දරුවන් හුරතල් කරන්න ඕනේ පුංචි කාලේ විතරම ද?

මැයි 23, 2022

 

හිරණ්‍යාගෙයි සේමිතගෙයි එකම දෝණි හිරුකි ඉගෙනීමට උනන්දු දක්ෂ දරුවෙකි. මොන තරම් කාර්යබහුල දිවිපෙවතක් ගත කළත් ඔවුන් ඇගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බලන්නට අමතක කළේ නෑ.

 

හැදී වැඩෙන දියණියකගේ මානසික ස්වභාවය පිළිබඳ සොයා බලන්න බොහොමයක් මාපියන්ට කාලය නැහැ. මාපියන්ගේ කාර්යබහුල ජීවිතෙන් දරුවන් වඩාත් පීඩාවට පත්වෙලා. විශේෂයෙන්ම දියණියට තම මවට කීමට බොහෝ දේ තිබෙන්නට පුළුවනි. පියාගේ සෙනෙහසේ දැවටි දැවටී සිටින්නට දියණියන් කැමැත්තක් දක්වයි.

ඇතැම් මාපියන් සිතන්නේ අධ්‍යාපනයට වියපැහැදම් කරමින් ඒ සඳහා අත්වැලක් වීම පමණක් ප්‍රමාණවත් කියායි. ඔවුන් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මහා සටනක නියැළෙයි. සෞන්දර්යයට බර නොවූ, ක්‍රීඩාවට හිත නොනැමුණු විනෝදාංශවලට බර නොවුණු දරුවා නිතැතින්ම මානසික පීඩාවෙන් කල්ගත කරයි. යෞවන කාලය මෙලෙස ගත කරද්දී එය ඇගේ අනාගතයට ද බලපායි. විවාහ ජීවිතයට ද බලපෑම් එල්ල කරයි.

ජීව විද්‍යාත්මක පරිසර සාධක සහ භෞතික පාරිසරික සාධක දියණියගේ මානසික සෞඛ්‍යයට ඍජු බලපෑම් එල්ල කරයි. මව, පියා, සොයුරු සොයුරියන්, නෑදෑයන්, අසල්වැසියන්, පාසල් මිතුරන්, සුරතල් සතුන් ජීව විද්‍යාත්මක සාධකයි.

පරිගණක, ලැප්ටොප්, මොබයිල් ෆෝන්, ක්‍රීඩා භාණ්ඩ භෞතික සාධකයි.

ජීව විද්‍යාත්මක සාධක සහ භෞතික සාධක යන පරිසරයන් ගැටලුකාරී වේ නම් දරුවන් මානසික රෝගීන් බවට පත් වේවි. නැතහොත් සමාජ විරෝධි ක්‍රියා සිදුකරන්නකු හෝ අපරාධකාරයකු විය හැකියි. කුඩා කල සිදුවූ මානසික ව්‍යාකූලතාවක් ඇය හෝ ඔහු වැඩිවියට පත්වූ පසු සමාජයට බරක් වන චරිතයක් කරාවි.

 

මානසික රෝගී දරුවන් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක්

 

* හේතු රහිතව නිතර හඬයි

* අඩු නින්ද හෝ නින්ද නොයෑම

* බියකරු සිහින දැකීම

* අධික නින්ද

* අධික බිය වීම හා වෙව්ලීම

* කුඩා කල දී කැරපොත්තන්ට මීයන්ට දක්වන අසීමාන්තික බිය

* හේතු රහිතව කෑගැසීම

* විවිධ කායික ආබාධ ගැන පැමිණිලි කිරීම

* හුදෙකලාව සිටීම

* දුර්වල මතකය

* නොසන්සුන් බව

* නිතර නිතර මුත්‍රා කිරීම

* අක්‍රමවත් පාසල් යෑම

* ආහාරයක් ගත් විගස වැසිකිළි යෑම

* කෙනකු සමඟ වැඩි දිනක් කුළුපඟව නොසිටීම

 

මෙවැනි දරුවන් පළපුරුදු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට යුහුසුළු වන්න. ආදරය නොඅඩුවම දෙන්න. හැකි සෑම විවේක කාලයක් ම දරුවා සමඟ ගත කරන්න. දරුවාට සොබාදහම සමඟ කාලය ගත කරන්න ඉඩ සලසා දෙන්න.

නිරෝගී මනසක් ඇති දියණියක් අනාගතයේ ස්වාමියාට සෙනෙහස දක්වන, දරුවන්ට ආදරය කරන, සතා සීපාවාට, ගහ කොළට ආදරය කරන කාගේත් ප්‍රියජනක චරිතයක් වනු ඇත.

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය, මානව උපදේශක, වෛද්‍ය

සුදත් ගුණතිලක