දරු ප්‍රසූතියට රෝහලට යද්දී මවටයි දරුවටයි ඕනෑ කරන දේවල්

ජුනි 10, 2024

දරුවකුගේ උපත සඳහා සූදානම් වීම අපේක්ෂාව සමඟ බිය, කනස්සල්ල ද ඇති කළ හැකි අවස්ථාවකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක සමීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි බොහෝ ගර්භිණි මවුවරු දරු ප්‍රසූතියට රෝහල්ගත වන්නේ බිය, චකිතය, සහ අනාරක්ෂිත හැඟීම සමගයි. එය සමහර විටෙක දරු ප්‍රසූතිය සිදු කරන ස්ථානය, ප්‍රසූතියට සහභාගිවන නිලධාරීන් සහ ඔවුන් කෙරෙහි සමාජය තුළ ඇති ඍණාත්මක ආකල්ප ද මීට හේතු වන බව බොහෝ මව්වරුන් පවසයි.

දරු ගැබට මාස 5-6 වන විට රෝහල් සඳහා ගෙන යාමට අවශ්‍ය බඩු බෑගය ඔබ සූදානම් කරගත යුතුයි. රෙදි හොඳින් සෝදා මැද බෑග්වල අසුරා ලේබල් කරන්න.

පෞද්ගලික රෝහලක දරු ප්‍රසූතිය සිදු කරන්නේ නම් ඔබටම වෙන් වූ සුව පහසු කාමර කලින්ම ගොස් දැක බලා ගත හැකි අතර රජයේ රෝහලක නම් ඔබට ලැබෙන්නේ ඇඳක් සහ ලාච්චුවක් සහිත කුඩා ලොකරයක් පමණි.

රෝහල් බෑගය සකස් කිරීමේදී කොටස් කිහිපයකට සිතා වෙන්කර එය සකස් කරගන්න.

* ලිපි ලේඛන සඳහා වතුර නොයන ලෙස ආවරණය කළ හැකි file එකක් හෝ බෑගයක් තබාගන්න.

රෝහලෙන් රෝහලට අවශ්‍ය බඩු ඉතාම මද වශයෙන් වෙනස් වියහැකි වුවත් මවට සහ දරුවාට අවශ්‍ය දෑ වෙන්කර සාදා ගන්න.

* සායනික මවු කාඩ්පත් සහ වෛද්‍යවරයා ඔබව පරික්ෂා කරන ලද සියලු ලිපි ලේඛන

*පෞද්ගලික හැඳුනුම්පත

* රක්ෂණ කාඩ්පත

* අවශ්‍ය වේ යැයි සිතිය හැකි අනෙකුත් ලේඛන

 

ඔබ සුපුරුදු ලෙස නිදාගන්නා කොට්ටය රෝහල වෙත ගෙන යන්නේ නම් රජයේ රෝහලක නම් ඒ පිළිබඳව දැනුම් දී එය ඔබට පෞද්ගලිකව අත්‍යවශ්‍ය දෙයක් බව සඳහන් කරගෙන යන්න.

 

රෝහල් ලැයිස්තුව (මව සඳහා)

*බෙඩ් ජැකට් 5ක්

* ළා පැහැති චීත්ත 5ක් සහ සුදු චීත්තයක්

* සුදු බෙඩ් ජැකට් එකක්

* ලූප් සහිත පෑඩ්ස් පැකට් 3ක්

* සුදු ඇඳ ඇතිරිලි 2ක්

* සබන් සහ තුවායක්

* දත් බුරුසුවක් සහ දන්තාලේප

* පනාවක්

* උණු වතුර බෝතලයක්

* සීනී, තේ කොළ, බිස්කට් වැනි දේ දැමූ

කුඩා බඳුන්

* පොඩි බෝල් එකක්

* කෝප්පයක් සහ පිඟානක්

* හැන්දක්

* රබර් සෙරෙප්පු 2ක්

* ෂොපින් කවර කිහිපයක්

* අවශ්‍ය නම් ෆීඩින් බ්‍රා

රෝහල් ලැයිස්තුව(දරුවා සඳහා)

* අඟල් 20×20 ප්‍රමාණයේ නැපි 20ක්

* ළදරු ඇඳුම් 12ක්

* බබා පිස දැමීමට කපුරෙදි 4ක්

* සූට් එකක් හා මේස්, තොප්පි කට්ටලයක්

* බබා එතීමට 20×20 ප්‍රමාණයේ

ඔතන රෙදි 3ක්

* ළදරු පැනල් රෙද්දක්

* ළදරු පනාවක්

* ළදරු සබන්

* ළදරු මදුරු දැලක්

* නැපි කටු කිහිපයක්

* පුළුන් බෝල පැකට් 1ක් හා Wet Tissue

පැකට් 1 ක්

* පෙකණි කටුව

සූතිකාගාරයට ගෙන යා යුතු බෑගය (මවට)

* ෙබඩ් ජැකට් 2ක්

* ළා පැහැති චීත්ත 2ක්

* ලූප් සහිත පෑඩ් පැකට් 2ක්

* සුදු රෙදි පටියක්

* හදිසි අවස්ථාවකදී ගන්නට සුදු චිත්තයක්

සුදු බෙඩ් ජැකට් එකක්

සූතිකාගාරයට ගෙන යා යුතු දේ(දරුවාට)

* නැපි 3ක්(20×20)

* ළදරු ගවුම් 2ක්

* බබා පිස දමන රෙදි 1 ක්

* බබා ඔතන රෙදි 1 ක්(36×36)

* පැනල් රෙද්දක්

* මේස් තොප්පි කට්ටලයක්

* පෙකණි කටුව

 

දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවිය

යුත්තේ කවදාද?

සමහර විටෙක වෛද්‍යවරයා විසින් දිනයක් නියම කරනු ඇත. එම දිනයේ උදේ වරුවේ රෝහලට ඇතුළු වීම සුදුසුය.

එසේ නොමැති නම් හදිසි අවස්ථාවල රෝහල්ගත වීමට සිදුවන අවස්ථා ඇත.

එවැනි හදිසි අවස්ථා නම්,

 

1- ප්‍රසූත වේදනාවන් ඇති වීම

ගර්භිණී කාලයේ අවසන් මාස කිහිපයේ වරින් වර උදරයේ වේදනාව සහ කොන්දේ වේදනා ඇතිවීම සාමාන්‍යයි. නමුත් ප්‍රසූත වේදනාව මීට වඩා වෙනස්ය. එය තේරුම් ගෙන ප්‍රසූත වේදනාවක් එනවා නම් වහාම රෝහල වෙත යාමට අවශ්‍ය කටයුතු කලින් සූදානම් කර තබන්න.

ප්‍රසූත වේදනාවේ මූලික ලක්ෂණය වේදනාව එක දිගටම නොපැවතීමයි. වේදනාවක් ඇති වී එය පහව ගොස් නැවත වේදනාවක් ඇතිවන තෙක් මවට පහසුවෙන් සිටීමට හැකියි. විනාඩි පහකට හෝ ඊට ආසන්න කාලයකට වරක් වරින් වර වේදනාව ඇතිවනවා නම් වහාම ඇය රෝහලකට ඇතුළු කළ යුතුයි.

 

2- යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය

ශ්‍රාවයක් පිටවීම

දරු ප්‍රසූතිය ආසන්නවන විට ගැබ් ගෙල විවෘත වන නිසා ගැබ් ගෙල අසල ඇති ගුළියක් සේ සෑදුණු ශ්ලේෂ්මලය ගැලවී ඉවත්වේ. ලේ මිශ්‍ර බිත්තර සාරු වැනි ස්වභාවයක් ඇති ශ්ලේෂ්මය පිට වන්නේ නම් එයද රෝහල්ගත වීමට ලක්ෂණයකි.

 

3 -වතුර බෑගය බිඳීම

දරුවා වටා ඇති වතුර බෑගය රඳාපවතින්නේ ඉතාම තුනී සිවියක් ආධාරයෙනි. දරු ප්‍රසූතිය ආසන්නයේදී මෙම වතුර බෑගය වටා ඇති සිවිය බිඳී වතුර යෑම යම් යම් හේතු නිසා සිදුවිය හැකියි.(කලලාවාරික පටලය water bag) මෙය බිඳී යාමක් සිදුවුවහොත් යෝනි මාර්ගයෙන් වතුර වැනි තරලයක් පිටවීම සිදුවන අතර මෙය අවදානම් තත්ත්වයක් විය හැකි නිසා වහා රෝහල් ගත කළ යුතුයි. ඉතා කලාතුරකින් වතුර බෑගය බිඳුණු අවස්ථාවල දරුවාගේ පෙකණි වැල පිටතට පැමිණිය හැකි නිසාත් තරලය අඩු වීම නිසා ගර්භාශය තුළ දරුවාට ආරක්ෂාව අඩු වීම නිසාත් මෙය අවදානම් වැඩි තත්ත්වයක් ලෙස සලකයි. යෝනි මාර්ගය හරහා දරු ගැබට සහ ගර්භාශයට විෂබීජ ඇතුළු වීම ද මෙවැනි අවස්ථාවල සිදු විය හැකියි.

 

4- දරුවාගේ දැඟලීම අඩුවීම

දරු පැටියා කුස තුළ නිරෝගීව සිටිනවාදැයි මවට දැනෙන වඩාම වැදගත් ලක්ෂණය වන්නේ දරුවා කුස තුළ දැඟලීමයි. දරුවාගේ දැඟලීම එක් එක් මවට වෙනස් ආකාරයට දැනුණත් දරුවාගේ දැඟලීමේ වෙනස්කම් ඕනෑම මවකට ඉතා සැලකිල්ලෙන් සිටීම මඟින් අවබෝධ කරගත හැකියි. දඟලන වාර ගණන සහ රටාව සුපුරුදු රටාවට වඩා විශාල වෙනසක් ඇති බව මවට දැනේ නම් වහා රෝහල් ගත යුතු වේ.

 

5-රුධිර වහනය

ගැබ් ගෙල විවෘත වීමත් සමග ශ්ලේෂ්මල ද සමඟ සුළු රුධිර වහනයක් වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, ප්‍රසූතිය ආසන්න වන විට යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම සාමාන්‍ය නොවේ. හදිසි රුධිර වහනයක් ඇතිවීමට හේතු කිහිපයක් පවතියි. ඒ අතර වැදෑමහ ගර්භාශයෙන් වෙන්වීම වැනි භයානක තත්ත්ව ද ඇති නිසාත්, ගර්භාශය පහළ පිහිටන විට මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි නිසා එක්වරම රුධිර වහනයක් ඇතිවුවහොත් රෝහල් ගත වීම අවශ්‍යයි.

 

දරු උපත සැලසුම් කිරීම

උපත් සැලැස්ම අවබෝධ කරගැනීම මවකට ප්‍රසූතිය සඳහා සහාය දැක්වීමට පහසුවක් වනු ඇත.

ඔබේ සැලසුම නාරි හා ප්‍රසව.විශේෂඥ වෛද්‍යවරයා සමඟ කල්තියා සාකච්ඡකර, ප්‍රසූතිය කෙලෙස සිදුවන්නේ ද, ඒ සඳහා කුමන පියවරයන් අනුගමනය වන්නේ ද යන්න නිවැරැදිව දැනුම්වත් වන්න. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ දැනුම්වත් අයකු සමග මේ පිළිබඳ සාකච්ඡා කරන්න. නැතහොත් එවැනි උපදේශන සේවාවකට යොමු වී අවශ්‍ය දැනුම ලබාගන්න.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය

උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