පළමු වසර තුනේ සිඟිත්තා හොඳින්ම බලාගන්න

ජූලි 22, 2024

 

අලුත උපන් සෑම දරුවකුම රෝහලින් නික්ම යාමට පෙර ලබා දෙන ළදරු ළමා සංවර්ධන සටහන් පොත දැනුමින් පරිපූර්ණ එකකි.

මේ දරුවන්ගේ මනස සංවර්ධනය කළ යුතුම අවධියකි. දිනෙන් දිනෙන් දරුවන් කෙරෙන් සවනත වැකෙන්නේ විවිධාකාර සිදුවීම්ය. තම ජීවිතයේ වටිනාකමට ලංසු තබන්නට පවා නව පරපුරේ දරුවන් පුරුදුව සිටියි.

 

දරුවන් කෙරෙහි මුල් ළමා විය සංවර්ධනය අතිශය වැදගත් වේ. උපතේ සිට අවුරුදු අටක් දක්වා වූ කාලය මුල් ළමාවිය ලෙස සැලකේ. අපේ රට තුළ උපතේ සිට පළමුව අවුරුදු පහ දක්වා කාලයත් අවුරුදු තුන දක්වා කාලය විශේෂයෙන්මත් මුල් ළමා විය සංවර්ධනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි.

අනාගතයෙහි බිහිවන සාර්ථක වැඩිහිටියකුගේ අඩිතාලම දමන්නේ මුල් ළමාවියයි.

If you change the beginning

of the story

You can change the whole

story

උපතේ සිට වසර 3ක් දක්වා වූ කාලය සාමාන්‍යයෙන් දරුවෙක් සිටිනුයේ නිවෙස තුළයි. දරුවා අධ්‍යාපන පද්ධතියට අවතීර්ණ වන්නේ ඉන්පසුවයි. නිවෙසේ සිටින මේ අවධියේ දරුවකුගේ මොළය විශාල වශයෙන් සංවර්ධනයවන අවධියයි. වැඩිහිටියකුගේ මොළය ග්‍රෑම් 1400 ක බරකින් යුතුය. දරුවකු උපදින විට මොළයේ බර ග්‍රෑම් 400 කි. අවුරුදු 3ක් වනවිට දරුවකුගේ මොළයේ බර ග්‍රෑම් 1100කි. එසේ නම් වසර 3 ක්වන විට දරුවකුගේ මොළයෙන් සියයට 80ක්ම වැඩී තිබේ.

පරිසර උත්තේජනය, මාපිය ආදරය, වටපිටාවෙන් ලැබෙන අත්දැකීම් අනුව පළමු වසර තුන තුළදී මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත්ව වර්ධනය වේ.

 

'මම වටිනා කෙනෙක්' යන අවබෝධය මුල් අවුරුදු තුනේදී දරුවන්ගේ සිතට කා වැදිය යුතුයි. ශක්තිමත් පෞරුෂයක් සහිත පුද්ගලයකු බිහි වන්නේ ඒ අනුවයි. 'මගෙන් වැඩක් නැහැ, මම අදක්ෂ,අසමත් චරිතයක්' වැනි මතයක් කා වැදුණහොත් දරුවාගේ පෞරුෂය එහෙම පිටින්ම බිඳ වැටෙයි. මුල් ළමා විය එතැනම කඩාවැටෙයි. මුල් ළමා විය සංවර්ධනය නොවුණු පුද්ගලයකු අනාගතයේ රටට වැඩදායි පුද්ගලයකු වේ යැයි අපේක්ෂා කළ නොහැකි වේ.

එවන් දරුවකු තරුණ වියට පා තැබූ පසුවත් මාපියන්ගෙන් ඈත්ව සිටී. ඔවුන් සමඟ සෘජුව ප්‍රශ්න කතා කරන්නටත් නොහැකි තරම්ය.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා කරන ආයෝජනයන් රටක ආර්ථිකය ගොඩනැඟීමට බලපාන බව ලොව පර්යේෂණාත්මකව ඔප්පු කළ දෙයකි. මෙහි ප්‍රතිඵල දවසින් දෙකින් දැකිය හැකි නොවේ. දරුවා වැඩිහිටියෙකු වූ කල එහි වැදගත්කම සමාජයට වෙසෙසින්ම දැනේවි.

දරුවෙකුගේ මුල් ළමාවිය අංශ පහක් යටතේ සංවර්ධනය විය යුතුයි.

 

* හොඳ සෞඛ්‍යයක්

* දරුවාගේ පෝෂණය

* දරුවකුට ප්‍රතිචාරාත්මක රැකවරණයක් ලබා

දෙන්නේ කොහොමද?

* දරුවාගේ ආරක්ෂාව හා පරිස්සම

* මුල් ළමා වියේ සිටම ඉගෙනුම් අවස්ථා ලබා දෙන්නේ කොහොමද? (මින් අදහස් කරන්නේ පළමු අවුරුදු තුන ඇතුළත දරුවාට උගන්වන්න යන්න නොවේ.)

අලුත උපන් සෑම දරුවකුම රෝහලින් නික්ම යාමට පෙර ලබා දෙන ළදරු ළමා සංවර්ධන සටහන් පොත දැනුමින් පරිපූර්ණ එකකි. එහි මුල් ළමා විය සංවර්ධනය කෙරෙන සියලුම උපදේශයන් අඩංගු වේ. සෙල්ලම් ආශ්‍රයෙන් සංවර්ධන උත්තේජන ලබාදීම කෙරෙහි එහිදී වැඩි ඉඩකඩක් ලැබේ.

වර්තමානයේ විවාහවන නව යුවළ සඳහා මව්පියභාවය පිළිබඳ එතරම් දැනුම්වත් බවක් නැති තරම්ය. දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි මවුපියන්ගේ දැනුවත්භාවයද අතිශය වැදගත් වේ.

' දරුවාගේ මනස සංවර්ධනය කරන්නට මොනවද මම මගේ දරුවත් එක්ක කරන්න ඕනේ' මේ පිළිබඳ කුලුඳුල් මව්පියන් දැනුම්වත් කෙරෙන පංති කිහිපයක් මේ වසර අගවන විට යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව පැවැත්වීමට කටයුතු කෙරේ.

 

උපදෙස් :

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ළමා සංවර්ධනය, රැකවරණය හා විශේෂ අවශ්‍යතා ඇති ඒකකයේ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ආසිරි හේවාමාලගේ