යොවුන් දියණිය අසාමාන්‍ය ලිංගික චර්යාවලට යොමු නොවන්නට නම්

මාර්තු 21, 2022

 

“සුවිනි ඔයා දන්නවා ද අදත් අපේ දූලගේ ඉස්කෝලේ ගැහැනු ළමයි දෙන්නෙක් ගේ ඕනේ නැති හැසිරීමක් තවත් ළමයි ටිකක් ටොයිලට් එකේදි දැකලා.“

 

“විනය භාරව ඉන්න ටීචර්ට කම්ප්ලේන් කළේ නැද්ද දන්නේ නෑ මේ ළමයි.“

“කම්ප්ලේන් කරලා. ඒ සිද්ධිය ඉස්කෝලේ පුරාම හා හෝවක් වගේ පැතිරිලා.“

“මෙලහකටත් වෙන ඉස්කෝලවලටත් මේ ආරංචිය ගිහින් ඇති. අනේ මන්දා මේ ළමයි කර ගන්න දේවල්... දුව මේ ගැන ඇහුවොත් මොකක් කියන්නද මන්දා“

මෑත කාලයේ ලිංගිකත්වය පිළිබඳ පෙරට වඩා වැඩිපුර කතාබහට ලක්ව තිබේ. ඒ අතරිනුත් ලිංගිකත්වය සමඟ බැඳුණු අසාමාන්‍ය ලිංගික චර්යා (Abnormal Sexual Behaviours) ගැන ලැබෙන තොරතුරු වෙනදාට වඩා වැඩියෙන් ඇසේ.

සාමාන්‍ය ලිංගික චර්යා හා අසාමාන්‍ය ලිංගික චර්යා යනු මොනවාදැයි වෙන් වෙන් කළ නොහැකි තරමටම වත්මන් ඒවා සම්මිශ්‍රණය වී ඇත.

විෂම ලිංගික සබඳතා හෙවත් කාන්තාවක් සමඟ පුරුෂයෙක්, පුරුෂයෙක් සමඟ කාන්තාවක් අතර ඇතිවන සබඳතා වෙනුවට පාසල් කාලයේ පටන් ඇතිවන සම ලිංගික සබඳතා රැල්ලක් ගැන මේ වනවිට අසල්ලට ලැබේ. විෂම ලිංගික සබඳතා සහ ස්වයං වින්දනය වැනි සාමාන්‍ය ලිංගික චර්යා පොදුවේ මානසිකව හා කායිකව තර්ජනයක් ඇති නොකරයි.

සමලිංගිකත්වය, වයස් පරතරයකින් සිදුවන අසම්මත ලිංගික සබඳතා, ගණිකා සේවනය, කුඩා දරුවන් සමඟ ලිංගික කටයුතු (ලිංගික අපයෝජනය), සතුන් සමඟ ලිංගික සබඳතා, එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර ඇතිවන ලිංගික සබඳතා අසාමාන්‍ය ලිංගික සබඳතා ලෙස අර්ථ දක්වා ඇත. මේවා මනෝ විද්‍යාත්මකව ද අසාමාන්‍ය ලිංගික සබඳතා ලෙස අර්ථ දක්වා ඇත.

මෙවැනි අසාමාන්‍ය ලිංගික රටාවන් පිළිබඳ අප මින් පෙර අසා තිබුණේ බටහිර රටවලට සීමාවූවක් කියායි. එහෙත් අප රටට ද දැන් මෙවැනි සබඳතා සාමාන්‍යකරණය වෙමින් පවතී.

මාපියන්ගේ කාර්යබහුලත්වය, දරුවන්ට ඇති අසීමිත නිදහස, කෝවිඩ් තත්ත්වයත් සමඟින් ළමයින් අතට ජංගම දුරකථන, ටැබ් ආදිය පත්වීම මේ සඳහා සෘජුවම බලපා තිබේ.

තරුණ දියණියන්, තරුණ පුතුන් සිටින මාපියන් තම දරුවන් සමඟ සමීප සබඳතාවක් ගොඩ නඟා ගැනීමේ ඇති වාසිය මෙයයි.

අසාමාන්‍ය ලිංගික චර්යාවන් මිනිසුන්ට ඇතිවන්නේ මිනිස් මොළයේ ඇති විශේෂ රසායනික ක්‍රියාකාරිත්වයක් හේතු කොටගෙනය. ඒවා ජීවිතය පුරා නොකඩවා පවතින්නේ (Dopamine Activities) ඩෝපමින් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ඇබ්බැහිවීම් නිසාය. මෙහිදී මිනිසුන් ලිංගික ඇබ්බැහිවීමකට ගොදුරුවන අතර මේ ඇබ්බැහිවීම අනෙකුත් ඇබ්බැහිවීම්වලට සමානවේ.

කුඩා අවධියේ සිට ලබන අත්දැකීම් හා පරිසරය නිසාත් ඇතැම්විට මේ තත්ත්වයට පත්වේ. ප්‍රවේණික සාධක නිසාත් දරුවන් මේ තත්ත්වයට පත්වේ. කෙසේ වුවත් අසාමාන්‍ය ලිංගික රටා තමාට මෙන්ම සමාජයට ද අහිතකර වේ. එය පිළිලයක් බඳුය. ඔබ දරුවන්ට අධ්‍යාපනය දෙනවා සේම මෙවැනි විකෘති හැසිරීම් රටා පිළිබඳවත් සැලකිලිමත් වන්න. පාසලේ දී ගුරුවරුන් අත ද මේ පිළිබඳ කිසියම් වූ වගකීමක් පැටවේ. අධ්‍යාපනනයට සමාන්තරව මෙවැනි ඇබ්බැහිවීම් පිළිබඳ කල්පනාකාරී විය යුතුවේ. වරදට පෙළඹීමේ මුල්ම අවස්ථාව නොදැනුවත්කමින්, බලහත්කාරයෙන්, අත්හදා බැලීමක් ආදී වශයෙන් සිදු වූවක් විය හැකියි.

පුංචිම දරුවන් ඇතුළුව වයස අවුරුදු 10 - 12 වයස් වනතුරු දරුවන් කාටූන් නැරැඹීම, පරිගණක ක්‍රීඩා කිරීම ආදිය කළත් ගැටවරවියේ හා තාරුණ්‍යයේ පසුවන දරු දැරියන්, ස්මාර්ට් දුරකථනයක් අත රැඳුණු කල්හි ලිංගිකත්වය ආශ්‍රිත විවිධ වීඩියෝ පට නරඹන්න පෙළඹිය හැකියි.

අසාමාන්‍ය ලිංගික චර්යාවලින් ඉවත්වීමේ දී පුද්ගල දැනුවත් භාවය, සමාජ දැනුවත්භාවය ඉතා වැදගත් වේ. මෙවැනි අසාමාන්‍ය ලිංගික චර්යා රටාවලට කැමැත්තක් දරුවාගේ ඇතැයි ඉවෙන් මෙන් දැනුණොත් වහාම මනෝ උපදේශනයක් වෙත යොමු කරන්න.

සායනික මනෝවිද්‍යාවේදී මෙවැනි රෝගී තත්ත්වයන් සඳහා බටහිර ප්‍රතිකාර ද ඉතා බහුලව ඇත.

නූතන මනෝ ප්‍රතිකාර ඉතා දියුණු ප්‍රතිකාරවලින් සමන්විතය. ඒවා මඟින් චර්යා ප්‍රතිසංස්කරණ සිදු කරයි. වැඩිහිටි ඔබට දරුවන් පිළිබඳ යම් කිසි ඉඟියක් හෝ දැනුණහොත් වහා පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමු කරන්න. ළදරුවියෙන් ළමා වියට පත්වද්දීත්, ළමා විය ගෙවා දමා ගැටවරවියට එළඹෙද්දීත් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම අතිශය වැදගත් වේ.

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක