දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම තවත් පමා කළ යුතුද?

මාර්තු 25, 2024

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ඉගැන්වීම අපේ රටේ වසර 3500ක් පමණ වූ අභිමානවත් සංස්කෘතික ඉතිහාසයට පටහැණි ද? මේ පසුගිය දිනවල විවාදයට ලක් වූ කරුණකි.

ළමා ආරක්‍ෂණය හා ළමා අයිතීන් සම්බන්ධයෙන් අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තවමත් සැකසී නොමැත. එවැනි අවස්ථාවක රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කරන්නට සිදු වේ.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතීන් සඳහා අත්සන් කළ රටක් ලෙස ළමුන් සම්බන්ධයෙන් විසඳිය යුතු කාරණා කිහිපයක්ම පවතී. දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය නතර කිරීම, ලිංගික අපයෝජන සම්බන්ධව, ළමා ශ්‍රමිකයින් සම්බන්ධව, යුද්ධයෙන් අවතැන් වූ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම, ළමා ආරක්ෂණ නීතී යාවත්කාලීන කිරීම යන කරුණු කාරණා කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ යුතුවේ.

පසුගිය වසර තුනක කාලය පටන් ශ්‍රී ලංකා පොලිසියේ වාර්ෂික අපරාධ වාර්තාවලට අනුව දරුවන්ට එල්ලවන ලිංගික අපයෝජනය ඉහළ ගොස් ඇත. ශ්‍රී ලාංකික දරුවෙක් පැය දෙකකට වරක් ලිංගික අපයෝජනයට ලක්වන බව පොලිස් වාර්තාවලින් කියැවේ. මෙයින් වැඩි පිරිස ගැහැනු දරුවන් වන අතර පිරිමි දරුවන්ද යම් ප්‍රතිශතයක් මෙලෙස ලිංගික අපයෝජනයන්ට ලක්වේ.

මෑතකදී අපයෝජනවලින් 5000කට අධික ගැහැනු දරුවන් පිරිසක් ගැබ් ගෙන තිබේ. මේ අවුරුදු 18ට අඩු අයයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ රටේ බාල වයස්කාර දැරියන්ගේ ගැබ් ගැනීම සම්බන්ධව කළ වාර්තාවලට අනුව 2022 දී ගැහැනු දරුවන් 12000 ගණනක්, 2023 දී 9000 ක් වේ. අවුරුදු 16ට වඩා අඩු අයට කැමැත්ත ඇතිව කැමැත්ත නැතිව කියා දෙයක් නොමැත. ඔවුන් ලිංගිකව හැසිරීම, ගැබ් ගැනීම සලකන්නේ අපරාධයක් ලෙසයි.

විදෙස් රටවල අවුරුදු 16ට අඩු දැරියක සමඟ කැමැත්ත ඇතිව වුව වයස් පරතරය වැඩි කෙනෙකු ලිංගිකව හැසිරුණහොත් එය අපරාධයක් ලෙස සැලකේ. එහෙත් අපේ රටේ අවුරුදු 16ට වඩා අඩු දැරියක වයස් පරතරය වැඩි වැඩිහිටි පිරිමියෙකු සමඟ හැසිරුණත්, යම් හෙයකින් ඒ දැරිවිය තමා කැමැත්තෙන් හැසිරුණු බව පැවසුවහොත් පිරිමි පුද්ගලයාට දඬුවමකින් තොරවම නිදහස් වීමට හැකි වේ. අවුරුදු 16ට අඩු දරුවකු කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව අපයෝජනයට ලක්විය යුතු නැත.

වයස අවුරුදු 16ට වඩා අඩු ව්‍යවස්ථාපිත ලිංගික දූෂණය කැමැත්ත ඇතිව හා වයස අවුරුදු 16ට වඩා අඩු ව්‍යවස්ථාපිත ලිංගික දූෂණය කැමැත්ත නැතිව යනුවෙන් නීති පොතේ සඳහන් වේ.

දූෂණය යනු ම කැමැත්ත නැතිව සිදුවන්නකි. මේ දැරිවියන් තර්ජනයන්ට බිය වී පසුව කැමැත්තෙන් සිටියා යැයි කියා පැවසීම පිළිගත නොහැකි දෙයකි. එසේ නම් එය ලිංගික දූෂණය නොව ලිංගික සංසර්ගය විය යුතුය. නීතිමය පැත්තෙන් මේ ගැටලුව නිරාකරණය කළ යුතු කාලය එළැඹ තිබේ. මේ ලිහිල් බව, නීතියේ හිඩැස නිසා එයින් රිංගා යෑමට තැත් කරන පිරිස එන්න එන්නම වැඩිවී තිබේ.

ඕනෑම ආකාරයේ ලිංගික අපයෝජනයක් රටකට බරකි. මේ අතුරින් වැඩිපුරම සිදුවන්නේ ශාරීරික අපයෝජනයයි. අපේ රටේ ශීඝ්‍රයෙන් වැඩිව ඇත්තේ ලිංගික අපයෝජනය හා අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජනයයි. දරුවෙක් ඕනෑම ආකාරයකින් ලිංගිකව අපයෝජනයට ලක්වෙද්දී මානසිකව දුර්වල වේ. ඒ අනුව පළමුව සිදුවන්නේ දරුවාගේ පාසල් ගමන අඩාළ වීමයි. පාසල්වල පවා අභ්‍යන්තරයේ එවැනි සම්බන්ධකම් ඇත්නම් ගන්නා විනය ක්‍රියාමාර්ගය වන්නේ පාසලෙන් අස් කිරීමයි. එතනදීම දරුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වේ.

දැරියක් ගැබ් ගත්තොත් නිසැකවම පාසල් ජීවිතයට සමුදෙන්නට සිදු වේවි. එවැනි දරුවෙක් කිසිම පාසලකින් භාරගන්නේ නැත. මේ දැරිය පවුලට පවා බරකි. සමාජ සේවා පද්ධතියටම බරකි. මෙවැනි දරුවෙක් රැකබලා ගන්නට විශාල පිරිවැයක් පවා දරන්නට වේවි. අපයෝජනයට ලක්වුණු, ගැබ් ගත් දැරියකට රැකියාවක් කරන්නට පවා ඇති අවස්ථාව මඟහැරේ. ඔවුන්ට බොහෝ විට උරුම වන්නේ අඩු ආදායම්ලාභී රැකියායි.

මෙම තත්ත්වයෙන් වැළකී සිටින්නට නම් ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම්වත්භාවය බොහෝ සේ වටී. සියයට 99ක් දරුවන් අපයෝජනයට ලක්වන්නේ තම පවුල් ආශ්‍රිතවමයි. පවුලට අවනම්බුවක් යැයි සලකා ඒවා සඟවා සිටීමට උත්සාහ දරයි. මේ මතය බිඳින්නට හැකි වන්නේ ලිංගික අධ්‍යාපනයටයි. එසේ නම් ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු වේ.

දරුවාගේ ඒ ඒ වයසට සරිලන පරිදි ලිංගික අධ්‍යාපනය දිය යුතුයි. මවුපියන්ගෙන් ඈත් වී පෙර පාසල් යන දරුවාට පවා තමාගේ ඇඟපත කිසිම කෙනකුට ස්පර්ශ කරන්නට දෙන්න එපා, තමාට බයක් සැකයක් දැනෙනවා නම් කෑ ගහන්න, දුවන්න, තමාව විශ්වාස කරන කෙනකුට කියන්න යැයි උපදෙස් දෙන්න. ඇතැම් වැඩිහිටියන් දරුවා දෙයක් ඇවිත් කියූ විට ගණන් නොගෙන සිටියි. "නෑ නෑ ඒ මාමා එහෙම කෙනෙක් නෙමෙයි, හොඳ වැඩේ ඔයා මොකක් හරි නෝටි වැඩක් කරන්න ඇති "මේ දේවල් කියනවා මිසක් දරුවා කියන්නට ආ දේ සම්පූර්ණයෙන් අහගන්නේ නැත. මින් දරුවා අන්ත අසරණ වේ.

