දරුවන් විභාග සඳහා සූදානම් කරවීමට වැදගත් වන කරුණු

දෙසැම්බර් 27, 2021

 

ජීවිතයේ ඉදිරි ගමන තීරණය කරන අධ්‍යාපනය සෑම පුද්ගලයකුට ම එකසේ වැදගත් වේ. එහෙත් පසුගිය කෝවිඩ් සමය නිසා අනෙක් හැම ක්ෂේත්‍රයක් සේ ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් සිදු වුණි.

මේ නිසා නැවතත් මඟ හැරුණු අධ්‍යාපනයට නව පණක් දී විභාග සඳහා සූදානම් වීමට දරුවන්ට සිදු වේ.

ඔබ දරුවන් සිටින මවක් නම් තමාගේ දරුවා විභාගය සඳහා සූදානම් කරවීමට, පාඩම් කටයුතු හරියාකාරව සිදුකර ගැනීමට ඔහුට හෝ ඇයට උපකාර කරන්න.

පාඩම් කටයුතු සිදු කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ උදෑසන කාලයයි. අපේ සිරුරේ ස්වභාවයෙන් ම ඔරලෝසුව ක්‍රියාත්මක වෙන බව ඔබ දන්නවාද? අපේ ශරීරය සූර්යයා සමඟින් අවදි වේ. මේ නිසා අපේ සිරුරු සූර්යයා සමඟ සමපාත වේ. උදෑසන දී මනස තැන්පත්ව, නිරවුල්ව තිබෙන වේලාවයි. එම වේලාවේදී එයට ඇතුළු කරන කරුණු මතකයේ හොඳින් ගබඩා වේ. මේ මොහොතේ මනසේ වේගය, නිරවද්‍යතාව වැඩි ය. දිනයේ අලුයම් වේලාව බ්‍රහ්ම හෝරාව ලෙසින් හැඳින්වේ.

නමුත් මින් කියැවෙන්නේ රාත්‍රියේ දී පාඩම් නොකළ යුතු බව නොවේ. ඔබ රාත්‍රී 11-12 පමණ වන තෙක් හොඳින් පාඩම් කිරීමට හුරු වී ඇත්නම් එය වෙනස් කිරීමට අවශ්‍ය නැත. එක්වරම මේ පුරුදු වෙනස් කිරීමට යාම එතරම් සුදුසු නොවේ. නමුත් එය වෙනස් නොකළ යුත්තේ එම පුරුද්ද සාර්ථක නම් හා ඉන් අපේක්ෂිත ඉලක්කය වෙත යාමට හැකි බව පැහැදිලි නම් පමණි.

ඔබ රාත්‍රී කාලයේ දී පාඩම් කළත් විභාගවල දී අපේක්ෂිත ප්‍රතිඵල ලබාගෙන නැත්නම් ඔබ අනිවාර්යයෙන් ම ඔබගේ හුරුව වෙනස් කළ යුතුය. ඇතැම් දරුවන් සිංදු අසමින් පාඩම් කිරීමට හුරුව ඇත. මේ සියල්ල එකිනෙකාට ආවේණික හුරුවකි. නමුත් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ නම් එය වෙනස් කිරීමට උනන්දු වන්න.

පාඩම් කිරීම සඳහා කාලසටහනක් සකසා ගැනීම වැදගත් ය. මේ සඳහා අවදිවන වේලාව, නින්දට යන වේලාව පවා පැහැදිලිව සටහන් කළ යුතුය. එම කාලය අතරතුර දී ඔබ පාසල් යන වේලාවන්, අමතර පන්ති සඳහා සහභාගී වන වේලාවන් වෙන්කරන්න. අනෙක් කාලය විෂයයන් වලට දෙන වැදගත්කම අනුව කොටස් කරගන්න. දුර්වල විෂයයන් සඳහා වැඩි කාලයක් වෙන් කරන්න.

දිනයේ ඇතැම් වේලාවන් වඩාත් සුදුසු වන්නේ පාඩම් කිරීමටයි. තවත් සමහර වේලාවන් සුදුසු වන්නේ සටහන් තබා ගැනීමටයි. තවත් වේලාවන් පොත් කියවීමට සුදුසු නොවූවද රූපසටහන් ඇඳීම ආදියට , අභ්‍යාස කිරීමට යොදා ගත හැකිය.

රාත්‍රී කාලයේ දී නිදිමත එන දරුවකුට ඒ වෙලාව පොත් කියවීම සඳහා යොදා ගැනීම සුදුසු නැත. නින්ද එන වේලාවට කෙටි සටහන් පිළියෙල කිරීම, රූපසටහන් සැකසීම, ප්‍රස්ථාර ඇඳීම, අභ්‍යාස කිරීම ආදී කය චලනය වන ක්‍රියාවන් සඳහා වඩාත් සුදුසුය. ඉන් නින්ද නිසා පාඩම් වැඩවලට බාධා වීම වළක්වා ගත හැකියි.

උදෑසන පොත් කියවීම, පාඩම් කිරීම වැනි සිරුර නිසලව තබා ගත්තද නිදිමත නොඑන දේ සඳහා වෙන් කළ හැකිය. ඔබ දුර්වලතාවක් දක්වන හෝ ඔබට තේරුම් ගැනීමට අසීරු විෂයයන් සඳහා වැඩි වේලාවක් වෙන් කරන්න.

අනිවාර්යයෙන් ම උදෑසන අවදිවීම සඳහා නිශ්චිත වේලාවක් තබා ගන්න. අපේ ජීවිත සැකසී ඇත්තේ පුරුදු ගොඩකිනි. එම නිසා යම් ක්‍රියාවක් පුරුද්දක් කරගැනීමෙන් එය ජීවිතයේ යහපත උදෙසා ඔබට යොදා ගත හැකියි. මේ නිසා උදෑසනින් අවදිවීම පුරුද්දක් බවට පත්කර ගන්න. එවිට නිරායාසයෙන් ම ඔබ ඒ වේලාවට අවදි වේ. අපිළිවෙළට එක් එක් දිනවල දී එක් එක් වේලාවන්වලට අවදි වන අයට උදෑසන අවදිවීමට අසීරු ය.

ඔබට උදෑසනින් අවදිවීමට අපහසු නම් හා එය පුරුද්දක් කරගත යුතු නම් පාඩම් කටයුතු සිදු නොකළත් දින 21ක් උදෑසන එක් වේලාවකට අවදිවන්න. ඉන්පසුව 22වන දිනයේ දී ඔබේ සිරුරේ ඇති අනගි ඔරලෝසුව මඟින් ඔබව එම වේලාවට කිසිදු බාධාවක් නැතිව අවදි කරනු ඇති. මෙය ඉන්පසුව ඔබට පුරුද්දක් බවට පත් වේ.

මෙය ඕනෑම අයකුට වැදගත් ය. ජීවිතය දිනීමට නම් පාසල් දරුවන් පමණක් නොව, සෑම පුද්ගලයකු ම යම් කාලසටහනකට අනුව කටයුතු කිරීමට පුරුදු විය යුතුය. එවිට අපේ අතින් කාලය අපතේ යාම අවම වේ. එවිට පොත් කියවීමට, පවුලේ අය සමඟ කාලය ගත කිරීමට, ශාරීරික ව්‍යායාම් කිරීම ආදියට වේලාවක් නැතැයි මැසිවිලි නගන ඔබට ඒ සඳහා පිළිතුරක් ලබා ගත හැකියි. මේ මඟින් නිසි පරිදි වේලාව කළමනාකරණය කිරීමට හැකි වේ.

විභාගය ළං වීමේ දී ආතතිය වැඩි වන නිසා මවුපියන් විසින් දරුවන්ට අනවශ්‍ය ලෙස පාඩම් කටයුතු කරන ලෙස හෝ යම් යම් දේ පැවසීම මඟින් ඔවුන්ගේ සිත් බිය වැද්දීම හා පීඩනයකට ලක් කිරීම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ දන්නා දේ පවා දරුවාට විභාගයේ දී නිසි සේ ගොනුකර ගැනීමට නොහැකිව විභාග භීතිකාවක් සිතට පිවිසිීමයි. විභාගයට සතියකට දෙකකට පෙර කාලය ගත කළ යුත්තේ ඉතා සැහැල්ලුවෙනි. ඒ කාලයේ බර පොත් පෙරළාගෙන පාඩම් කරන කාලයක් නොවේ. ඒ, පාඩම් කළ කරුණු ආවර්ජනය කරන කාලයයි.

එලෙසින් විෂය කරුණු ආවර්ජනය කිරීමට අසීරු නම් නැවතත් පොත් බලා කෙටි සටහන්, රූපසටහන් අලුත්කර ඒවා මතකයට නගා ගන්න. මේ, තමා ගැනම විශ්වාසයක් ඇතිව කටයුතු කළ යුතු කාලයයි. කිසි විටෙක මට පාඩම් කළාට විභාගයට හොඳට ලියන්න පුළුවන් වේවිද දන්නෙ නෑ, විභාග ශාලාවේදී විෂය කරුණු මතක් වේවිද දන්නෙ නෑ යන ඍණාත්මක සිතුවිලි සිතින් බැහැර කරන්න. මට පුළුවන්.. මම හොඳට විභාගය ලියනවා යන සිතුවිලි මනසට ඇතුළුකර විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දෙන්න.

ප්‍රශ්නවලට හැකි තරම් පිළිතුරු ලියන්න. ලිවීමේ වේගය සකසා ගන්න. මිතුරන් සමඟ ගැටලු සාකච්ඡා කරන්න. විභාගයට සතියකට පෙර සිට උදෑසන විනාඩියක් පමණ වේලාවක් මනසින් විභාග ශාලාවට ගොස් හොඳින් පිළිතුරු ලියන ආකාරය මනසින් දකින්න. එය විභාගය දිනයේ දී එයට හොඳින් මුහුණ දීමට පෙර පුහුණුවක් වේවි. ඔබ තුළ ඔබ ගැන ආත්ම විශ්වාසයක් ඇතිකර ගැනීමට ද මෙමඟින් හැකි වේවි.

මව්පියන් විසින් ද දරුවන්ගේ සිතුවිලිවලට බලපෑම් කරන අහිතකර දේ පැවසීම සුදුසු නැත. අනෙක් දරුවන් සමඟ සැසඳීම, ඍණාත්මක ආකල්ප ඇතිවන දේ පැවසීම නුසුදුසු වන අතර නිතරම ඔබට පුළුවන් යන අදහස දරුවාගේ මනසට ඇතුළු කරන්න. ජය නියතයි.

 

උපදෙස් - ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු