දරුවන් අසීමිත ලෙස අධ්‍යාපන කටයුතුවලට ම යොමු කරන්න එපා

ජූලි 21, 2021

 

2021 වර්ෂය උදා වෙලා දැන් මාස හයකුත් ගතවෙලා අහවරයි. ඒ කියන්නේ වසරෙන් හරි අඩක් ගෙවිලා. දැන් මේ ගතවෙන්නේ හත්වැනි මාසයේ එනම් ජුලි මාසයේ තෙවැනි සතියයි. නියමිත කාල වකවානුවට අධ්‍යාපන කටයුතු ආරම්භ කළා නම් මේ ගෙවෙන්නේ දෙවැනි වාරයේ අවසන් සති දෙක. එනම් දෙවැනි වාර විභාග කාල පරිච්ඡේදය.

ඒත් අවාසනාවක තරම කියන්නේ මේ වසරටම ඇතැම් දරුවන් පාසල් ගොස් ඇත්තේ දින දෙකක්, තුනක් වැනි ඉතාමත් සීමිත දින ගණනාවක් පමණයි.

කොරෝනා වසංගතය හමුවේ වසර එකහමාරකට වැඩි කාලයක් අපේ රටේ පාසල් වසා දැමුණා. අනතුරුව මේ රටේ අනාගතය බාරගන්නා අපේ පුංචි පැටවුන්ගේ අධ්‍යාපන කටයුත්ත භාර වුණේ ඔන්ලයින් අධ්‍යාපනයට එහෙමත් නැත්නම් මාර්ගගත අධ්‍යාපනයට.

ඉතින් අපට අලුත්ම අත්දැකීමක් බවට පත් වූ මේ මාර්ගගත අධ්‍යාපනය ආරම්භයේ දී මව්පියන්ට, දරුවන්ට සේම ගුරුවරුන්ට ද විවිධාකාර ගැටලුවලට මුහුණ පෑමට සිදුවුණා. නමුත් එම අභියෝගයන්ට මුහුණ දෙමින් බොහොමයක් පාසල් මේ වනවිට මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට හැඩ ගැසී අවසන්. ඒ අනුව නියමිත පරිදි ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතු කරගෙන යයි. ඒ විතරක් නොව ඇතැම් පාසල් මේ වනවිට සිය දෙවැනි වාරයේ විභාග කටයුතු පවා සිදු කරමිනුයි සිටින්නේ.

ඉතින් අපි හැමෝටම අලුත් අත්දැකීමක් වූ මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය ගැන ඔබව දැනුවත් කරන මේ ලිපි පෙළෙහි අද අපේ අවධානයට ලක් වන්නේ නිවෙස් තුළට කොටු වූ දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳයි.

විශේෂයෙන්ම මේ වනවිට දරුවන්ගේ කාලය වැඩි වශයෙන්ම ගත වෙන්නේ මව හෝ වෙනත් පවුලේ වෙනත් වැඩිහිටි ඥාතියකු සමඟයි. එහිදී මව හෝ එම වැඩිහිටියා විසින් අසීමාන්තික ලෙස දරුවන් අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීමට උත්සාහ දරනු ලබයි. පාසලට ගොස් ඉගෙනුම නොලබන හෙයින් නිවෙසට වී වඩාත් හොඳින් වැඩ කළ යුතු බව ඔවුන්ගේ හැඟීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙසින්දෝ මේ වනවිට ඇතැම් දරුවන්ට ඉගෙනීම එපා වීමේ තත්ත්වයක් උදා වී ඇත.

 

විදුහල්පතිතුමියනි,

එබැවින් මෙවැනි කාරණාවක දී අපේ වැඩිහිටියන් කටයුතු කළ ආකාරය ගැන සඳහනක් කළහොත් ......

මේ දවස්වල බොහොමයක් මව්පියෝ දරුවන්ට කියන දෙයක් තමයි “බලන්න දැන් ඕනෙ තරම් වෙලාව තියෙනවනේ

ඇති වෙනකම් පාඩම් කරන්න පුළුවන්නේ” කියලා. එහෙම කියලා දරුවන්ව හැමවිටම පාඩමට යොමු කරන්නට උත්සාහ දරන ආකාරය ගැන අහන්නට ලැබෙනවා. මෙවැනි අසීමාන්තික බලපෑම් හමුවේ ඇතැම් දරුවන්ගේ පවතින ඉගෙනුම් ළැදියා පවා මන්දනය වන්නට පුළුවනි. පාඩම් කිරීම, ඉගෙනීම යම්කිසි ළැදියාවකින්, අභ්‍යන්තර මානසික පෙළඹවීමකින් කළ යුතු දෙයක්. නැත්නම් එය නිශ්ඵලයි.

