ශිෂ්‍යත්ව විභාගයට තව දින හතරයි

ඔක්තෝබර් 7, 2020

විභාගය ජීවිතයේ එක් කඩඉමකි. එහෙත් විභාගය අපේ මුළු ජීවිතය නොවේ. පරිපූර්ණ දරුවකු බිහිවීමට නම් ඒ සඳහා අධ්‍යාපනය පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන බව වර්තමානයේ සමාජ සාක්ෂි සිය දහස් ගණනකින් අපට පෙනෙයි.

සමාජයට වැඩදායි පුද්ගලයකු බිහි කරන්නට ළමා කාලයේ පටන්ම ශක්තිමත් පෞරුෂයක් ගොඩනගා ගැනීමේ වටිනාකම කියාදීම මවුපියන් විසින් කුඩා කල සිට කියා දිය යුත්තකි. තවත් දින කිහිපයකින් (11 වැනිදා) ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙයි. මේ විභාගයට දරුවන්ට වඩා වැඩියෙන් වෙහෙසෙන්නේ මවුපියන්ය. ශිෂ්‍යත්ව විභාගය අසමත් වුවහොත් දරුවාගේ මුළු අනාගතයම අඳුරු වේ යැයි සිතන්නට තරම් පටු වු මානසිකත්වයකින් පෙළෙන මවුපියන් ද අප අතර වෙයි. මේ නිසාම අද දරුවන් බොහෝ දෙනකු මේ විභාගයට සූදානම් වෙන්නේ මහත් ආතතියකිනි. මෙ ආතතිය නිසාම දරුවාට නිරවුල් මනසකින් සහ සැහැල්ලුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වී තිබේ. මෙලෙසින් ආතතියෙන් යුතුව විභායට සූදානම්වීමට වඩා ඉතාම සැහැල්ලුවෙන් යුතුව මේ විභාගය ජය ගන්නා ආකාරය ගැන දරුවන්ට වටිනා උපදේශනයක් සපයන්නේ විභාග ක්ෂේත්‍රයේ පරිනතම වියතෙකි. එසේම ඔහු ගුරුවරුන් සඳහා ද උපදේශකවරයෙකි. ඒ විභාග කොමසාරිස් කේ. එම්. එම්. බණ්ඩාර මහතාය.

ප්‍රශ්නය - දරුවකු විභාගය කිව්වාම අනවශ්‍ය ආකාරයට බය වෙනවා. ඇත්තට කොහොමද විභාගයකට සූදානම් වෙන්නේ?

විභාගයකට මූලිකව අවශ්‍ය දේ තමයි සූදානම්වීම. ඒ සඳහා පිළිවෙළක් තිබෙනවා. මේ පිළිවෙළ පාසලක ඉගෙනගත් පමණින් හෝ මවුපියන් බලපෑම් කළ පමණින් පරිපූර්ණ වෙන්නේ නැහැ. සූදානමක්වීමේදී වැදගත්ම දෙය තමයි තමුන්ට තිබෙන විෂය පථය හඳුනා ගැනීම. එය තවත් සරලව කියනවා නම් තමුන්ට ඉගෙන ගැනීමට ඇති විෂය කුමක්දැයි හරි අවබෝධයක් මුලින්ම තියෙන්න ඕනේ. එම විෂය සඳහා තිබෙන විෂය කරුණු මොනවාද කියලා මුලින්ම දරුවා අවබෝධ කරගත යුතුයි. විභාගයට පිළිතුරු ලිවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයක් තිබෙනවා. මෙය සමහර අවස්ථාවලදී පාසලේදී දරුවාට උගන්වනවා. සමහර අවස්ථාවලදි දරුවාට මෙය පාසලෙන් උගන්වන්නේ නැහැ.

සමස්ථයක් හැටියට විෂය කරුණු සෑම පුද්ගලයකුටම එකම ආකාරයට ග්‍රහණය වෙන්නේ නැහැ. එම අවබෝධ වූ කරුණු ධාරණය වුණත් එය භාවිතා නොකරනවා නම් එයින් ප්‍රයෝජනයක් නැති වෙනවා. අපි ඉගෙන ගන්න හැම දෙයක්ම ප්‍රයෝජනවත් වෙන්නේ විභාග සමත්වෙන්න විතරක්ම නොවෙයි. එය අපේ ජීවිත අත්දැකීමක් බවට පරිවර්තනය කර ගත යුතුයි.

 

ප්‍රශ්නය - ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර පුරාම විභාග ගණනාවක් පවත්වනවා. ඒ නිසා ඔබට විශාල වගකීමක් හා වැඩ රාජකාරියක් පැවරෙනවා. මේ විශාල රාජකාරිය ඔබ කොහොමද කළමනාකරණය කරගන්නේ?

අපගේ වාර්ෂිකව ක්‍රියාත්මක

වන විභාග වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළත් සමග පළමුව අප කරන්නේ වාර්ෂිකව පවත්වන විභාග සැලසුම් කිරීමයි. එසේ සැලසුම් කිරීමෙන් පසු නිසි පරිදි ක්‍රියාත්මකවීම පිළිබඳ අප හොඳින් අධීක්ෂණය කරනවා. අපේ දෙපාර්තමේන්තුවේ තිබෙන සුවිශේෂිත්ව තමයි සාමූහිකත්වය. සාමූහික ක්‍රියාවලිය පුරා නිලධාරීන්ගේ කැපවීම හා අවංකභාවය විශ්වාසය කියන දේ මත තමයි මේ සියලු යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙන්නේ.

 

ඡායා -  ටෙනිසන් එදිරිසිංහ

 

විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන ප්‍රතිඵල)

කේ. එම්. එම්. බණ්ඩාර මහතා

2020/10/07 තරුණි පුවත්පත බලන්න.