චූටි දූට ලස්සනම ලස්සන කොණ්ඩයක්

පැහැපත් සමක් ලැබෙන්නට නම්...
දෙසැම්බර් 27, 2021

 

“දරුවා කුසේ තියාගෙන ඉන්න කාලේදිමයි මම එයාගේ කොණ්ඩය ගැන, හම ගැන හිතුවේ. කෙලි පොඩ්ඩකට නම් ලස්සනම ලස්සන කොණ්ඩයක් තියෙන්න ම ඕනනේ. හිරණ්‍යා එයාගේ හොඳම මිතුරියත් එක්කයි මේ තොරතුරු හුවමාරු කරගත්තේ.“

මාස නවයක් පුරාවට දරුවකු කුස තුළ තබාගෙන සිටින මවක් පෝෂ්‍ය පදාර්ථවලින් හෙබි කෑම බීම රටාවකට හුරුවන්නෙ ම දරුවාගේ මොළය, කොණ්ඩය, මනාව වැඩුණ අඟපසඟ... යන මේ දේවල් පිළිබඳ හිතාගෙනමයි.

ඉතිං මාස 9 පුරාවට ම ඇඟිලි ගැනලා දරුවා මෙලොවට බිහිවද්දී එසැණින් ම දකින්නේ කොණ්ඩය. කොණ්ඩය පිරුණ බබෙක් ව දකිද්දි අම්මෙකුට දැනෙන සතුට වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.

දරුවාට දින 45ක්, මාස කිහිපයක් ගත වූ පසු සූදානම් වෙන්නේ නැකතට කොණ්ඩය කපන්න. දරුවාගේ පළමු කෙස් රොද නැකතට කපලා මිහිරි මතක සටහනක් ලෙස එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ. නැකැතකට අනුව කොණ්ඩය කපන්න හිතෙන්නේ ලස්සන පිරුණු කොණ්ඩයක් වැවේවි යන අදහස පෙරටුකරගෙනයි. මේ කෙස් රොද දරුවාගේ පළමු වසරේ ඡායාරූප රැගත් ඇල්බමයට එකතු කරන්නා සේ පෙකණි කටුව දරුවාට මුලින් ම ඇන්දවූ ඇඳුම... මේ ආදී වශයෙන් වෙනමම එකතු කරන්නත් හිතෙනවා. ඒත් එක්කම සමහරු කිරිකැටි දරුවාගේ පළමු කෙස් රොද ගංගා, ඇළදොළ වැනි ගලායන ජලය ඇති තැන්වලට එකතු කරන අවස්ථාත් දැකගන්න පුළුවන්.

කොණ්ඩය කැපීම

දරුවා පුංචි ම කාලේදී පුංචි කෙස් රොදක් හැරුණු විට මුළු කොණ්ඩය ම කපන්න පෙලඹෙන්නේ නැහැ. ඒ කතුරු තුඩ වදියි, දරුවා දඟලාවි, හිස තදින් අල්ලාගෙන ඉන්නට සිදුවීම වැනි කාරණා නිසා. මේ නිසාම දරුවාගේ හිසේ සියුම් නහර අනවශ්‍ය ලෙස තෙරපේවි යන හැඟීමෙන් පුංචි ම වයසේ දී කොණ්ඩය කපන්නේ නැහැ.

බහ තෝරන වයසේදී කොණ්ඩය කපන්නට පෙ‍ලඹෙන්නේ නැත්තේ දරුවාගේ කතාවට බාධාවක් වේ යැයි සිතාය. දරුවා ගොත ගසාවි යැයි සිතායි. මේවායින් බොහොමයක් කාරණා මිත්‍යා මත ලෙස ගොඩනැඟුණු ඒවායි.

දරුවාගේ හිස මුඩු කරන්නේ ඉපදෙන විට තිබුණු සිනිඳු කොණ්ඩය වෙනුවට අලුතින් වැවෙන කෙස් ඝනව මනාව වැඩ්වි යැයි සිතාය. මෙහි ද සත්‍යයක් නොමැති තරම්.

 

සම

දියණියගේ සම ගැන සැලකිලිමත් වීම ඉතා හොඳයි. පළමු වසර එකහමාරේදී නෑවීමට පැයකට පමණ පෙර තල තෙල්, පිරිසුදු පොල් තෙල්, එරඬු තෙල් හිසේ සිට යටිපතුල දක්වා ආලේප කර උදෑසන 9.30ත් 10.30ත් අතර මඳ හිරු රැස් වැටෙන ස්ථානයක දරුවා තබන්න. එවිට විටමින් D ද හිරු එළිය නිසා දියණිය ගේ සමට හොඳින් ලැබේවි.

තල තෙල් අවුන්ස 1ක්, පොල් තෙල් අවුන්ස 1ක්, එරඬු තෙල් අවුන්ස 1ක් ගන්න. මේ සියල්ල පිරිසුදු ඒවා වීම වැදගත්. මෙයට කස්තුරි කහ කෑලි 10ක්, වෙනිවැල්ගැට කුඩු කලවම් කරන්න. මේවා ආයුර්වේද බෙහෙත් කඩවල තිබේ. මේ සියල්ල මඳ රස්නෙන් රත්කර බෝතලයකට දමා භාවිතයට ගන්න. මෙම අනුපාත ප්‍රමාණයන්ගෙන් වැඩි කර වැඩි ප්‍රමාණයක් සාදා දින ගණනක් භාවිත කළ හැකියි. මේවා රත් කළ යුතු වන්නේ නන්ස්ටික්, මැටි භාජනයක හෝ සුදු යකඩ භාජනයකයි. ඇලුමිනියම් භාජනවල රත්කරන්න එපා.

හොඳින් තෙල් ආලේපකර මෘදුව සම්බාහනය කරන්න. පැහැපත් ලස්සන සමක් දියණියට ලැබෙනු ඇත. බොහොමයක් චර්ම රෝගවලින් පවා මිදෙන්න හැකිවනු ඇත.

 

දියණියගේ සම ගැන තවත් විස්තර

ලබන සතියේ.

 

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය

මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක