ගේම් ගහන දරුවන්ට ගේමක් ගහමු

මාර්තු 25, 2024

 

රාගම වෛද්‍ය පීඨයේ පැවැත්වෙන මනෝ වෛද්‍ය සායනයට දිනක් පියෙක් පැමිණෙන්නේ බරපතළ ගැටලුවකට විසඳුම් සොයාගෙන. වෛද්‍යවරයාට ඔහු මුහුණ දුන් අත්දැකීම් ප්‍රකාශ කරන්නේ ඉතාම හැඟුම්බරවයි.

 

‘ඩොක්ටර්..... ළඟදී මගේ Credit Card එක හදිස්සියේ Cheque කළා. කාඩ් එකෙන් රුපියල් දස දහසක් අඩුවෙලා. කිසිම හේතුවක් නැතුව මෙහෙම වුණේ කොහොමද කියලා මට ලොකු ප්‍රහේළිකාවක්. මම වයිෆ්ගෙන් ඇහැව්වා එයා මොනවා හරි කඩෙන් ගත්තා ද කියලා. එයා එහෙම ගත්තේ නැහැ කියලා කිව්වා. මම කලබල නොවී මේ මුදල් අඩු වුණේ කොහොමද කියලා හොයලා බැලුවා. ඇත්තටම මේක කරලා තියෙන්නේ මගේ පුතා. පුතාගේ වයස අවුරුදු 14යි. එයා මගේ බැංකු කාඩ් එකේ රහස් අංකය හොරෙන් සොයාගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.‘

 

මේ වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහිවූ එක් දරුවෙකු කළ එක් වරදක් පමණකි. මෙවැනි පරිගණක ක්‍රීඩා නිසා මේ වනවිට දෛනිකව විවිධ ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ. එසේම මෙවැනි ක්‍රීඩා සඳහා ඇබ්බැහි වූ දරුවන් එයින් මුදා ගැනීමට නොහැකිව අසරණ වූ මවුපියෝ ද බොහෝ පිරිසක් සිටිති. මවුපියන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසා තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් හුදෙකලා වී තිබේ. මෙලෙසින් හුදෙකලා වී අසරණ වූ නව යොවුන් වියේ පසුවන දරුවෝ විශාල පිරිසක් තම තනිකම මකා ගැනීමට පරිගණක ක්‍රීඩා හා විදත් තිරයට ඇබ්බැහි වී සිටිති.

 

පසුගිය දා කැනඩාවේදී එකම පවුලේ සය දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි තරුණයා ද මෙලෙසින් අසීමිත ලෙස පරිගණකයට ඇබ්බැහි වූ තරුණයෙකි. වයස අවුරුදු 17 දී කැනඩාවට යන මේ තරුණයා ශ්‍රී ලංකාවේ සමාජයට සම්පූර්ණයෙන්ම වෙනස් හුදෙකලා ජීවිතයක් ගතකර තිබේ. ඔහු අධ්‍යාපන ආයතනයට ගොස් අධ්‍යාපනය ලබා ඇත්තේ කෙටි කාලයකි. ඔහුගේ හුදෙකලාවට විසඳුම ලෙස තෝරාගෙන ඇත්තේ පරිගණක ක්‍රීඩාවයි. බාහිර සමාජයෙන් ඈත් වී අතථ්‍ය සමාජය තුළ තමන්ට රිසි පරිදි පරිගණක ක්‍රීඩාවේ යෙදෙන මේ තරුණයා විවිධ ආයුධ භාවිතය පිළිබඳ පරිගණකයෙන් හුරුවක් ලබයි. ශිෂ්ට සමාජය තුළ පවතින කිසිම නීතියක් එහි නොමැතිව හුදෙකලා වූ ජීවිතයක් ගත කරන මේ තරුණයාට මරණය පිළිබඳ ඇතිවන සිතුවිල්ල ඉතා සරලය. ඔහුගේ මොළයේ ඇතිවන කලබලකාරී තත්ත්වයට විසඳුමක්් ලෙසින් තුවක්කුවක් අතට ගන්නේ සැබෑ ලෝකය සහ අතථ්‍ය ලෝකය පිළිබඳ ඔහුගේ මොළයට අවබෝධයක් නොමැතිකමිනි.

 

මේ තරුණයාගේ කලබලකාරී මානසිකත්වය හේතුවෙන් අසරණ ජීවිත හයක්ම අහිමි වී ගියේ ධනුෂ්ක වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික පියා පමණක් මෙලොව ඉතිරි කරමිනි. තම පවුලම ඝාතනය කළ ෆැබ්රෝ ද සොයිසා නම් මේ තරුණයාට සමාව දෙන ලෙස ධනුෂ්ක කළ කතාව කැනඩා මාධ්‍යවල විශාල ප්‍රතිචාරයක් හිමි වූ අතර මෙරට ජනතාව ද විමතියට පත් කළ සිදුවීමකි.

 

ඔටාවාහි සිදු වූ මේ සය පුද්ගල ඝාතන නඩුව විභාගවෙමින් පවතින අතර ගූගල් සමාගම තීරණය කළේ අදාළ චූදිතයාගේ පරිගණක ක්‍රීඩා චැනලය අත්හිටුවීමටය. එසේ සිදු කිරීමට හේතුව ලෙස ගූගල් සමාගම පෙන්වා දෙන්නේ youtube සමාගමේ මාර්ගෝපදේශයන්ට අනුව ආරක්ෂක සහ විශ්වසනීයත්වය උදෙසා සැකකරු පවත්වාගෙනගිය එම නාළිකාව අත්හිටවූ බවයි. මෙලෙසින් සාහාසික ලෙස ඝාතනයට ලක් වූ දරුවන් දෙදෙනාගේ පාසලේ මේ සිද්ධිය ගැන කතා කිරීම පවා තහනම් කර තිබෙන්නේ කුඩා දරුවන්ට මෙය බරපතළ වැරැදි පූර්වාදර්ශයක් බව පෙන්වාදෙමිනි.

 

මෙවැනි පසුබිමක අපගේ දරුවන්ගේ සුරක්ෂිතභාවය ගැන ගැඹුරින් සිතන්නට සිදුවනු ඇත. කුඩා කිරි දරුවන් සිටින නිවෙසක් ඉදිරියේ උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට“ යනුවෙන් ලියා තිබේ. නමුත් බාලගිරි දෝෂයට වඩා මේ පරිගණක ක්‍රීඩාව භයානකය. “පරිගණක ක්‍රීඩා මාරයා හෙට නොවේ අද“ යන සටහන නිවෙසක උළුවස්සේ නොව ගෙමැද සටහන්ව තිබිය යුත්තකි. ඒ තරමටම මෙය උග්‍ර සමාජ ගැටලුවක් බවට පත් වී තිබේ. මේ පිළිබඳ ගැඹුරු සමාජ විග්‍රහයක නියැළුණේ රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්දාස මහතාය. ඔහු දැක් වූ අදහස් අතරින් ඔබට වැදගත් වූ කරුණු කිහිපයක් මෙලෙසින් දිග හරිමු.

 

“වර්තමානයේ මවුපියවරු කියන සුලබ කතාවක් ති‍ෙයනවා. ඩොක්ටර් අපේ දරුවාට Online ඉගෙන ගන්න තියෙන නිසා අපි Phone එකක් අරන් දුන්නා. හැබැයි ටික දවසක් යනකොට දරුවා දවසේම Phone එකේ වීඩියෝ ගේම් ගහනවා. අපට ඒක නතර කරගන්න තේරෙන්නේ නැහැ කියලා. නමුත් ඔබ දරුවාට පරිගණකයක් හෝ Phone එකක් අතට දෙන්න පෙර කරන්න තිබුණ දෙයක් තියෙනවා. ඔබ මුලින්ම දරුවාගේ මනෝමීය කුසලතාව හඳුනා ගන්න. හඳුනාගෙන නිවෙසේ පරිසරය ඒ සඳහා ගැළපෙන ආකාරයට සකස් කර දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒ සඳහා අපි දරුවන් හඳුනා ගත යුතුයි. මෙහිදී වඩාත් ඉක්මනින් විදත් තිර සඳහා යොමුවන දරුවන් කවුරුන්දැයි දැන ගැනීම වැදගත්. මේ අතුරින් ඉක්මනින්ම විදත් තිරවලට ඇබ්බැහි වෙන්නේ ආවේගගීලී දරුවන්. ඒ කියන්නේ ඉක්මනින් කේන්ති යන, මට වඩා ලොකු කෑල්ලක් නංගිට දුන්නා කියා කේන්ති යන ආවේගගීලී දරුවෝ තමයි මෙහෙම වෙන්නේ. මේ වගේ ආවේගශීලි ගති පුංචි කාලේ සිටම තිබෙනවා නම් සම්මා සතිය Mindfullness නැතිනම් අානාපාන සති භාවනාව කරලා පුංචි කාලේ පටන්ම මනස සකස් කර ගත යුතුයි. ඒ වගේම තමයි අඩු අවධානයක් ඇති දරුවෝ. උදාහරණයක් ලෙස විනාඩි 20ක් පොතක් කියවන දරුවෙකුට වඩා වෙනත් දරුවෙක් තමයි අනෙක් පැත්තේ ඉන්නේ. ඒ දරුවාට පොතක් කියවන්න පුළුවන් විනාඩි 5යි. මෙවැනි දරුවොත් විදත් තිරවලට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. තවත් වරදක් තමයි නිවෙසක සීමා මායිම් නොතිබීම. උදාහරණයකට අද නිවෙසේ උයලා තියෙන්නේ බතුයි, සම්බෝලයි. පරිප්පුයි. දරුවා කියනවා මට මේවා කන්න බැහැ කියලා. මවුපියෝ කියනවා ඔයාට තව බිත්තරයකුත් හදලා දෙන්නම් කියලා. මේ විදිහට සීමා මායිම් නොමැතිවීමෙන් විදත් සඳහා යොමුවීම වැඩියි. එසේම මනෝමීය ඔරොත්තුදීමේ හැකියාවක් බලපානවා. ඉක්මනින් කම්මැලිකම හුදකලාව දැනෙන දරුවොත් මේ විදත් තිරවලට ඉක්මනින් ඇබ්බැහි වෙනවා. මේ වගේ හුදකලා වුණාම කරන්න තියෙන දේ නොදන්නකම තමයි මෙයට ප්‍රධාන හේතුව. කම්මැලිකමට එළියට බැහැලා ක්‍රීඩාවක් කරන්න, අැවිදින්න, ඇළක, දොළක බැහැලා නාන්න... කොයි තරම් දේවල් තියනවා ද? අවසාන අවස්ථාව තමයි විෂාදය තියෙන නව යොවුන් වියේ දරුවෝ. බොහෝ දරුවන්ට හිස් බවක්, තනිකමක් දැනෙනවා. මේ හිස්බව, තනිය නැති කරගන්න ඒ අය විදත් තිරවලට අැබ්බැහි වෙනවා.

 

ඒ වගේම දරුවෝ ඉදිරියේ විදත් තිර භාවිතය මවුපියන් සීමා කළ යුතුය. එයත් වැරැදි පූර්වාදර්ශයකි. අද දරුවන්ට නුසුදුසු ක්‍රීඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රචණ්ඩකාරි වෙඩ් තබාගන්නා, සටන් කරන ක්‍රීඩා, අනවශ්‍ය පණිවුඩ දෙන ක්‍රීඩා ආදිය තියෙනවා. ඔබට මේ දක්වා යන්න එහෙම බැරි වු‍ෙණාත් සියදිවි හානි කරගන්න කියලා පණිවුඩ දෙන ක්‍රීඩා තියෙනවා. සමහර මත්ද්‍රව්‍ය නැතිව බැහැ කියනවා වගේ මේ ක්‍රීඩාවට හුරුවුණොත් ඒ ක්‍රීඩාව නැතුවම බැහැ කියන තත්ත්වයට පත්වෙන ක්‍රීඩා තියෙනවා. තවත් ක්‍රීඩා තියෙනවා නව යොවුන්වියේ දරුවන් වැරැදි දේ භාවිතයට හුරු කරනවා. වැරැදි ඇසුරක් ගොඩනැගීම වැනි ක්‍රීඩා තිබෙනවා.

 

විශේෂයෙන්ම ඉතාම ආවේගශීලි දරුවන් වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහිවීම වැඩියි. නමුත් හුඟාක් මවුපියෝ කියන්නේ මේ පරිගණක ක්‍රීඩාවලට දරුවන්ට අවස්ථාව නොදුන්නොත් දරුවෝ තරහ වෙයි කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. දරුවන්ට යාළුවෝ ඕනේතරම් හොයාගන්න පුළුවන්. ළමයාට ඒ ගැන අවබෝධ කරලා එයින් ඈත් කිරීම ඔබේ වගකීමක්. නමුත් දරුවන් අධික ලෙස වීිඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙලා නම් ඒ සඳහා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න එක හොඳයි. ඉතා අඩු වශයෙන් ඇබ්ිබැහි වෙලා නම් ඒකට ආදේශකයක් ඔබට දෙන්න පුළුවන්. කැරම් බෝඩ් එකක්, චෙස් ක්‍රීඩාව, සයිකල් පැදීම, ක්‍රිකට් ක්‍රීඩා කිරීම වැනි දෙයකට දරුවා යොමු කරන්න ඔබට පුළුවන්. එවිට දරුවාගේ හිතේ ඇතිවන සංකුලතා නැති කරන්න පුළුවන්.‘