දරුවන් ඉන්න අම්මා කෙනෙක් කේන්ති නොගෙන සතුටින් ගෙදර වැඩ කරගන්නේ කොහොමද?

මැයි 12, 2021

 

ප්‍රශ්නය

38 හැවිරිදි මා තිදරු මවක්. දරුවන්ගේ වැඩ කටයුතු නිසා මා රැකියාවෙන් ද ඉවත් වුණා. මා උපාධිධාරිනියක්. සැමියා කරන්නේ හොඳ වැටුපක් ලබන රැකියාවක්. ඔහුගේ සේවා ස්ථානය තිබෙන්නේ දුර බැහැරක නිසා ඔහු නිවෙසට පැමිණෙන්නේ සති අන්තයේදී පමණයි.

අපගේ දරුවන් වයස අවුරුදු 2, 4 සහ 7 යන වයස්වල පසුවේ. දරුවන්ගේ වැඩකටයුතුත්, ගේ දොර වැඩ කටයුතුත් යන සියල්ල සිදුවන්නේ මා අතිනි. ඒ නිසා මට නිතර තරහක් ඇතිවේ. දරුවන්ට නිතර කෑ ගසමි. අහල පහළ ගෙවල්වල අය පවා සිතන්නේ මා ඉතා සැර පරුෂ කෙනෙක් කියායි. මා සංසුන්ව සිටීමට උත්සාහ කළත් එය පවතින්නේ සුළු මොහොතයි. මට සිදුවන දේ මට පවා නොතේරෙයි.

දරුවන්, සැමියා, අසල්වැසියන් මාගේ මේ හැසිරීමට ප්‍රිය නොකරයි. මේ ගැටලුවට මා හට උපදෙසක් ලබා දෙන්න.

බියගම - නිශාන්ති

පිළිතුර

ගෙදර දොරේ වැඩ කරගෙන දරුවෝ බලාගෙන ඉන්න මව්වරුන්ගෙන් වැඩි දෙනෙක් ඉන්නේ මානසික පීඩාවෙන්. විශේෂයෙන් සැමියාත් උදව්වට නැතිවෙනකොට ඒ පීඩාව, කේන්තිය දැනෙනවා වැඩියි. නමුත් ඒ දේවල් ඔබටම වෙනස් කරගන්න පුළුවන්. පුංචි පුංචි දේවල් කිහිපයක් පමණයි ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ.

 

ඔබේ ධාරිතාවේ ප්‍රමාණයට පමණක් වැඩ කරන්න

 

පුංචි ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක එදිනෙදා ගෙදර දොර වැඩ ගොඩගැහෙන්නේ අහස උසට. හැබැයි කොයිතරම් වැඩ ගොඩගැහුනත් ඒ වැඩ කරන්න තියෙන්නේ අත් දෙකක් විතරක් නිසා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔළුවටත් උඩින් යන්න තරම් වැඩ ගොඩ ගැහුනම කේන්ති එන එක ඉබේම සිද්ධ වෙන දෙයක්. කොයිතරම් වැඩ ගොඩ ගැහුනත් ඔබ ඔබේ ධාරිතාවේ පමණට, එනම් ඔබට හැකියාව ඇති ප්‍රමාණයට පමණක් කරන්න. ගොඩ ගැහිලා තියෙන වැඩ කන්දරාවෙන් අත්‍යවශ්‍ය වැඩ පමණක් තෝරා ගන්න. උදාහරණයක් විදිහට උයන්න, රෙදි හෝදන්න, මිදුලෙ තියෙන තණකොල උදලු ගාන්න කියන වැඩ තුන ඔබට තියෙනවා නම් ඔබ අත්‍යවශ්‍ය වැඩ මුලින් කරන්න. ඒ කිව්වේ උයන එකයි රෙදි හෝදන එකයි. ඉන්පසු පුංචි විවේකයක් ගන්න. එයින් පස්සේ ඔබට පුළුවන් මිදුලේ තියෙන තණකොල උදලු ගාන්න. නොනවත්වා එක දිගට විවේක නොගෙන වැඩ කරන එකෙන් වෙන්නේ ඔබගේ මහන්සිය වැඩි වෙලා කේන්ති එන එක.

 

දරුවන්ට එපා කීම නවත්වන්න

පුංචි දරුවො කැමැතියි නිතරම අලුත් අලුත් අත්දැකීම් විඳින්න. ඒ නිසා එයාලා නිතරම ඉන්නෙ කුතුහලයෙන්. පිහියක් අරන් කපන්න, මිටියක් අරන් ඇණ ගහනන වගේ වැඩ කරන්න වුණත් එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි අම්ම කෙනෙක් විදිහට ඔබ දන්නවා ඒවා අනතුරුදායක වැඩ කියලා. ඉතිං ඔබ කෑ ගහනවා එපා එපා කියලා. නමුත් ඔබ දන්නව ද පුංචි දරුවන්ට එපා කියන වචනය ඇහුනම එයාලා කුතුහලයට පත් වෙනවා කියලා. එපා කියන වචනේ ඇහුණු ගමන් එයාලා තවත් උන්න්දුවෙන් ඒ වැඩේ කරන්න ගන්නවා. කියන දේ ඇහුවේ නැති වුණාම ඔබට කේන්ති යනවා. එපා කියන වචනය නොකියා ඔබට පුළුවන් ආදරයෙන් තේරුම් කරන්න.

 

නීති දාන්න එපා

කාන්තාවන් හරිම කැමැතියි පිළිවෙළට ඉන්න. නමුත් පුංචි දරුවො ඉන්න ගෙදරක මේ පිළිවෙළ, පිරිසුදුකම පවත්වාගෙන යාම ඒ තරම් ලේසි නැහැ. හැමදේම පිළිවෙළට කරන්න පුරුදු වුණු ඔබට මේ නිසා කේන්ති එන එක නතර කර ගන්න බැහැ. හැමදේම හරිම පිළිවෙළට නූලටම තියෙන්න ඕනෙ කියන සිතිවිල්ල ඔබව නිතරම කේන්තියෙන් පුරවනවා. මොකද පුංචි ළමයි ස්වභාවයෙන්ම දඟකාරී නිසා. එයාලා සෙල්ලම් කරන සෙල්ලම් බඩු, පොත්, පෑන් වගේ දේවල් ගේ පුරා විසිරිලා. ගේ අපිළිවෙළට තියෙනකොට ඔබ ඒවා අස් කරලා පිළිවෙළකට තිෙනවා. හැබැයි විනාඩියක් යන්න කලින් දරුවෝ ඒ හැමදේම හැඩි කරනවා. ඒ නිසා සැරෙන් සැරේ ගේ අස් කරන එක නවත්වන්න. අස් කරන වෙලාවට දරුවන්වත් හවුල් කරගන්න. පාඩම් කිරීමෙන් පස්සේ, සෙල්ලම් කිරීමෙන් පස්සේ ඒ ඒ බඩු නියමිත තැන්වලින් තියන්න දරුවන්ට කියලා දෙන්න. එහෙත් සියල්ල තිතටම තියාගන්න පුංචි දරුවොත් එක්ක බැරි බව නිතර නිතර මතක් කරගන්න.

 

කරන්න ඇති වැඩ නොව අවසන් කළ වැඩ ගනින්න

ගෙදරම ඉඳන් දරුවො බලාගෙන ඉන්න අම්මකුට කරන්න තියෙන වැඩ එක දෙක තුන කියලා ගණන් කරලා ඉවර කරන්න නම් බැහැ. ගොඩක් කාන්තාවන් පුරුදු වෙලා තියෙන්නෙ කරලා අවසන් නොකරපු වැඩ ගැන හිතන්න. ඒත් ඔබ කරලා අවසන් වුණු වැඩ ගැන සිතලා සතුටු වෙන්න. නිතරම සුබවාදී විදිහට හිතුවොත් හැමදේම පහසුවෙන් කරගන්න පුළුවන්.

 

දරුවන් දිහා දරුවකුගේ ඇසින් බලන්න

 

දරුවෝ අපි වගේ නෙවෙයි. එයාලා ගෙදර වටිනා බඩුවක් දිහා වුණත් බලන්නේ සෙල්ලම් කරන්න පුළුවන් උපකරණයක් කියල හිතලා. එහෙම තමයි පුංචි ළමයි. ළමයි කරන වැඩවලට ඔබට කේන්ති එන්නෙ ඔබ දරුවා දිහා බලන්නේ වැඩිහිටියකුගේ ඇසෙන් නිසා. වැඩිහිටියකුට කේන්ති එන දේවල් දරුවකුට නිතරම විනෝදාත්මක දේවල්. දරුවා කරන බොහෝ දේවල් දිහා ළමා ඇසින් බැලුවොත් ඔබටම හිතේවි මං කේන්ති ගත්තේ අපරාදේ කියලා.

මේ විදිහට කටයුතු කළොත් හිතේ කරදරයක් නැතුව ගෙදර දොරේ වැඩකටයුතුත්, දරුවන්ගෙ කටයුතුත් කරගෙන හිතේ සතුටින් ඉන්න පුළුවන් වේවි.