ඇතිවෙන්න කාලය තිබුණා කියලා එයින් පාඩම් කිරීම උත්තේජනය වන්නේ නැහැ.

පාසල් යන දරුවන් කියන්නේ ළමා විය වගේම නව යොවුන් විය නියෝජනය කරන දරුවන්. ඔවුන්ගේ වර්ධනය මෙන්ම

සංවර්ධනය සඳහා පරිසරය සෘජුව බලපානවා. උද්ගත වූ වසංගත තත්ත්වය නිසා අප ජීවත්වන පරිසරය ඒකාකාරියි.

දරුවාගේ වර්ධනය සංවර්ධනය සමඟ මතුවන විභවතා අවශෝෂණය කරගත හැකි සමතුලිත මනෝ සමාජයීය පරිසරයක් පාසලේ තියෙනවා. පාසල තුළ ගෙවන හැම තත්පරයකදීම දරුවාට එම විභවතා එළිදැක්වීමට, පිට කිරීමට, පාලනය කර ගැනීමට, නිශේධනය කර ගැනීමට අවස්ථා තියෙනවා. ඒ සඳහා සමවයස් කණ්ඩායමෙන්, ගුරු භවතුන්ගෙන්, සමස්ත පාසල් සංස්කෘතියේම අවකාශ, උදවු, රුකුල් සපයනවා. පන්ති කාමරයේ දී අධ්‍යාපන ක්‍රියාවලිය වන්නේ මෙවන් පසුබිමකයි."

 

නමුත් නිවෙසේ දී ගෙවෙන මේ කාලවකවානුව තුළ ඊට ඉඩ කඩක් නැහැ නේද ?

 

" ඇත්තටම ඔව්. දරුවකුට නිවෙසේ දී තම පවුල තුළ සිය ක්‍රියාකාරකම්, සිතුවිලි ක්‍රියාත්මක කිරීමට විවිධ සීමාමායිම් පවතිනවා. ඒනිසාම දරුවන් හුදෙකලාවීම් වලට ලක්වන්නටත් ඉඩ තියෙනවා. පොඩ්ඩක් හිතන්න. නව යොවුන් වියේ දරුවකු නම් ස්වභාවයෙන්ම ඔහු හෝ ඇය තුළ අභ්‍යන්තර කැළඹිලි තත්ත්වයක් තියෙනවා. කායික වර්ධනයේ ඇතිවන විවිධ වෙනස්වීම් සමඟ තම චර්යාවන් හසුරුවා ගැනීමට අපහසුතා

මතුවෙනවා. එවිට දැඩි මානසික පීඩනයක් මතුවෙනවා. ස්වභාවයෙන්ම මේ වයසේ ළමයි කණ්ඩායම් සෑදීමට සමාජ සබඳතා ඇති කර ගැනීමට, විරුද්ධ ලිංගිකයන් ගැන උනන්දු වීමට, ස්ව අනන්‍යතාව ප්‍රකාශ කිරීමට කැමැතියි.

 

එබැවින් නිවෙස තුළ ගෙවන මේ අමුතු නිවාඩුවේ දී ඕනෑම දරුවකු අධ්‍යාපනයට යොමු කිරීම, ආදරය හා දයාව දක්වමින්

කරන මඟ පෙන්වීමක් ම විය යුතුයි. එය කිසිසේත්ම දරුවාට හිරිහැරයක් නොවිය යුතුයි."

 

එය උදාහරණ සහිතව තවදුරටත් පැහැදිලි කළහොත් ......

 

" මව්පියන් වැඩිහිටියන් වූ ඔබ දරුවන් වෙත වඩාත් ළං වන්න. සෑම පවුලකට ම මේ ලැබුණු නිදහස් පරිසරයේ දී තම දරුවන් සමඟ එකතුවෙලා ක්‍රියාකාරකම් සැලසුම් කරන්න. දරුවන්ට පවුල තුළ නිදහසේ තම අදහස් සිතිවිලි ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න. පවුලේ කටයුතුවල වගකීම් කිහිපයක් හෝ ඔවුනට පවරන්න. එවැනි දේවල් හරහා දරුවාගේ වර්ධනයට මෙන් ම සංවර්ධනයට ද උදවු විය හැකියි. එවිට බලකිරීමකින් හෝ පෙරැත්ත කිරීමකින් තොරව දරුවාට ඉගෙනීම සඳහා තමා තුළින් ම පෙළඹීමක් ඇතිවෙනවා."