වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඔබ දරුවා සමඟ වැඩි කාලයක් ගතකිරීමේ වටිනාකම
අයේෂා සංවර්ධන නිලධාරිනියක ලෙසින් පත්වීමක් ලැබුවේ වසර පහකට පෙරය. ඇය ඒ වනවිටත් එක්දරු මවකි. පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ ඇයට තම සැමියා නිසා මහරගම ප්‍රදේශයට පැමිණීමට සිදුවූයේ ඊට වසර දෙකකට පසුය.
ඒ වන විටත් දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමේ අපේක්ෂාවෙන් සිටි ඇයට මේ සියල්ල හමුවේ විශාල ගැටලු රැසක් නිර්මාණය විය. දරුවන් බලා ගැනීම යන ගැටලුව හමුවේ පළමු දරුවා පිළිබඳ වූ අවධානය සම්පූර්ණයෙන්ම ගිළිහී තිබුණි. දවසින් දවස සංකීර්ණවන ගැටලු හමුවේ අයේෂාට විසඳුමක් ලෙස පැවැතියේ දරුවා රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට (Day Care Centre) ඇතුළත් කිරීමය.
තරමක විසඳුමක් ලෙස Day Care Centre එකේ රඳවා අයේෂා සුසුමක් හෙළුවාය. එහෙත් දරුවා ගැන සොයා බලන්නට කිසිම අවස්ථාවක් ඇයට නොවීය. මේ සියලු සිදුවීම් හමුවේ දරුවාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස්වී තිබුණි. දවසින් දවස මුරණ්ඩු වූ දරුවා සියලු පාසල් වැඩ අත්හැර දමන්නට විය. පාසලේ ගුරුවරුන් ද මේ ගැන අයේෂාට විටින් විට දැනුම් දුන්නේ දරුවා පිළිබඳ රතු එළියක් දල්වමිනි. මේ සියලු දේ හමුවේ ඇයට මේ සඳහා විසඳුමක් සොයා ගැනීම ඉතාම බරපතල ගැටලුවක් වී තිබුණි.
වර්තමාන සමාජ ක්‍රමය
ඇත්තවශයෙන්ම සමාජය තුළ තමාගේ ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට නම් ́සෑම පුද්ගලයකුම තමන්ට ගැළපෙන
ක්ෂේත්රයක් තුළ යම් ශ්‍රමයක් හා කාලයක් කැපකර ජීවන උපායක් සකසා ගත යුතුය. තමන් කුමන ක්ෂේත්රයකට යොමු වුවත් එමගින් ලබාගන්නා සාර්ථකත්වය මත තමාගේ ජීවනෝපාය ගත කරන මට්ටම සකස් කර ගත හැකිය.
වර්තමාන සමාජ ක්‍රමය තුළ තමන්ගේ සම්පූර්ණ හැකියාව හා කාලය තමන්ගේ ජීවන මට්ටම උසස් කරගැනීමට පමණක් යොදා ගැනීම හරහා දරුවා සම්බන්ධව විවිධ සමාජ ගැටලු රාශියක් නිර්මාණය කර ඇත. මව්පියන්ගේ ජීවන ගමන තුළ ආර්ථිකමය වශයෙන් සාර්ථක වීම පමණක් මිනිසකුගේ සාර්ථකත්වය පිළිබඳ මිම්මක් ලෙස සලකණු නොලැබේ.
තමා මෙන්ම තමාගේ දූ පුතුන් ද සාර්ථක පුද්ගලයින් ලෙස සමාජ සංස්ථාවට එකතු කිරීම මව්පියන්ගේ වගකීමක් ලෙස සැලකේ. මෙහි දී දරුවන්ගේ ශාරීරික වර්ධනය පමණක් නොව සමාජ කුසලතාවන්, බුද්ධිමය හැකියාවන් හා අධ්‍යාත්මික ගුණවගාව යන අංශවල දියුණුව ද මව්පියන්ගේ අතින් ඉටුවිය යුතු වගකීම් ලෙස සැලකේ. දරුවන් සාර්ථකව ළමා කාලය තුළ සංවර්ධනය කර සමාජයට එකතු කිරීමට ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක සහභාගිත්වය අපේක්ෂා කෙරේ. මව්පියන්, පෙර පාසල් ගුරුවරියන් හා පාසල් සංස්ථාව මෙහිදී ප්‍රධාන වශයෙන් වැදගත් අංශ ලෙස සැලකේ.
මුල් ළමා කාලය
විශේෂයෙන්ම මුල් ළමා කාලය තුළ දරුවාගේ සංවර්ධනය මුළු ජීවිත කාලයටම බලපාන බැවින් මේ මුල් කාලය සාර්ථකව කළමනාකරණය කරගැනීම මව්පියන් හට පැවරුණු බාරදූර රාජකාරියක් ලෙස සැලකේ.
ඉතාම වැදගත් කරුණ වන්නේ, ස්නායු මනෝවිද්‍යාවට අනුව දරුවාගේ මොළයෙන් 90% ක් පමණ වර්ධනය වන්නේ මුල් අවුරුදු 6 ක කාලය තුළදී වීමයි. මෙම කාලයෙන් වැඩිම කොටස දරුවා ගත කරන්නේ, මව්පියන්ගේ ඇසුර තුළ වීම මෙම කර්තව්‍යය තවත් බැරෑරුම් කරවයි.
තමන් රාජකාරි බහුලවීම, වැඩිපුර වගකීම් දැරීම සහ සමාජයේ ඉහළ තනතුරක් හෙබවීම ඔබට වැදගත් වුවත් එය දරුවාගේ අනාගතයට වැදගත් වන්නේ, ඔබ දරුවා වෙනුවෙන් වෙන්කරන සතුටුදායක කාලය මතයි.මව්පියන් තමන්ගේ දරුවා වෙනුවෙන් වෙන් කරන කාලය මත දරුවන්ගේ සාර්ථකත්වය අනුලෝමව ඉහළ යන බව විද්වතුන්ගේ මතයයි. මෙයට අමතරව ඔබ දරුවාට ළමා කාලය තුළ ලබාදෙන මිහිරි අත්දැකීම් මත ඔබ හා දරුවා අතර මනා සම්බන්ධතාවක් ගොඩ නැගේ. මේ සම්බන්ධතාවය ජීවත කාලය පුරාම ශක්තිමත් බැම්මක් ලෙස බැඳී පවතින අතර පසු කාලයේ දී දරුවා, මව්පියන් සොයාගෙන එන්නේ එම මිහිරි මතක මත පදනම් වූ ශක්තිමත් සම්න්ධතාව මතයි.
එසේ නොමැතිව ඔබ පසු කාලයක ඔවුන්ට ලබා දුන් දෑවැද්ද, උරුම කරදුන් දේපොළ හා උසස් අධ්‍යාපනයට වෙන් කළ මුදල ඔවුන්ට වැදගත් නොවේ. එය දරුවා විසින් නොසලකා හරින අතර එය ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙස සලකා කටයුතු කිරීම දරුවන් අතින් නිතරම සිදු වේ.
මව්පියන්ගේ කාලයෙන් කොටසක් දරුවන් වෙනුවෙන් වෙන් කරගන්න. තමන්ගේ විවේක කාලය ඵලදායි අන්දමට සුළුවෙන් හෝ දරුවන් වෙනුවෙන් ගත කිරීමට උත්සහ කරන්න. ඔබ කොතරම් කාර්යය බහුල වුවත් ඔබ දරුවා සමඟ ගත කරන කාලයට සාමානුපාතිකව දරුවාගේ සාර්ථකත්වය ඉහළ යනු ඇත. දරුවාට මව්පියන් පිළිබඳ මිහිරි මතක මැවෙනු ඇත. දරුවාගේ මානසික සංවර්ධනය වාඩාත් යෝග්‍ය අකාරයට හැඩ ගැසෙනු ඇත. අඩුම තරමේ සාර්ථක සති අන්තයක් දරුවන් සමඟ ගත කිරීමට උත්සහ ගන්න.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ සාර්ථක ගමනක් ආරම්භ කරවන්න.
සාර්ථක ගමනක්
සාර්ථක අධ්‍යාපන ගමනකට අත්‍යවශ්‍ය අංග දෙක ලෙස සැලකෙන්නේ භාෂාව භාවිත කිරීමේ හැකියාව හා ගණිත සංකල්ප යොදා ගැනීමේ හැකියාවයි. මේ සඳහා පදනම ආරම්භ කළ යුත්තේ, පෙර පාසල් කාලය තුළයි. විද්වත් මතය අනුව ගණිතය සාර්ථක වීමට නම්, එයට අවශ්‍ය සංකල්ප දරුවාගේ වසය අවුරුදු 4 හා 5 කාලය තුළදී ඉගෙන ගත යුතුවේ. මෙම කාලය දරුවන් ගත කරන්නේ නිවෙස තුළ මව්පියන් හා වැඩිහිටියන් ඇසුරෙනි. තවත් සුළු කාලයක් පෙර පාසල් ගුරුවරුන් ඇසුරේ ගතකරයි.පළමුව භාෂාව භාවිත කිරීමේ හැකියාව දියුණු කරගන්නා ආකාරය සලකා බලමු. භාෂාව හොඳින් පුහුණු කළ දරුවා ́සෑම ක්ෂේත්රයක් තුළ විශේෂ දියුණුවක් ඇති කර ගනී. මෙහි දී වැදගත්ම ප්‍රමාණය වන්නේ, අකුරු ලිවීමට පෙර දරුවා හට භාෂාව කථා කිරීමට වඩා හොඳ ප්‍රවීණතාවයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමයි.මේ සඳහා හැකි තරම් දුරට දරුවා සමඟ කථා කරන්න. විවිධ ශබ්ද වර්ග දරුවාට හඳූන්වා දෙන්න. විවිධ වචනවල තේරුම දරුවාට පහදා දෙන්න. පරිසරයේ ඇති සෑම දෙයක් ගැනම දරුවා සමඟ කථා කරන්න. භාෂාව තුළ ඇති විවිධ වචන මේ සඳහා යොදා ගන්න. දරුවා සමඟ එකතු වී විවිධ පොත් හා කතන්දර දරුවාට ඇසෙන සේ කියවන්න. දරුවා රාත්‍රීයේ
නින්දට සැරසෙන විට දරුවාට ඇසෙන සේ සුදුසු පරිදි කතන්දර හා කතා පොත් කියවන්න. (Bed Times Stories)
උපදෙස් - වෛද්‍ය
පී. එම්. විජයවර්ධන
ළමා රෝග විශේෂඥ වෛද්‍ය