අලුත් බබාගේ හිස ගැන අම්මලගේ හිතේ ගැටලු ගොඩයි

ජුනි 17, 2024

 

බොහෝ දරුවන්ගේ හිස සම්බන්ධව අම්මලා මැසිවිලි නඟති. හිස දිගු වීම, හිස කෙස් නොමැති වීම, හිස ඇදවීම වැනි ගැටලු බොහොමයක් මව්වරුන්ට ඇත.

සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතිය සිදුවීමේදී විශේෂයෙන් හිස ඇදවීම්, දික්වීම් ඇතිවීම ඉතා සාමාන්‍යයි. සීසර් ශල්‍යකර්මයකදී වුව හිසට භාවිත කරන අඬු නිසා හිසෙහි රතු පැහැති පැල්ලම් ඇතිවිය හැකියි.

ප්‍රත්‍යස්ථ මුදු කාටිලේජමය කපාල අස්ථි ප්‍රසූතියේදී සිදුවන තෙරපීම නිසා හිස ඇදවීම් දිගුවීම් සිදුවේ.

දරුවාට වසරක් පමණ ගතවන විට ඉබේම යථා තත්ත්වයට පත්වෙයි.

 

හිසෙහි සම ගැලවී යාම

 

අලුත උපන් දරුවන්ගේ තොප්පියක් ආකාරව මැරුණු සම කබලක් වැනිව හිසේ සිට නළල දක්වා ප්‍රදේශයේ තිබේ එය අප හඳුන්වන්නේ cradle කැප් යනුවෙනි. මෙලෙස නළල ප්‍රදේශයෙන් තොප්පියක් ආකාරව හිසෙහි සම් කැබලි ගැලවී යාමද ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. ගර්භාශය තුළ සිටින කාලයේ එකතු වූ මැරුණු සෛල මෙලෙස ගැලවී යාම සිදුවන අතර සෛල අලුත්වැඩියාවක් ද ඉතා ඉක්මනට සිදුවේ. දරුවා නෑවීමට පෙර තලතෙල්, ඔලිව් තෙල් වැනි තෙල් ස්වල්පයක් දමා ඉතාම මෘදුව සම්බාහනය කිරීම සහ නාවන වෙලාවට ඉතා මෘදු ළදරු පනාවකින් හිස පීරීම සිදුකළ හැකියි.

එලෙසම බොහොමයක් මව්වරුන් බියට පත්වන තත්ත්වයකි, හිසේ ඇති තෙල් වළ. අලුත උපන් දරුවන්ගේ හිසෙහි අස්ථි අතර හිසකෙස් නොමැති ප්‍රදේශ දෙකක් පවතී. එකක් පූර්ව රන්ධ්‍රය ලෙස හඳුන්වන අතර අනෙක අපර රන්ධ්‍රය ලෙස හඳුන්වයි. හිස මුදුනේ සාමාන්‍ය ව්‍යාහාරයේ තෙල් වළ ලෙස හඳුන්වන පූර්ව රන්ධ්‍රය අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක් පමණ කාලයක් පැවතී වැසී යයි. හිස පිටුපස ඇති අපර රන්ධ්‍රය මාස දෙක තුනක් ගත වන විට සම්පූර්ණයෙන් වැසී යයි.

මෙම රන්ධ්‍ර අස්ථි නොමැති ස්ථාන ඉතා තදින් ඇල්ලීම සහ අනතුර සිදුවීමෙන් වළක්වා ගැනීමට වගබලාගත යුතුයි.

 

හිසට දහඩිය දැමීම

 

කුඩා දරුවන්ගේ පරිවෘත්තීය ශීඝ්‍රතාව ඉතාම ඉහළය. දරුවන්ට හිසට දහඩිය දැමීම සිදුවේ. සාමාන්‍යයෙන් කුඩා දරුවකුගේ සම වැඩි ප්‍රමාණයක් හිස ප්‍රදේශයේ පවතින නිසා වැඩිපුර හිසට දහඩිය දැමීමක් ලෙස මෙය දැකිය හැකියි. සමහර දරුවන් වැඩිහිටි වියට පත්වන තෙක්ම මෙම තත්ත්වය පැවතිය හැකි අතර මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. දරුවන්ගේ හිසට අත්‍යවශ්‍යම අවස්ථාවක හැර තොප්පි දැමීමෙන් වැළකීම සහ සීතල රටවලට ගැළපෙන වූල්වලින් නිර්මාණය කරන ලද තොප්පි කිසිසේත්ම දරුවන්ට භාවිත නොකරන්න.

අලුත් උපන් දරුවන්ගේ තැනින් තැන හිසකෙස් ගැලවී යාම මව්වරුන්ට ඇති තවත් ප්‍රශ්නයකි. සමහර විටක උඳුගොව්වන් කෑම නම් රෝගී තත්ත්වය නිසා තැනින් තැන හිසකෙස් රොද පිටින් ගැලවී යනු දැකිය හැකියි. මෙලෙස සිදුවන්නේ රෝගී තත්ත්වයක් නිසා නොවෙයි. දරුවා තබන පැත්ත, එකම දෙසට හැරී සිටීම, කොට්ටයට ගෙවීම වැනි හේතු සාධක නිසා නොමේරූ රෝම කූප මුලින්ම ගැලවී යාම මෙයට හේතුවයි. මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයකි. දරුවාගේ හිසකෙස් රෝම කූප සාමාන්‍ය ලෙස පරිණතවන විට මෙම තත්ත්වය මඟහැරී යන අතර එලෙස හිසකෙස් නැති වූ තැන්වල අනිවාර්යයෙන්ම හිසකෙස් වැවීම සිදුවෙයි.

මව්වරුන්ට ඇති තවත් ගැටලුවක් වන්නේ හිසෙහි මෘදු ගෙඩි ඇතිවීමයි. ප්‍රසූතියේදී ඇතිවන පීඩනය හේතුකොට හිසේ සමට යටින් මෙම ලේ පිරුණු ගෙඩි ඇතිවීම සිදුවේ. මේවා කැපුට් CAPUT ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හැඳින්වේ. අඬු යොදා ප්‍රසූතිය සිදු කරන අවස්ථාවලත් වැකියුම් යොදා ප්‍රසූතිය සිදු කරන අවස්ථාවලත් මෙම තත්ත්වය බහුලය. සුළු කාලයක් තුළ මේවා මගහැරී සුවපත් වී යන අතර ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවෙයි. හිස පැත්තට ගෙවී යාමද මව්වරුන් අසහනයට පත් කරන ගැටලුවකි. මෙයටද හේතුව අස්ථීන්හි මෘදු ස්වභාවය නිසා දරුවාගේ හිස බර වෙන පැත්තේ අස්ථි මඳක් ප්‍රත්‍යස්ථ වී නැමීමයි. මෙලෙස ගෙවී යන හිස අවුරුද්දක් පමණ වන විට සාමාන්‍ය තත්ත්වයට ඉබේම පත්වෙයි. අත ගෑම තැලීම හෝ සැකසීම සිදු කිරීම අනවශ්‍යයි.