සා.පෙළ ට පෙනී සිටි දරුවනේ...

මේ කාලයේ ඔබට පුළුවන් රටම වෙනස් කරන්න
ජුනි 27, 2022

 

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා සති කිහිපයක් ගත වුණා. ප්‍රතිඵල ලැබෙන්න තව ටික කාලයක් ගත වෙන්න පුළුවන්. මේ දිනවල උත්තර පත්‍ර ඇගැයීම් සිදු වෙන කාලය. ප්‍රතිඵල ලැබෙනකම් මොකද කරන්නේ බොහෝ දරුවන්ට තිබෙන ගැටලුවක්.

සමහර දරුවෝ උසස් පෙළ කරන්න පටන් ගන්නේ සා.පෙළ ප්‍රතිඵල පිට වුණාට පස්සේ නිසා ටික කාලයක විරාමයක් ලැබෙනවා. මේ පුංචි කාලය දරුවාට ඉතාම වටිනවා. මේ වටිනා කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහාමද කියලා මඟ පෙන්වීම ලබ‍ෙදීම වැඩිහිටියන්ගේ යුතුකමක්. හැබැයි බොහෝ වැඩිහිටියෝ කියන්නේ මේ කාලයේ Computer පංතියකට යන්න, ඉංග්‍රීසි පංතියට යන්න, වාහන ලර්නස් එකකට ගිහින් ලයිසන් එක ගන්න කියලා. මේ සාම්ප්‍රදායික රාමුව තුළ කොටු වුණු දරුවෝ කරන්නේ තමුන්ගේ මව්පියන්ගෙන් මුදලක් ඉල්ලාගෙන ඉංග්‍රීසි ටියුෂන් පංතියකට හරි පරිගණක පංතියකට යන එක විතරයි. කිසිම දරුවෙක් හිතන්නේ නැහැ මේ කාලය තුළ කරන පාඨමාලාවෙන් තමුන්ගේ ජීවිතයට කවදාහරි ප්‍රයෝජනයක් ගන්න ලැබෙයි කියලා.

හැබැයි මේ සාම්ප්‍රදායික රාමුවෙන් මිදෙන්න දැන් කාලය ඇවිත්. දරුවන්ට මේ පුංචි කාලය පවා තමුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කරගන්න පුළුවන්. රටේ තිබෙන ආර්ථික අර්බුදය හමුවේ වැඩිහිටියන්ට බරක් වෙන්නේ නැතුව ස්වාධීනව තමුන්ට රැකියාවක් ලබා ගන්න සුදුසුකමක් වෙන පාඨමාලාවක් කරන්න පුළුවන් නම් ඒක කාලයේ හැටියට හරිම වටිනවා. අපේ රටේ ඇති වුණු ඩොලර් අර්බුදය හමුවේ බොහෝ දෙනෙක් විදේශ රැකියා සඳහා යන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් තිබුණත් වෘත්තීය සුදුසුකම් නැති නිසා ළත වෙනවා. ජපානය, කැනඩාව, ජර්මනිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වගේ දියුණු රටවල රැකී රක්ෂා සඳහා තිබෙන අවස්ථා අපමණයි. ඒ සෑම රැකියාවකටම වෘත්තිමය සුදුසුකම් වගේම භාෂා දැනුමත් වටිනවා. ඒ නිසා අපේ මව් භාෂාවට අමතරව තවත් භාෂාවක් ඉගෙන ගත්තොත් එයින් කවදා හෝ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. විශේෂයෙන් කොරියාව වැනි රටවල එම භාෂාව ඉගෙන ගන්නේ නැතිව රැකියාවට යන්න අවස්ථාව නැහැ. අවම වශයෙන් කම්කරු රැකියාවක් සඳහා එවැනි රටකට යන්නත් ඒ රටේ භාෂාව ඉගෙන ගැනීම අනිවාර්යයි. අප මේ පුංචි උත්සාහය ගන්නේ ඒ සඳහා ඔබට මඟ පෙන්වීමක් ලබා දෙන්න. අපට මේ සඳහා තොරතුරු හා පාඨමාලා විස්තර සැපයුවේ ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය සහ පාඨමාලා සැලසුම් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානී දීප්ති දමයන්ති මහත්මිය.

රූපලාවණ්‍ය හා කේෂාලංකරණය

තරුණ තරුණියන් සඳහා ඉතාම හොඳ රැකි රක්ෂා ප්‍රමාණයක් පවතින මේ ක්ෂේත්‍රය සඳහා අප රටේ මෙන්ම විදේශ රටවල ද හොඳ ඉල්ලුමක් පවතී. මෙවැනි පාඨමාලාවක් ඔබ සා.පෙළ අවසන් කළ පසු රැකියාවක් ලබා ගැනීමටත්, දෛනිකව ඔබගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා ප්‍රයෝජනවත්ය. විශේෂයෙන්ම තරුණියන් සඳහා මාස 06ක මෙවැනි පාඨමාලාවක් කිරීම ස්වයං රැකියාවකට කදිමය. ඔබ මෙවැනි පාඨමාලාවක් තෝරා ගන්නා විට ඒ සඳහා රජයේ පිළිගත් NVQ සහතිකයක් හිමි ආයතනයක් තෝරා ගැනීම ඉතාම වැදගත්ය.

ඇඳුම් නිර්මාණ ශිල්පය හා මෝස්තර නිර්මාණ ශිල්පය

මේ ක්ෂේත්‍රය සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් පවතී. එසේම අපේ රටේ ද මෙවැනි නිර්මාණ ශිල්පීන් සඳහා ඉහළ වැටුපක් හිමි වෙයි. Dress Ma¼her, Tailor පාඨමාලාව ද මේ ක්ෂේත්‍රයටම අයත්ය. මෙවැනි පාඨමාලාවක් කිරීම ඔබට කිසියම් දිනක ප්‍රයෝජනවත් වේවි. මේ සඳහා රැකියා වෙළෙඳපොළේ ද ඉහළ ඉල්ලුමක් පවතී.

හෝටල් කර්මාන්තය

අපේ රටේ හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලුම වර්තමානයේ යම් පසුබෑමක් පෙන්නුම් කළද සංචාරක ක්ෂේත්‍රය රැකියා පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි කර්මාන්තයකි. ඒ සඳහා ඉහළ ඉල්ලුමක් හා රැකියා සඳහා හොඳ වැටුපක් ද හිමි වෙයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ රජය පිළිගත් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පාඨමාලාවන් තෝරා ගැනීමයි.

භාෂා පාඨමාලාව

අප රටේ තරුණ පරපුර කොරියාව හා ජපානයේ රැකියා සඳහා වැඩි උනන්දුවක් දක්වයි. එසේම ජර්මන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව හැකියාව ඇති තරුණ තරුණියන් සඳහා ලෝකයේ රැකියා වෙළෙඳපොළ තුළ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ සඳහා කෙටිකාලීන මාස 06ක පාඨමාලාවක් හැදෑරීම පවා මේ කාලයේ ඉතාම ප්‍රයෝජනවත්ය.

ගොඩනැගිලි ක්ෂේත්‍රය

අප රටේ මෙන්ම විදේශ රටවල ද ගොඩනැගිලි ක්ෂේත්‍රය සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. විශේෂයෙන් මේ පාඨමාලා සඳහා තරුණියන්ගේ ද උනන්දුවක් ඇති වී තිබේ. ඉහළ වැටුපක් මෙන්ම මේ දිනවල තමුන්ගේ කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් මෙවැනි පාඨමාලාවක් මාස කිහිපයක් හැදෑරීම ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වේවි.