ආවේග කළමනාකරණයට හුරු වූ දරුවන්ගේ හෙට දවස පැහැබරයි

දුකේ දී හඬන්නට ඉඩ දෙන්න
ඔක්තෝබර් 10, 2022

 

පුංචි පැටවුන්ට කවුරුත් ආදරෙයි. ඒනිසා ඔවුන් යමක් ඉල්ලූ සැණින් එය ඉටු කර දෙන්නට කිසිවිටෙකත් වැඩිහිටියන් පැකිළෙන්නේ නැහැ. නමුත් දිගින් දිගටම දරුවකු ඉල්ලූ සැණින් එය ලබා දීම එතරම් හොඳ ක්‍රියාවක් නම් නොවේ.

 

මන්ද ආවේග කළමනාකරණය (Impulse Controlling) දරුවකුට හුරු කළ යුත්තේ ඔවුන් කුඩා කාලයේ පටන්මයි. විශේෂයෙන් වයස අවුරුදු තුනට වැඩි පුංචි දරුවකු යමක් ඉල්ලා නිරන්තරයෙන් අඬනවා නම් ඒ මොහොතේම එය ලබා දීම අවශ්‍ය නැහැ. එය මඳක් පමා කරන්න. මනෝ විද්‍යාවේ දී මෙය හඳුන්වන්නේ Delayed gratification යන නමිනි. එමඟින් දරුවා යම් ආවේගයකට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාවක් ද ඇති කරගන්නා අතර දරුවාට ස්වයං පාලනයක් ද ඇති වේ. එලෙස ආවේග පාලනය කර ගැනීමට හැකියාව සහිත දරුවන් අනාගතයේ දී මනා සම්බන්ධතා සහිත, මූල්‍යමය සහ වෘත්තීමය අතින් සාර්ථක පුද්ගලයන් බවට පත් වේ.

 

දැඩි ඉල්ලීම් මෙල්ල කරන්න

ඇතැම්විට දරුවන් යමක් ඉල්ලා සිටින්නේ දැඩි ලෙස ඉල්ලීම් කරමිනි.

"අම්මේ මට අර බෝනික්කා මේ දැන්ම අරන් ඕනේ"

"මේ දැන්ම මට චොකලට් එකක් ඕනේ."

මේ ආදී දෑ පවසමින් එවෙලේම තම කැමැත්ත ඉටු කර ගැනීමට මහන්සි ගනිති. නමුත් එවැනි අවස්ථාවකදී ඔබ තරමක් කල්පනාකාරී වන්න. දරුවාගේ ඉල්ලීම එතරම් අත්‍යවශ්‍ය නොවන්නේ නම් "පුතේ අපි බෝනික්කා මේ සතියේ අන්තිමට ගමු. අද ගෙදර බිස්කට් ති‍යෙනවා. ඒ නිසා අපි හෙට චොකලට් එක ගනිමු." යැයි පවසා ඉල්ලීම මඳක් ප්‍රමාද කරන්න. එහිදී ඔබ දරුවාගේ ඉල්ලීම නොසලකා හැරීමක් නොකරයි. නමුත් දරුවාට නොතේරෙන ලෙස ඉවසීම හෙවත් ආවේග කළමනාකරණය පුහුණු කරවයි. ඒ හරහා දරුවාට ස්වයං විනයක් සහ ස්වයං පාලනයක් ඇති වේ.

 

එමෙන්ම මෙහිදී දරුවා අධිකව පාලනය වීමක් සිදු නොවේ. නමුත් අවශ්‍ය සෑම දේ ඉල්ලූ සැණින් නොව සුදුසු සහ අත්‍යවශ්‍ය මොහොතේ දී පමණක් ලැබෙන බව ඔහු තේරුම් ගනියි. මෙවැනි පාලනයක් යටතේ වැඩෙන දරුවා වැඩිහිටිවියට පා තැබූ පසුව ද ආවේග කළමනාකරණය කර ගනියි. තම අවශ්‍යතාව මඳක් ප්‍රමාද වුවද එයින් ආතතියට පත් වීම වැළකේ.

 

ඒ සමඟම ඔබ මතක තබා ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් යම් කාලසීමාවකට පසු ඔබ පොරොන්දු වූ දෙය දරුවාට රැගෙන දිය යුතු වේ. එසේ නොවුවහොත් දරුවාගේ බලාපොරොත්තු සුන්වීමේ තත්ත්වයකට පත් වේ.

 

පුතුටත් හැඟීම් ප්‍රකාශනයට ඉඩ දෙන්න

ඔබ දන්නවා ද? සියදිවි නසා ගැනීමේ ඉහළ ප්‍රතිශතයක් වාර්තා වන්නේ පිරිමින් ය. කුඩා අවධියේ පටන් ඔබේ පුංචි පුතුට හැඟීම් ප්‍රකාශ කිරීමේ ඉඩක් ලබා නොදීම තුළින් මවක් වූ ඔබ ද මේ ක්‍රියාවට යම් තරමකින් දායක වේ. හැඟීම් ප්‍රකාශ කිරීම සහ අනෙකාට සංවේදී වීම, ළද බොළඳ ගැහැනු ලක්ෂණයක් යැයි බොහෝදෙනකු වරදවා වටහා ගනිති. එබැවින් ඔබේ දියණියට සේම පුතුට ද දුකේ දී හඬන්නට ඉඩ දෙන්න. දුවෙක් හඬද්දී සාමාන්‍යකරණය කර, පුතෙක් හඬන විට එය වළක්වාලන්නට උත්සාහ දරන්න එපා.

 

මන්ද සහකම්පනය නොමැති, අනුන්ගේ දුකට සංවේදී නොවන, ආවේග සහ ආතති කළමනාකරණය කරගත නොහැකි දරුවන් බිහිවන්නේ තම පවුලේ සහ සමාජයේ වැරැදි හරහාමයි. එයට ඔබ හවුල් නොවන්න.

 

සවන් දෙන්න

ඔබ හොඳ සවන් දෙන්නෙක් වෙන්න. තමාගේ අවට සිටින අය ගැන, තම සමීපතමයන් ගැන සංවේදී වෙන්න. තමාගේ දුවට, පුතුට, යහළුවාට, සැමියාට, බිරියට ඕනෑම දෙයක් පැවසිය හැකි වටපිටාවක් නිර්මාණය කළ හැක්කේ ඔබටමයි. එමඟින් අප අවට සිදුවිය හැකි සියදිවි නසා ගැනීම් බොහොමයක් වළකාගත හැකියි. ඔබ දන්නා හඳුනන යම් අයකු ජීවිතය නැති කර ගැනීමේ සිතිවිල්ලෙන් පෙළෙනවා නම් ඔහු හෝ ඇය උපදේශනයට යොමු වන තුරා ඔවුනට හයියක් වෙන්න. විනිශ්චයකින් තොරව ඔවුන්ගේ කතාව අහන්න.

 

තමාගේ ඉලක්ක සහ අරමුණු සපුරාගන්නා අතරතුර තමා අවට සිටින අය පිළිබඳ සංවේදී විය හැකි නම් එය උතුම්ම මිනිසත්කමකි.

 

 

ඉෂානි කාරියවසම් ව්‍යවහාරික මනෝවිද්‍යාඥ, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය, පාදුක්ක