමු වරට වඩා දෙවැනි වරත් දෙවැනි වරට වඩා තුන්වෙනි වරත් .....ආදි වශයෙන් වැඩිවෙයි. පස්වෙනි වර හයවෙනි වර කිරීමේදී එය පළමු වර දෙවැනි වර මෙන් සම්භාවිතාව තරමක් අඩු වී යයි. සමහර විට ධාතු තැන්පත් කිරීම් 12 වතාවක් 18 වතාවක් කර ඇති අවස්ථා දැක ගතහැකියි. එතරම් වාර ගානක් කිරීම පලක් නොවේවි. ලොව කොහේ හෝ එවැනි වාර ගණනක් සිදු කරමින් පිළිසිඳ ගත් අවස්ථා නොමැති වේ. සාමාන්‍යයෙන් හය වතාවක් පමණ ධාතු තැන්පත් කිරීම් කර මාස හයක් පමණ කාලයකට පසු නැවත තැන්පත් කරයි.

ඩිම්බ මේරිම සඳහා වන බෙහෙත් වෛද්‍යවරු මාරු කරමින් වසර දෙක තුන කරන අවස්ථා දැක ගත හැකියි. ඩිම්බ මේරීම සඳහා වන බෙහෙත් කාන්තාවකට ජීවිත කාලය පුරාම දීම සඳහා සුදුසු වන්නේ දොළොස් වතාවක් පමණ වේ. පසු කාලයකදී ඩිම්බකෝෂ ආශ්‍රිතව සුළු සුළු ගැටලු මතු විය හැකියි. මෙම ඖෂධ දිගටම ගැනීම තුළ අවදානමක් පවතී.

මෙසේ වීත් පිළිසිඳ ගැනීමක් නොවුණි නම් දිගින් දිගටම ඩිම්බ මේරීම සඳහා ඖෂධ ගැනීම සහ ධාතු තැන්පත් කිරීමෙන් ඵලක් නොවේවි. ඊළඟට සුදුසුම පියවර වන්නේ නළ දරු තාක්ෂණයට යොමු වී දරුවෙක් පිළිසිඳ ගැනීම සඳහා කටයුතු කිරීමයි.

 

 

කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ මඳසරුභාවය පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය

දීපානි ජාසිංහ

 

 

[email protected]