ආදරණීය අම්මේ, ඔබත් මේ වගේ කුස්සියක් හදන්න දායක වෙන්න

Community Kitchen
ජුනි 13, 2022

 

මාගේ මතකය වසර හතළිහකටත් එහා අතීතයට දිව යයි. එදා අපේ ගමේ පන්සලේ ළදරු පාසල හරිම සුන්දර ස්ථානයකි. ගමේම පොඩි දරුවන් මේ ළදරු පාසලට පැමිණියේ මහත් අාසාවෙනි. “ සර්වෝදය” ලෙස හැඳින්වූ ළදරු පාසල පාලනය වූයේ සර්වෝදය පදනමේ අනුග්‍රහයෙනි. මේ ළදරු පාසලට දරුවන් පැමිණීමට වඩාත් කැමැති වූයේ උදෑසන ආහාරය පාසලෙන් ම ලැබෙන නිසාය.

 

එම ළදරු පාසලේ මවුපියන් කිහිපදෙනකු එකතු වී උදෑසන ආහාරය සැකසීම සෑම උදෑසනකම සිදුවන කටයුත්තකි. ඒ සඳහා පන්සලේ ධර්ම ශාලාව මුළුතැන්ගෙය ලෙස ප්‍රයෝජනයට ගෙන තිබුණි. සමහර දිනවල කැඳ කෝප්පයක් සමඟ අග්ගල, ගෙඩියකි. තවත් දිනයක බිත්තරයක්, ව්‍යංජනයක් සමඟ බත් වේලකි. තවත් දිනක කඩල, මුං ඇට වැනි දෙයකි. සමහර දිනවල අල, බතල, මඤ්ඤොක්කා වැනි වර්ගයකි. මේ මොන දෙය ලැබුණත් දරුවන් මේ ආහාර වේලට දැක්වූයේ මහත් අභිරුචියකි. සියලු දේ සඳහා යන වියදම පොදුවේ මවුපියන් විසින් බෙදා ගන්නා ලදී.

 

වියඳම බෙදෙයි කෑම වේල පෝෂණීයයි

මාසිකව කාල සටහනක් අනුව සිදු කළ එය ඉතා ක්‍රමවත්වය. තමුන්ට හැකි අයුරින් තම දරුවාගේ කෑම වේල ලබා දෙන දිනයට රැගෙන ඒම මේ කෑම ලබා දීමේ සැලසුමයි. මේ සැලසුම නිසා ගමේ සෑම දරුවකුටම උදෑසන හොඳ කෑම වේලක් ලැබුණේ කිසිම මවකට හෝ පියකුට බරක් නොවන ලෙසිනි.

අදත් මේ ළදරු පාසල වෙයි. එහෙත් අද එහි එවැනි කෑම වේලක් දෙන සැලසුමක් නොවෙයි. මා අද ද එම ළදරු පාසලට යන අම්මලා දකිමි. පන්සලේ ළදරු පාසලට යන පාරේ හෝටල් තුනකි. බේකරියක් සහිත එම හෝටල් අසල නතරවෙන අම්මලා දරුවාගේ බෑගයට බනිස් ගෙඩියක්, රෝල්ස් එකක්, පැටිසයක් හෝ සැන්ඩ්විච් එකක් ඔබන්නේ මහත් පහසුවෙනි. දරුවා පාසලට ඇතුළු කරන අම්මලා ඉන් පසුව පන්සල අසල බංකුවක වාඩි වෙති. පැය තුනක් හතරක් දරුවා පාසල අවසන් වෙන තෙක්ම කරන්නේ මහපාර දෙස බලාගෙන ඕපාදූප කතා කිරීමය.

සැබැවින්ම මේ සංස්කෘතිය අපේ ගමේ පන්සලට පමණක් සීමා නො වූවකි. දැන් සෑම ළදරු පාසලකම සිදුවන්නේ මෙවැන්නකි. ළදරු පාසලට දරුවා දැමූ පසු අම්මලාට කරන්න දෙයක් නැත. මුදල් ඇති මවුපියන් දරුවන්ට පෝෂදායි යමක් උදේ රැගෙන එයි. මුදල් නොමැති දරුවන් කරන්නේ පාන් පිටිවලින් සෑදූ බනිසයක් වැනි කෙටි කෑමක් ගැනීමය. ඉතින් අපේ රටේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළීම අරුමයක් නොවේ.

 

හැකි අයුරින් දායකත්වය දෙන්න

මට මෙවැනිම සිදුවීමක් සිහිපත් කළේ ප්‍රාදේශීය ලේකම්වරියක් ලෙස අප ප්‍රදේශයේ සේවය කළ මානෙල් කුලරත්න මහත්මියයි. බදුල්ල ප්‍රදේශයේ පාසලක දරුවන්ට දිවා ආහාරය ගෙන එන ලෙස ගුරුතුමියක් පවසා තිබේ. ඇය සෑම දිනකම දරුවන් ආහාර ගන්නා අයුරු පරීක්ෂාවෙන් සිටින විට දරුවෙක් සෑම දිනම කාටත් නො පෙනෙන ලෙස ආහාර ගන්නා අයුරු ඇය දැක ඇත. දරුවා කන්නේ මොනවාදැයි පරීක්ෂා කරන විට ඇයගේ දෑස කදුළින් තෙත් වී ඇත්තේ මහත් වේදනාවෙනි. උදෑසන ආහාරයට පොල් කටුවක් ඔතාගෙන එන දරුවා බනිස් ගෙඩියක් ලෙස එය කන අයුරු රඟපා ඇත්තේ අනෙක් දරුවන්ට පෙනෙන ලෙසිනි.

 

මන්ද පෝෂණය දුරලමු

මේ අපේ රටේ සිදු වූ එක් සිදුවීමක් පමණකි. අප මේ වනවිට මුහුණ දී තිබෙන්නේ විශාල ආහාර අර්බුදයකටය. ඒ නිසාම මන්ද පෝෂණ අවදානම ගැන සෑම මාධ්‍යයකම වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පෝෂ්‍යදායි ආහාරයක් දරුවන්ට ලබා දීම ගැන ද කතා කරති. එහෙත් ඒ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොවෙයි. විවිධ වූ ආර්ථික මට්ටම්වල සිටින මවුපියන්ට තම දරුවාට පෝෂ්‍යදායි ආහාරයක් ලබා දීම විශාල අභියෝගයකි. තරගකාරී ජීවන රටාව තුළ රැකියාව කරමින් දරුවාගේ පෝෂණය ගැන සිතන්නට කාලයක් නොවෙයි. මිල මුදල් තිබුණත් පෝෂ්‍යදායි ආහාරයක් ලබා දීමට හෝ එය පිළියෙල කර ගැනීමට තරම් කාලයක් නොවෙයි. මේ තත්ත්වය වඩාත් තදින්ම පවතින්නේ වතු ආශ්‍රිත ජනතාව තුළය. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අනුව දරුවාට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම අසීරුය. ත්‍රීපෝෂ වැනි දේ නොමිලේ ලබා දීම පවා රජය විසින් නවතා ඇති පසුබිමක එකම විකල්පය වී ඇත්තේ සාමුහිකව තමුන්ට හැකි අයුරින් උපකාර කිරීමයි.

විශේෂයෙන් ග්‍රාමීය ළදරු පාසලක මේ කටයුත්ත සංවිධානය කිරීම තරමක් පහසුය. එම ගමේ ව්‍යාපාරික ප්‍රජාවගේ උපකාරය ඇතිව මෙය සංවිධානය කළ හැකි වෙයි.

 

සහයෝගයෙන් ජය ගනිමු

දින 5 පුරාම කෑම වේලක් ලබා දීමට නො හැකි නම් අවම වශයෙන් දින දෙක තුනක් හෝ කෑම වේලක් දරුවන්ට ලබා දීමට සැලසුමක් සකස් කළ හැකි වෙයි. මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන හා සිවිල් සමාජ සංවිධානවලට වඩාත් වැදගත් වූ කාර්යයභාරයක් ඉටුකළ හැකි වෙයි.

 

 

එසේම අප හමුවේ ඇති විශාල ආර්ථික අරගලය ඉදිරියේ අපට හැකි අයුරින් යම් දායකත්වයක් දැක්වීම ද ශ්‍රී ලංකේය අප සැමගේ වගකීමකි. එය බෝඩ් ලෑල්ලකට සීමා වූ තවත් එක් පාඨයකට වඩා වටිනා සද් ක්‍රියාවකි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.