සහයෝගීතාව පිරුණු පවුලක දරුවන් නොමඟ යන්නේ නැත

ඔක්තෝබර් 17, 2022

 

නව යොවුන් විය දුෂ්කර කාලයක් විය හැකියි. ඔබේ දරුවා තුළ වේගවත් ශාරීරික වෙනස්කම් මෙන්ම චිත්තවේගීය වෙනස්කම් ද දැකිය හැකියි.

 

පුංචි පැටවු උස් මහත් වෙන්නෙ හරිම වේගයෙන්. අම්මාගෙයි, තාත්තාගෙයි උකුළට පැනලා දඟකම් පෑව පුංචි හුරතලා ටිකෙන් ටික ඒ හුරතලේ අඩු කරනවා. අම්මාටයි, තාත්තාටයි ඉවසගන්න බැරි ඒ නිසාමයි.

 

ළමා වයසේ දී මෙන් නොව නව යොවුන් වියට එළැඹෙන දරුවන්ගේ සිතුම් පැතුම්, හැසිරීම් රටා හරිම වෙනස්. ඒ වගේම තමයි මේ දරුවන් මවුපිය, වැඩිහිටියන් අතර පවත්වාගෙන යන සබඳතාත් වෙනස් වෙනවා. නමුත් දරුවකුගේ කුඩා අවධියේ වගේම නව යෞවන කාලයේදීත් මවුපියන්ගේ වගේම පවුලේ අනෙකුත් පුද්ගලයන්ගේ ද සහයෝගය අත්‍යවශ්‍යයි.

 

නව යොවුන් විය

 

දරුවන් කුඩා කාලයේදී ඔබේ කාර්යභාරය වූයේ ඔවුන්ව පෝෂණය කිරීම සහ මඟ පෙන්වීමයි. නමුත් නව යොවුන් වියට පත් දරුවාට කුඩා කාලයේ දී මෙන් සමහර කරුණු අවබෝධ කරවීමට නොහැකි බව ඔබට වැටහෙනවා ඇති. දරුවා සමඟ ඔබේ සම්බන්ධතාව වෙනස් වන අයුරුත් ඔබට වැටහේවි.

මන්ද මේ වයසේ බොහෝ දරුවන් හෝමෝනමය වෙනස්කම් හේතුවෙන් නිරන්තරයෙන් ආවේගශීලී බවක් පෙන්වනවා. නව දැනුම සොයා යාම නිසා බොහෝවිට තමන් මාපියන්ට වඩා දැනුවත් බවත් ඔවුන් සිතනවා. තමන්ට තව දුරටත් මවුපිය අදහස් අවශ්‍ය නැති බව ඔවුන් සිතනා නිසා සමහර නිවෙස්වල මවුපිය - දූදරු සබඳතා දුරස් වෙනවා.

නමුත් වැඩිහිටියන් වූ ඔබට මේ වෙනස්කම් ගැන නිසි අවබෝධයක් ඇතිනම් වෙනස් වන දරුවා සමඟ තවදුරටත් යහපත්, ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගත හැකියි.

 

ශාරීරික මෙන්ම චිත්තවේගීය වෙනස්කම්

 

නව යොවුන් විය දුෂ්කර කාලයක් විය හැකියි. ඔබේ දරුවා තුළ වේගවත් ශාරීරික වෙනස්කම් මෙන්ම චිත්තවේගීය වෙනස්කම් ද දැකිය හැකියි. ඔවුන්ගේ විශ්වාසයන් වරින් වෙනස් වේ. වැඩි විශ්වාසයක් පවතින්නේ වැඩිහිටියන්ට වඩා මිතුරන් කෙරෙහිය. එමෙන්ම සම වයසේ මිතුරන්ගේ බලපෑම් නිසා යම් යම් ආතතියන් ඇති වන කාලයකි.

 

ආදරය සහ පිළිගැනීම

 

එබැවින් මේ කාලයේ නිවෙස තුළ දරුවාට ආදරය සහ පිළිගැනීම දැනෙන ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම ඔබ සතු වගකීමකි. ඔබේ දරුවාගේ විශ්වාසය, ඔරොත්තු දීමේ හැකියාව, සුබවාදී චින්තනය සහ අනන්‍යතාවය ගොඩනඟා ගැනීමට සහාය වීම ඉතා වැදගත්.

ඔබේ පවුල තුළ හැසිරීමේ නීති, සීමාවන් සහ ප්‍රමිතීන් සකසන විට, ඔබේ දරුවාට ද ප්‍රමුඛත්වය සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීමක් ලබා දෙන්නට කටයුතු කිරීම ඉතා වටිනවා.

ආදරය, සහයෝගීතාව පිරුණු එවැනි පවුලක් තුළින් ඔබේ නව යොවුන් දරුවා අනවශ්‍ය සබඳතාවලට යොමු වීම, කල්ලි ගැසීම, අධ්‍යාපන කටයුතු අතපසු කිරීම, මත්ද්‍රව්‍ය, දුම් වැටි ආදියට යොමු වීම, මානසික අවපීඩනය ආදී බොහෝ දෙයින් මුදවාලනවා.

 

දඬුවමට වඩා ආදරය

 

දරුවන්ට තරවටු කිරීමට වඩා, ආදරය සහ අගය කිරීම ඉතාමත් වටිනවා. ඔබේ දරුවාට ඔබ කොතරම් ආදරය කරනවා ද අගය කරනවා ද කියා පෙන්වන්න. සෑම රාත්‍රියකම ඔවුන් නින්දට යන විට 'මම ඔයාට ගොඩාක් ආදරෙයි, ඔයා හොඳම හොඳ දරුවෙක් ' යැයි පැවසීම හෝ 'හිස සිඹීම' වැනි ඉතාමත් සරල ක්‍රියාවකින් ඔබට එය ඔප්පු කළ හැකියි.

 

එක්ව කාලය ගත කිරීම

 

දවසකට එක් වරක් හෝ පවුලේ සැම එක්ව ආහාර ගැනීම, පවුලේ සෑම සාමාජිකයකුටම ඔවුන්ගේ දවස ගත වූ ආකාරය හෝ ඉදිරියට කිරීමට බලාපොරොත්තු වන දේවල් පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න. මේ කාලය තුළ රූපවාහිනියට සේම ජංගම දුරකතන සහ ටැබ්, පරිගණක ආදියට විවේකයක් දීම සිදු කළ හැකියි.

 

එමෙන්ම පවුලේ විනෝද චාරිකා සඳහා කාලය වෙන් කිරීමට උත්සාහ කරන්න. සති අන්තයක් පවුලක් ලෙස එකට ගත කරන්න උත්සාහ කරන්න. ඔබේ දරුවා සමඟ කතා කර ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් බෙදා ගන්න. එය දරුවන් සමඟ ඇවිදින්නට යාම, චිත්‍රපටයක් නැරැඹීම හෝ ඔබේ දරුවාට කතාවක් කීම වැනි සරල දෙයක් විය හැකියි. එසේ නැතහොත් ඔවුන් සමඟ එකතු වී ආහාර පිසීම, බැඩ්මින්ටන් සෙල්ලම් කිරීම වැනි එක්ව කළ හැකි විනෝදාංශයකට යොමුවන්න.

 

ජයග්‍රහණ අගය කරන්න

 

ඔබේ දරුවාගේ ජයග්‍රහණ අගය කරන්න. දරුවාගේ ජයග්‍රහණ සැමරීම වාගේම ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම් බෙදාගන්න. ඔවුන්ගේ විනෝදාංශවලට සහාය දීම තුළින් දරුවාගේ අවශ්‍යතා ඔබට වැදගත් බව ඔවුන්ට දැනේවි. ඔබට මේ වෙනුවෙන් විශාල කැප කිරීමක් කිරීමට අවශ්‍ය නැත. සමහර විට ඔබේ දරුවා ක්‍රීඩා කරන ආකාරය හෝ සංගීතය නැරඹීමට පෙනී සිටීම හෝ විෂයය බාහිර ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට උපකාර ලබා දීම වැනි දේ සිදු කිරීමෙන් ඔප්පු කළ හැකියි.

ඔබේ පවුල තුළ කටයුතු කළ ආකාරය කෙසේද යන්න සහ ඔවුන් සීමාවන් ඉක්මවා ගිය කල්හි කුමක් සිදුවේද යන්න දරුවාට පැහැදිලිවම පවසන්න. මන්ද පැහැදිලි සන්නිවේදනය දරුවන් සහ මවුපියන් සමඟ ඇතිවන ගැටුම් අවම කර ගැනීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වේවි.

 

 

 

ඉෂානි කාරියවසම් ව්‍යවහාරික මනෝවිද්‍යාඥ, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය, පාදුක්ක

චම්පා වරුසප්පෙරුම