හෙට ඔබේ දරුවා වෙනුවෙන් අවාසනාවන්ත ඉරණමක් ලියැවෙන්න පුළුවන්

නොවැම්බර් 7, 2022

 

මේ මුහුණු පොතෙන් උපුටා ගත් සටහනක් හා එයට දමා තිබූ කමෙන්ට්ස් කිහිපයකි. සමහර විට ඔබේ දරුවාටත් මෙවැනි ඉරණමකට මුහුණ දෙන්න වුණොත් ඇති වන තත්ත්වය හිතන්න.

 

“ඊයේ රෑ වෙලා මගේ වෛද්‍ය මිතුරියකගෙන් මට call එකක්.... මේ රෑ කතා කරන්නෙ නම් හදිසියක් වෙලා ද කියලා දෙගිඩියාවෙන් මම ආන්සර් කළා. ඇය වැඩ කරන්නෙ නගරබද රෝහලක ETU (Emergency Treatment Unit) එකේ..."

"ඊයෙ දවල් හදිසියේම ලෙඩෙක් ගෙනාවා ත්‍රී වීලර් එකක. අම්මා ඇවිත් කලබලෙන් කියනවා ඩොක්ටර් අනේ ඉක්මනට ඇවිත් මගේ දුව බලන්න කියලා. ඩොක්ටර්ස්ලා එතැනට දුවනවා. වයස අවුරුදු 10-11ක විතර ගැහැනු ළමයෙක්. බෙඩ් ෂීට් එකකින් වහලා. බෙඩ් ෂීට් එක ලේවලින් පෙඟිලා. අම්මාගෙන් දරුවගේ වයස අහන ගමන් බෙඩ් ෂීට් එක අයින් කරා. අනේ... අලුත උපන් චූටි බබෙක්... තාම පෙකනි වැල පිටින්... හැමෝම පුදුමයෙන්... තිගැස්මකින්... කම්පනයකින්... බබා බැලූ බැල්මට නීරෝගි...හොඳට වැඩිලා... ඒත් අර 11 වියැති අලුත් චූටි අම්මාට හොඳටම ලේ වහනය වෙනවා යෝනි මාර්ගයේ ඉරුණු තැන්වලින්.. අම්මාට රක්තහීනතාවයේ ලක්ෂණ...

දැරියගේ අම්මා ඇඬූ කඳුළින්... තාත්තා බයේ කෑ ගහනවා. "අනේ මං නම් ළමයි ගාවට වැඩිය යන්නෙත් නෑ"කියලා. දැරිය ETU එකට අරන් ඉක්මනින්ම වැදෑමහත් අරගෙන... අවශ්‍ය මූලික ප්‍රතිකාර කරලා... අම්මාවයි බබාවයි ඉක්මනින්ම අදාළ ඒකකය වෙත වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කළා..."

මගේ මිතුරිය කතා කළේ මටත් ඒ වයසේ දුවක් ඉන්න නිසා... මට මගේ කන් ඇහෙන්නෙ නෑ වගේ දැනුණා... ඇඟම සීතල වුණා... අනේ මගේ දුවගෙ වයසේ දරුවෙක්... මොන ජීවිතයක් ද මේ කියලා...

වයස 11ක දැරියක් දරුවෙක් බිහි කරනවා... එයාගෙ ඇඟට ඒක ඔරොත්තු දෙනව ද....

එහෙම වුණේ කොහොම ද... මෙච්චර කල් කවුරුත්ම දැක්කෙ නැද්ද... ඩොක්ටර් කෙනෙක් ගාවටවත් ගිහිල්ලා නැද්ද.... ඒ දරුවා කොච්චර දුකක් විඳින්න ඇත්ද.. ආයේ සමාජෙට ගියාම එයාට දරුවෙක්ට වගේ සලකයි ද.... අර අලුත උපන් දරුවා මොනවා කරන්න ද... එයාව හදාගන්නෙ කොහොම ද... මේ දැරියට පවුලේ අයට මොනවගේ මානසික තත්ත්වයක් ඇති වෙයි ද... ප්‍රශ්න කෝටියයි...

 

"මේ දේවල් මහවැලි ගම්මානවල මාපියන් දැනුවත්වම සිද්ධවෙනවා. බාල වයස් විවාහ මහ ඛේදවාචකයක්.... මහවැලි ඉඩම් ගන්න විවාහ වෙන්න ඕනි. ඉතින් ඉතාම ළාබාල වයස්වල අය විවාහ වෙනවා බොරු වයස් දාලා වැඩිහිටියන්ගෙ අනුදැනුම ඇතුව...."

 

"මේ වගෙ ප්‍රශ්න සමහර වෙලාවට ඉවරවෙන්නෙ ගබ්සාවලින්... ඒකෙන් ජීවිතයට වෙන හානිය ගැන තාමත් මේ සමාජය දන්නවා මදි... දෙයක් වුණාම මොනවත් කරනවාට වඩා... නොවෙන්න ඒ වගේ දේවල්වලින් වළක්වන එකයි වැදගත්."

 

ලාංකේය අපි ඔක්තෝබර් පළමු වැනිදා අපේ දරුවන් වෙනුවෙන් ළමා දිනය සැමරුවෙමු. ඒ නිමිත්තෙන් බොහෝ වැඩසටහන් රටේ හතර දිග්භාගයේ පැවැත්විණි. එපමණක් නොව දරුවන් රැකගත යුතු ක්‍රම, දරුවන්ගේ නිදහස, ඔවුන්ගේ අධ්‍යාපනය, ආහාරපාන ආදිය ගැන නිරන්තරයෙන් වැඩසටහන් පැවැත්වෙයි.

 

එළැඹෙන නොවැම්බර් 20 වැනි දා අන්තර්ජාතික ළමා දිනයයි. එදිනට ද මුළු මහත් ලෝකයම සමඟ අප ද ළමා දිනය සමරනු ඇත. දරුවන්ට ඇත්තටම ආදරේ නම් සියලු දරුවන් වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනඟන්නට උත්සාහ ගන්න. දරුවන් රැකගන්න නොහැකි නම් ළමා දින සැමරුම්වලින් වැඩක් නැත. ඒවා නිකම් මවා පෑම් පමණි. ඇත්තටම ළමයින් යනු කවුරුන්දැයි අපේ සමාජයේ බහුතර වැඩිහිටි පිරිස තවමත් හරි හැටි හඳුනාගෙන නොමැති සෙයකි. ඒ නිසාම දරුවන් මානසිකවම මෙන්ම කායිකව ද පීඩා විඳී. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැත.

පාසල් යන දියණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ගණිකාවන් වෙන්නේ නම් කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් ගැබ්බර වී දරුවන් බිහිකරන්නේ නම් මේ සමාජයේ දරුවන්ට හරි රැකවරණයක් නැතිබව කියා පායි.

 

ආර්ථික ගැටලුත් සමඟ

 

අද දවසේ පවත්නා ආර්ථික ගැටලුත් සමඟ දරුවන් පත්ව ඇත්තේ දුක්ඛිත ඉරණමකටය. ඉගෙනීම, හැදියාව පසෙක ලා ළමා වයසේ දී ම රුපියල් ශත හොයන්නට වෙහෙසේ. ඒ වෙනුවෙන් ඇරුණු, දරුවන් ගිලගන්න බලා හිඳින පුද්ගලයන් බොහෝය. රූපලාවණ්‍යාගාර, සම්බාහන මධ්‍යස්ථාන ආදී නමින් දරුවන් බිළී බාගන්නා ස්ථාන මේ වෙනුවෙන් ඇරී ඇති බවක් පෙනෙන්නට තිබේ. නීතිමය පදනමකින් තොරව අපේ දරුවන් ගිලගන්නා මේ නරුම පුද්ගලයන් දරුවන් මතට නැඹුරු කරති. ගණිකා සේවයේ යොදවති.

ඊටත් වඩා අන්ත වී ඇත්තේ විවිධ සහන, ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මාපිය වැඩිහිටි අනුදැනුම මත බොරු වයස් යොදා සමනල වයසේ දරුවන් විවාහ කර වීමය.

"අඩු වයසේ දරුවෙක් ගැබ්බර වෙලා." "අවුරුදු 11ක දියණියක් දරුවෙක් බිහි කළා.." "අවුරුද්දක සිඟිත්තියක් දූෂණය කරලා…" "අවුරුදු පහක පිරිමි දරුවෙක් අපචාරයට ලක් කරලා මරා දාලා.." "යෞවනේ එළිපත්තෙ ඉන්න පුතෙක් ට ඒඩ්ස්…"

මේවා නේද තොර තෝංචියක් නැතුව අපිට අහන්න ලැබෙන්නෙ… මොකක් හරි අපචාරයක්.. ඒ දේ වෙලා තියෙන්නෙ දරුවෙක්ට… කවුද කරලා තියෙන්නෙ.. වැඩිහිටියෙක්.. බොහෝවිට ඒ දරුවා හඳුනන ළඟම කෙනෙක්.. ඉතින් අපේ වැඩිහිටියෝ දරුවන්ට ආදරේ නම් මෙහෙම වෙනවා ද?

 

ඇත්තටම ආදරේ ද?

පවුලේ ඥාතියකු, සමීප හිතවතකු, උගන්වන ගුරුවරයකු, බස් රථයක ගමන් කරන මඟියකු, රියැදුරකු, කඩයක වෙළෙන්දකු, රෝහලක වෛද්‍යවරයකු ආදී බොහෝ පුද්ගලයන් අතින් දරුවන් දූෂණයට ලක් වේ. මෙවැනි පුද්ගලයන් අතින් අපචාරයට ලක්වන දරුවන් ගැන නිතර පුවත් පළ වේ. මෙසේ සමාජයේ වගකිව යුතු පුද්ගලයන් අතින් දරුවන් දූෂණයට ලක් වෙද්දී ඒ ගැන කතා කරනවා හැරෙන්නට ඔවුන්ට දුන් දඬුවමක් ගැන අපිට අසන්න ලැබෙන්නේ නැත.

දරුවන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැඟීම වැඩිහිටි අපේ වගකීමකි. ළමයි වෙනුවෙන් ඇති ළමාරක්ෂක අධිකාරිය කරන්නේ කුමක්දැයි ගැටලුවකි. ඒ නිසා දරුවන්ට ඇත්තටම ආදරේ කරන අය වේ නම්.. මගේ ළමයා පමණක් යන සංකල්පයෙන් බැහැරව අපේ දරුවන් යනුවෙන් හිතන වැඩිහිටියන් වී මේ මල් කැකුළු අකාලයේ පරවී යන්නට නොදී රැක ගන්න. ඒ වෙනුවෙන් හඬක් නඟන්න. නැඟී සිටිය යුතු තැන දී දරුවන් වෙනුවෙන් නැඟී සිටින්න.

 

ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම

අපේ බහුතර දරුවන් පිරිසක් ළමා වයසේ දීම මෙවැනි ඉරණමකට ගොදුරු වීමට එක් හේතුවක් වන්නේ නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් ලබා නොමැති වීමයි. දරුවන් යනු අත්හදා බලන පිරිසකි. අනුකරණය කරන පිරිසකි. ඒ නිසා ඔවුන්ට එවැනි දේවල් සම්බන්ධයෙන් නිවැරැදි දැනුමක් නොවේ නම් අකාලයේ විනාශ වී යාමට ඇති ඉඩකඩ වැඩිය.

ලිංගිකත්වය සමාජය ඉදිරියේ කතා නොකළ යුතු මාතෘකාවක් කරගෙන. ඒ නිසාම අපේ දරුවන් බහුතරයකයට ලිංගිකත්වය ගැන හරි වැටහීමක් නැහැ. ගැහැනු දරුවෙක් පිරිමි දරුවෙක්ගෙ අතින් ඇල්ලුවත් වැරැදියි. වැඩිහිටියන් කියා දෙන්නේ මෙවැනි වැරැදි මතයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෙ කිව්වාම බහුතරයක් ඒකට විරුද්ධයි. මහ හඬින් කෑ ගහගෙන අවි අමෝරාගෙන අපේ දරුවන්ට ඕවා ඕනෙ නෑ කියන පිරිස වැඩියි. ලෝකෙ මොනතරම් දියුණු වුණත් සමහරෙක් ඉන්නවා තාමත් ජීවත් වෙන්නෙ ගල් යුගයේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා හැමදේටම විරුද්ධ වෙන්න විතරයි දන්නෙ.

දරුවෙක් කොතැනකදී වුවත් අපචාරයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටියන්ගේ යුතුකම වෙන්නේ මේ දරුවන්ව දැනුම්වත් කරලා තියෙන එකයි. ඒත් නොවෙන්නෙත් ඒකමයි. පාසලේ දී අකුරු උගන්වනවා වගේම දරුවන්ට ආරක්ෂා වෙන්න අවශ්‍ය හැම දෙයක්ම කියා දිය යුතුයි. අඩුම තරමේ අම්මා, තාත්තාවත් මේ ගැන දරුවන්ට තේරුම් කරලා දිය යුතුයි. එහෙම වුණේ නැත්නම් බහුතරයක් දියණියන් ළමා වයසෙදීම අම්මලා වෙන එකත් වළක්වා ගන්න බැරි තවත් එක් සංකීර්ණ ගැටලුවක් වේවි.