තමන්ගේ ස්වභාවික ශාරීරික වෙනස්කම් ඇතුළුව තමන්වත් ආරක්ෂා කරගෙන ධනාත්මක සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙනගෙන යන්නේ කෙසේදැයි යන්න වයසට ගැළපෙන අයුරින් කියා දිය යුතුයි. දරුවන් කුතුහලය සමඟ විවිධ දේ අත්හදා බලයි. යාළුවන් කියන දේ අසයි. සමාජයෙන්, සම වයස් ඇසුරින් ඒ දැනුම ලබා ගනියි. වර්තමානයේ දරුවන් අන්තර්ජාලය හරහා හරහා ඉගෙන ගන්නේ නිවැරදි දේ නොවේ. දරුවන්ට වෙනදාට වඩා තාක්ෂණය හා මුසු වන්නට ලැබී තිබේ. ඒවාට සීමා මායිම් පනවන්නට නොහැකි වී ඇත්තේ මවුපියන්ගේ අඩු තාක්ෂණික දැනුමත්, ඔවුන් අබිබවා යන්නට දරුවන්ට හැකිවී තිබෙන නිසාත්ය.

දරුවෙක් අපයෝජනයට ලක්වද්දී සිදුවන බරපතළම දේ ගැබ් ගැනීම සහ සමාජ රෝගයන් වෙත ගොදුරු වීමයි. ලිංගික අධ්‍යාපනයේ එක් පැතිකඩක් වන්නේ උපත් පාලන ක්‍රමවේදයන් පිළිබඳ ලබන දැනුමයි. ගැබ් ගැනීම සහ රෝග වළක්වාලීමට එය සුදුසු ක්‍රමවේදයකි. උපත් පාලන දැනුම යනු ලිංගික හැසිරීමකට දෙනු ලබන සහතිකයක් නොවේ. ලිංගික හැසිරීම මනසින් සිදුවන දෙයකි. එය අකමැත්තෙන් සිදු වන්නේ නම් එතැනදී අපයෝජනයක් සිදුවේ.

ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැහැනු දරුවන්ට පමණක් සීමා විය යුතු නැහැ. පිරිමි දරුවන් සිටින පාසල්වලද එම දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වූවකි. ගැහැනු ළමයෙක් දිහා බලන්න ඕනේ කොහොමද? කතා කරන්නේ කොහොමද? සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් මිලදී ගන්නා ගැහැනු ළමයෙකුට විහිළු නොකරන්න, එවැනි ක්‍රියාවකින් ඒ ගැහැනු ළමයා අපහසුතාවට පත් නොකර සිටින්නට, කාන්තාවකට ගරුත්වය දක්වන්නේ කොහොමද යන පුහුණුව පිරිමි දරුවන් ලැබිය යුතුයි.

පළමුව ගැහැනු දරුවන් අඳින ඇඳුමේ දිග පළලේ වැරැද්ද කියා ඔවුන්ට දෝෂාරෝපණය කිරීම කළ යුතු නොවේ. කළ යුතු වන්නේ පිරිමි දරුවන්ට වැඩිපුර අවවාද දීමයි.

 

ගිලික් නීතිය

ඔබ 'ගිලික් නීතිය' පිළිබඳ දන්නවාද? මෙය සියලු රටවල් පිළිපදින සෞඛ්‍ය විද්‍යාත්මක නීතියකි. ගිලික් යනු මෙම සිද්ධිය වූ මවගේ වාසගමයි. දියණියන් දෙදෙනෙකුගේ මවක් තමාගේ අවසරය නොමැතිව ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න එපායැයි නඩුවක් පැවරීය. එම නඩුවෙන් මව පැරදිනි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ 'ලිංගික සෞඛ්‍ය සම්බන්ධව සේවාවක් බලාපොරොත්තු වෙනවා නම් මවුපියන් නැතිව තනිව එන දරුවකුට වුව ඒ ඒ දරුවාගේ පරිණත පිළිබඳ අදහසක් ලබාගෙන මවුපියන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ප්‍රතිකර්මය කළ යුතුයි' යන්නයි. ඒ අනුව ගිලික් නීතිය යටතේ දරුවන්ට ලිංගික ගැටලු සඳහා උදවු ලබා ගැනීමට වෛද්‍ය විද්‍යාත්මක අවසරය තිබේ. අවශ්‍ය වන්නේ නීතිමය අවසරය පමණි.

 

ළමා හිංසනයට තිත සංසදයේ සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක