දූ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්නට එක්ව වගකීම් ඉටුකරමු

මැයි 23, 2022

 

අද දවසේ වැඩිහිටියන් බවට පත්වී සිටින අපි සැවොම මොහොතක් පාසල් කාලයට ඇවිද යමු. කොයිතරම් නම් සොඳුරු මතකයන් ගොන්නක් අවදි කළ හැකිද?

 

විශේෂයෙන්ම ඔබ ගැමි පරිසරයක හැදී වැඩුණු දරුවකු නම්, ඇළේ දොළේ දිය බුං ගසමින්, ගහකොළ ඇසුරේ දුව පනිමින් සොබාදම් මාතාවගේ තුරුලේ අපමණවත් සැනසෙන්නට ඇති. යහළු යෙහෙළියන් හා එක්ව කෙළිකවට වදන් පවසමින් සැතපුම් ගණන් පාගමනින්ම පාසල් ගිය හැටි, කුප්පි ලාම්පු එළියෙන් පතපොත අකුරු කළ හැටි, අපූරුවට සඳපායා එන රාත්‍රියට ගෙමිදුලට විත් කවි පාඩම් කළ හැටි සදාකාලික මතකයන් ලෙස සිතෙහි තැන්පත්ව ඇති.

ගෙවුණු ඒ යටගියාව කොයිතරම් දුෂ්කර වුවත් ගෙවා ආ මඟ පිළිබඳ අපේ සිත් තුළ පවත්නේ මහත් අභිමානයකි. නමුත් ඔබ මොහොතක් සිතුවා ද අද දවසේ ජීවත්වන පාසල් දරුවකු සතුව එවන් අපූරු මතකයක්, සොඳුරු හැඟුම් සමුදායක් හෙට දිනට ඉතිරි වේ යැයි කියා.

ඇත්තටම මේ වනවිට අපේ රට පුදුමාකාර ඛේදවාචකයකට මුහුණ දී තිබේ. ඉන්ධන, ගෑස්, විදුලිය සපයා ගැනීම උග්‍ර ගැටලුවකි. බඩු මිල කිසිසේත් පසුම්බියට දැරිය හැකි නොවේ. දරුවකු ආසා කරන දෙයක් නොව තියෙන හැටියට කවා පොවා හෝ පාසලට පිටත් කරන්නට පවා අපහසු වන්නේ එයට ද ඉන්ධන හිඟවීම හරස් වන බැවිනි.

මේ ගෙවී යන්නේ 2022 වර්ෂයේ පස්වැනි මාසයේ හතරවැනි සතියයි. නියමිත පරිදි ජනවාරි මාසයේ පාසල් ආරම්භ වූවා නම් දැන් දරුවන් ඉගෙනගත යුත්තේ දෙවැනි වාරයට අදාළ විෂයය කරුණුය. නමුත් කොරෝනා වසංගතය හමුවේ මෙරට අධ්‍යාපන රටාව බොහෝ සෙයින් පසුගාමී වූ බව ඔබ අප සැම හොඳින් දන්නා කරුණකි. ඒ හරහා දරු පැටවුන්ගේ අ. පො. ස. සා පෙළ, උසස් පෙළ, පහ වසර ශිෂ්‍යත්ව ආදී විභාග කල් ගියේය. 2021 දෙසැම්බර් මස මුහුණදීමට බලාපොරොත්තු වූ විභාගය ආරම්භ වන්නේ ද මේ 23 වැනිදායි.

මොහොතක් සිතන්න. මේ විදිහට කල් ඇදී යන්නේ අපේ රටේ පුංචි පැටවුන්ගේ අනාගතය නොවේද? විභාග නොපැවැත්වූවා කියා, පාසල් නොගියා කියා ඔවුන්ගේ වැඩීම නවතින්නේ නැත. වයසට යෑම නවතින්නේ නැත. සිදුවන එකම දේ ඔවුන්ගේ අධ්‍යාපනය බිඳ වැටී, බුද්ධි වර්ධනය හීනවීමයි. කෙටියෙන්ම කිවහොත් මෙරට අනාගත පරපුර බුද්ධි හීනයන් බවට පත්වීමයි.

අපි මෙහෙම හිතමු. 2019 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවාට ඒ වසරට

නියමිත පාඩම් මාලාව සම්පූර්ණ කිරීමට අපහසු වූ බව අපි දනිමු. ඒ පාස්කු ප්‍රහාරය නිසා දෙවැනි වාරයේ පාසල් වැසීමට සිදු වූ බැවිනි. අනතුරුව 2020, 2021, 2022 ආදී වශයෙන් වසරින් වසර ඉක්ම ගොස් මේ වන විට දරුවා හතරවැනි ශ්‍රේණියට සමත්ව සිටිය ද කොරෝනා වසංගතය හමුවේ දරුවාට නිසි අධ්‍යාපනයක් ලැබුණා යැයි ඔබ සිතනවා ද?

පාසල් අධ්‍යාපනය යනු විෂයය දැනුම මත පමණක් පදනම් වූ ක්‍රියාවලියක් නොවේ. අපේ දරුවන්ට විෂයය බාහිර ක්‍රියාකාරකම් සියල්ලම මේ වසර කිහිපය පුරාවට අහිමි වූ බව ඔබ දන්නවා ද? ක්‍රීඩා උත්සව, විවිධ ප්‍රසංග, සිල් සමාදම් වීම්, භක්ති ගීත ගායනයන්, අවුරුදු උත්සව ආදී වශයෙන් සිසු දරුවන් අතර පවත්වන ක්‍රියාකාරකම් සියල්ලම ඔවුන්ට අහිමිය. නැටුම්, ගැයුම්, වැයුම් තරග, ශිෂ්‍ය නායක පදවි ආදී බොහෝ දේ අහිමිය. ඒ අහිමි වූ අවස්ථාවන් ලබාගන්නට, ජයග්‍රහණ හිමි කරගන්නට පාසල් ජීවිතයේ දී යළි කිසිදු අවස්ථාවක් හිමි නොවේවි. සැබවින්ම එය කණගාටුවට කරුණක් නොවේ ද?

එබැවින් රජයට, අධ්‍යාපන ක්‍රමවේදයට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට ආදී වශයෙන් එකිනෙකාට ඇඟිලි දිගු කරනවා වෙනුවට අපි අපිටම වැරැදි පෙන්වා හෘද සාක්ෂිය විමසිය යුතු නොවේ ද? ආදරණීය වැඩිහිටියන් ලෙස අපි සියලුදෙනා මේ වගකීමෙන් බැඳී සිටිනවා නොවේ ද? එසේනම් අපි මේ වරද නිවරද කරන්නට එකාමෙන් පෙළ ගැසී දූදරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්නට දැඩි අරමුණක් ඇතිව කැපවෙමු. අපේ රටේ අනාගතය සුරකින්නට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එකාමෙන් එක්වී වගකීම් ඉටු කරන්නට සිතට ගනිමු.