වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඔයා දැන් අම්මගෙයි අප්පච්චිගෙයි වගකීමක්
එක තැනක දි උත්සාහය අත්හැරියේ මට ඒක කරන්න අපහසු වූ නිසා
"අද ඉඳන් අලුත් ගමනක්" ඔයාගේ අප්පච්චි මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා. මම ඔයා දිහාත් ඔයාගේ අප්පච්චි දිහාත් බැලුවේ ආදරෙන්.
ඔයාගේ අප්පච්චි ඉස්සෙල්ලාම මාව මුණ ගැහෙන්න ආව දවසේ අම්මා මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා. ඊටත් පස්සේ අපේ වෙඩිං එක දවසෙත් ඔයාගෙ අප්පච්චිගෙ ඒ කතාවම අම්මා අහගෙන හිටියා.
ඔයා දන්නවා ද මගේ දුවේ,
අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර මාමා දකින්න ගිය දවසේ ඔයා ගැන සුබ ආරංචිය අපිට දැන ගන්න ලැබුණා. එදා ඉඳන් මං ඔයාව බලාගත්තේ හරි පරිස්සමට. එක එක වර්ගයේ කෑම කන්න ආස හිතුණත් මං කෑවේ බිව්වේ ඔයාට ගුණ දේවල් විතරයි. කුස දවසින් දවස ලොකු වෙද්දි ඔයා ගැන තිබුණ බලාපොරොත්තු තවත් වැඩි වුණා. අම්මයි අප්පච්චියි ඔයා මෙෙලාව එළිය දකින දවස එනකම් ඇඟිලි ගැන්නා.
ස්කෑන් පරීක්ෂණයෙන් ඔයා දුවෙක් ද පුතෙක් ද කියලා දැනගන්න කිහිප සැරයක් උත්සාහ කළත් ඒක දැනගන්න බැරි වුණා. ඒත් අන්තිමට ඔයා දියණියක් කියලා ඩොක්ටර් මාමා කිව්ව දවසේ අප්පච්චියි මමයි කොයිතරම් සතුටු වුණා ද? අපිට මුළු ලෝකෙම ලැබුණා වගේ.
ඒ සතුටත් එක්ක පන්සලට ගිහින් අපි ප්‍රාර්ථනා කළේ කරදරයක් නැතුව නීරෝගීව ඔයාට මේ ලොව එළිය දකින්න වාසනාව ලැබෙන්න කියලා. හැම සති අන්තයකම පන්සල් ගියා. මාස 9 කිට්ටු වෙද්දි හාමුදුරුවරු වඩම්මලා වරු පිරිතකුත් තිබ්බා.
ඒ මාස 9 ගත වෙද්දි ඇඟට පුංචි පුංචි අපහසුකම් දැනුණත් ඒ දේවල් මං භාර ගත්තේ හරිම සතුටින්. ඔයා එළියට එන දවස ළං වුණත් දොස්තර මාමා අන්තිම ස්කෑන් පරීක්ෂණයේ දී කිව්වේ ඔයා එන්න දවස් කීපයක් පහු වෙනවා කියලා. එහෙම නැති වුණොත් සිසේරියන් සැත්කමකින් ඔයාව එළියට ගමු කියලයි. මේ නිසා අම්මාගෙයි අප්පච්චිගෙයි හිත්වලට කලබලයක් දැනුණා. ඔයා එළියට එන්න නියමිත දිනට දවස් තුනක් පහු වෙලයි මට ඒ වේදනාව දැනෙන්න ගත්තේ. උදෑසනම කොන්දේ කැක්කුමක් එක්ක ආපු ඒ වේදනාව ඉවසිය නොහැකි තරම්.. ඒ දැනුණු වේදනාව ඔයා ලැබෙන්න යන බවට ඉඟියක් දුන්නා. ඉතිං අම්මයි අප්පච්චියි ඉක්මනින්ම රෝහල් වෙත ගියේ හරි කලබලයෙන්. හිතට පුංචි බයකුත් දැනුණා. රෝහලට ගියාම දොස්තර මාමලා කිව්වේ අද ඇඩ්මිට් වෙන්න කියලා. ඉතිං අපි රෝහල් ගත වෙලා වෙලාව එනකම් හිටියා. රෝහල් කාමරයේ දී අප්පච්චිත් අම්මා ළඟටම වෙලා හිටියා. රෑ වෙද්දී කියාගත නොහැකි තරම් වේදනාවක් දැනුණා. ඒ වෙලාවේ දොස්තර මාමා මාව පරීක්ෂා කරලා කිව්වේ ලේබර් රූම් එකට යන්න වෙලාව හරි කියලා. වේදනාව අධික නිසා ඒ වේදනාවත් එක්ක මට බයක් දැනුණේම නැහැ.
ලේබර් රූම් එකට අරගෙන මාව සූදානම් කළා. ඔයාගෙ අප්පච්චිත් ළඟ හිටපු නැති නිසා හිතට නො සන්සුන්කමකුත් නො දැනුණා නොවේ. ඒත් ටික වෙලාවකින් විශේෂිත ඇඳුමකින් සැරසිලා ඔයාගෙ අප්පච්චිත් ඇතුළට ආවම හිතට ලොකු සැනසිල්ලක් දැනුණා. දරුෙවක් ලැෙබද්දී සැමියා ළඟ ඉඳිද්දි හිතට ශක්තියක් වෙනවා කියලා මං කලින් අහලා තිබුණා. ඒ වගේම හැඟීමක් තමයි මට එවේලේ ඇති වුණේ.
ලේබර් රූම් එකේ හිටපු කාර්ය මණ්ඩලය සැරෙන් සැරේට ඇවිත් ඒ අවශ්‍ය කටයුතු සූදානම් කළා. ඔයාගෙ අප්පච්චි අම්මගෙ අත අල්ලගෙනමයි හිටියේ. ඔයා ලැබෙන්න තව පැය කිහිපයක් ප්‍රමාද වෙන බව දැන ගත්තම වෙලාව එනකම් අංගුලිමාල පිරිත අහන්න සැලැස්වූවා. වේදනාව අඩුවෙන්න විදපු ඉන්ජෙක්ෂන් එක නිසා මට ඇස් ඇරන් ඉන්නත් තරමක් අපහසු වුණා. අඩවන් ඇස්වලින් මම සිදුවෙන දේ බලාගෙන හිටියා.
ඔයාගේ අප්පච්චි අම්මාගෙ අත අතහැරියෙම නැහැ. ඔයාගෙ අම්මා වේදනාවෙන් හිටපු නිසා අප්පච්චි හිටියෙත් වේදනාවකින්. අප්පච්චිගේ ඇස්වලින් ඒක පේන්න තිබුණා.
ඒ මොහොත උදාවුණා. එතැන හිටපු හෙදියන් වෛද්‍යවරයා ඒ හැමෝම මට දිරි දුන්නා ඔයාව බිහි කරන්න. ඒක හිතුවටත් වඩා වේදනාත්මක අවස්ථාවක්.
"බබාගෙ ඔළුව පේනවා දැන්. ඇවිත් බලන්න." එහෙම කියලා දොස්තර මමා ඔයාගෙ අප්පච්චිට කතා කළා. ඊට පස්සේ අප්පච්චි මගෙ ළඟට ඇවිත් කිව්වේ තව ටිකකින් බබාට එළියට එන්න පුළුවන් කියලා. ඒත් ඒක හිතපු තරම් පහසු නැහැ. මොකද ප්‍රමාණයෙන් වැඩුණු තරමක් බර වැඩි බබෙක් නිසා. එක තැනක දි මම උත්සාහය අත්හැරියේ මට ඒක කරන්න අපහසු වූ නිසා. ඒ තරම් වේදනාවක් මගේ ජිවීතේ කිසිම දිනෙක දැනී තිබුණේ නැහැ. දරුවෙක් බිහි කරන එකේ වේදනාව මම එෙවලේ අත්වින්දා. ඒ වේදනාව සම කරන්න පුළුවන් තවත් වේදනාවක් නැතුව ඇති. මට බැහැ කියලා උත්සාහය අත්හැරියත් ඔයාගේ අප්පච්චියි, අනිත් හැමෝමයි කිව්වේ තව සැරයක් උත්සාහ ගන්න කියලා. මම දන්නවා එයාලා එහෙම කරන්නේ ඔයාව සෞඛ්‍යාරක්ෂිතව බිහි කරවන්න කියලා. අප මහා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ සිහි කරලා නැවතත් මම උත්සාහ ගත්තා. ඒ වෙලාවේ උත්සාහය සාර්ථකයි. ඔයා අඬාගෙනම එළියට ආවා. අම්මගෙ වේදනාවත් අමතක වුණා ඔයා ලැබුණු සතුටට. ඒක අම්මගෙයි අප්පච්චිගෙයි ඇස්වලට කඳුළු ආව මොහොතක් වුණා. දොස්තර මාමා ඔයාව මගෙ පපුවට තියපු වෙලාවේ මට මගේ ජිවීතේට ලැබුණු වටිනාම දේ ඔයා කියලයි දැනුණේ.
එයාලා ඔයාව සුළු මොහොතකට මගෙන් වෙන් කළා. ඒ මගේ වැඩකටයුතු ඉක්මනින් අවසන් කරන්න ඕනෙ නිසා. අම්මාගේ මැහුම් දාද්දි දොස්තර මාමා මාත් එක්ක කතා බහ කරමිනුයි ඒ කටයුත්ත කළේ. මම හිතන්නේ එයා එහෙම කළේ මාව හොඳ සිහියෙන් තියන්නයි. ඒ කටයුතු අතරතුර නර්ස් නැන්දා ඔයාව පිරිසුදු කරලා, ඇඳුම් අන්දලා උණුසුමට පැනල් එකකින් ඔතලා ඔයාට කිරි බොන්න මගෙ තන පුඩුවට ළං කළාම ඔයා හරි හරියට කිරි බිව්වේ පුරුදු කාරයෙක් වගේ. ඔයා පුළුන් බෝලයක් වගේ මෘදුයි. රෝස මලක් වගේ ලස්සනයි. ඒ ඇහි බැමි අප්පච්චිගෙමයි. වටකුරු මුහුණයි තොල් දෙකයි අම්මගෙ වගෙ කියලා අප්පච්චි කිව්වා. අප්පච්චි නම් කියන්නේ ඔයා අම්මා වගේ කියලා. අම්මට නම් ඔයාව පෙනුණේ අප්පච්චි වගේමයි. හිතුවට වඩා ඔයාගෙ බර හොඳට තිබුණා. ඔයා නීරෝගී බබෙක්.
ලේබර් රූම් එකේ වැඩකටයුතු ඉවර වෙලා අපිව නැවත අපේ කාමරය වෙත ගෙනෙද්දි හැමෝම බලන් හිටියේ ඔයාව දැක ගන්න. ඔයාගෙ අත්තම්මලා දෙන්නයි, කිරි අත්තලා දෙන්නයි. බාප්පලා දෙන්නයි. ලොකු අම්මයි තව ගොඩක් අය.
දවස් දෙකක් අපිට රෝහල් කාමරයේ නවතින්න වුණේ අපේ සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කරගන්නයි. පරීක්ෂණ ටික සම්පුර්ණ කරන්නයි. ඔයාව ගත්ත දොස්තර මාමා අපිව දකින්න ආවම කිව්වේ ඔයාගේ අම්මා ඒ කටයුත්ත හොඳට කළා කියලා. නැත්තම් සිසේරියන් සැත්කමකින් ඔයාව එළියට ගන්න වෙයි කියලමලු හිතුවේ.
ඔයා ලැබිලා දවස් දෙකක් ගත වෙලා. අද අපි ගෙදර යනවා. මාස 9ක් කුසේ තියාගෙන ආදරෙන් රැක බලා ගත්ත ඔයා අද මගෙ දෑතේ ඉන්නවා. ඔයා දැන් අම්මගෙයි අප්පච්චිගෙයි වගකීමක්. ඉතිං මමත් දැන් කුළුදුල් අම්මා කෙනෙක්.