වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
දරුවන්ගේ හිත් හරියටම අත් වගේ
අතක ඇඟිලි පහ එක හා සමාන නෑ වගේ එක වගේ සමාන දරුවෝ කොහෙවත්ම නෑ.
ටීවී එකේ යන ටෙලිනාට්‍යවල විවිධ චරිත අනුකරණය කරන මගේ පෙර පාසලේ හිටපු ගයාශි ටික ටික මේ නාට්‍ය චරිත අනුකරණය කරන එක අඩු වෙන බවක් කැපී පෙනෙන ලක්ෂණයක් වුණා.
නමුත් මම ඒක සාමාන්‍ය දෙයක් විදිහට තමයි හිතුවෙ. මොකද ළමයි චුට්ට චුට්ට ලොකු වෙනකොට පුංචි කාලෙ කරන වැඩ ටික ටික අඩුවෙලා යනවා නේ.
ඇය ටික ටික බොහෝම තැන්පත් වෙන ස්වභාවයක් මට වගේම අනිත් ගුරුවරුන්ටත් පෙනෙන්න වුණා. ඒ කිව්වේ, කණ්ඩායම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන එක අඩු වුණා. ඉස්සර කැමැත්තෙන් නැටුම්වලට සම්බන්ධ වුණාට දැන් දැන් ටිකක් අදි මදි කරන්න ගත්තා. පොත්පත්වල කරන වැඩ පිළිවෙළ නැති වෙන්න පටන් ගත්තා. මම ඒ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් හිටියේ. හැම වෙලාවේදීම ඇයට වගකීම් පවරමින්, පන්ති කාමරේ වැඩවලට ඇය උදව්වට ගත්තා. ඒත් ඒ හැම දෙයක්ම අය කළේ ඒ හැටි වුවමනාවකින් නොවන බව මට තේරුනා. දඟලලා කෑ ගහන තොර තෝංචියක් නැතිව කියවන එක අඩු බවයි තේරුණේ.
කාලය මෙහෙම ගෙවිලා යද්දි, මම ඇගේ මවගෙන් මේ ගැන චුට්ටක් විමසන්න වුණා.
"අම්මා, දැන් ගයාශි ටිකක් හුදෙකලාව ඉන්න කැමැතියි කියලා මට හිතෙනවා. ගෙදරත් එහෙමද?
"ටීචර් ඔයාට බබාගේ මොකක් හරි වෙනසක් පේනවද?" ඈ එකපාරටම එසේ ඇසුවා.
"නැහැ මං කිව්වේ, හිටිය හැටියට එයා දැන් ටිකක් බොහොම තැන්පත් වෙලා. පොත්වල වැඩත් ටිකක් කරන්නේ අකමැත්තෙන් වගේ. ඒකයි මං ඉතින් ඔයාගෙන් ඇහුවේ."
ඇයත් මමත් මේ කතාව කරන වෙලාවේ ගයාශි ටීචර් සමග ඔංචිලි පදිමින් හිටියේ.
"මම ප්‍රශ්න ගොඩක ඉන්නෙ teacher
මහත්තයාගේ අම්මා කොයිවෙලේත් මාත් එක්ක රණ්ඩු වෙනවා. මං පුතාව වෙනස් කරලා කියලා මාත් එක්ක රණ්ඩු වෙන්නේ"
"මහත්තයා ගෙදර ආපු වෙලේ ඉඳලා මගේ වැරදි කියනවා. ළමයා දැඟලුවත් මම වැරදියි. ළමයා කියන දේ ඇහුවේ නැතත් මමයි වැරදියි. මගේ ළමයා මගෙන් අනන්තවත් ගුටි කනවා ටීචර් "
" ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ළමයගෙ පිටින් යන එක නම් බොහොම වැරදියි. ඔයාට ඔයාව පාලනය කරගන්න වෙනවා. නැත්තං ඔයාට වෙන්නේ ඔයාගෙම දරුවා නිසා දුක් විඳින්න. ඉවසන්න උපරිමයෙන්. කතා කරලා ප්‍රශ්න විසඳන්න බලන්න." මා ඇයට කීවෙමි.
දැන් මට ගයාශිගේ වෙනස් වීමට හේතුව පැහැදිලි විය. ගයාශිගේ අම්මාගේ ප්‍රශ්නය මම හරිහැටි දන්නේ නැත. නමුත් ඇය තමාගේ සියලු දුක් කරදර දරුවා පිටින් යැවීම ඉතාමත් අමානුෂික බව මට සිතුණි. එය ළමා හිංසනයකි. "අම්මා, මම එන්න කිව්වා කියල තාත්තටත් කියලා ඔය දෙන්නම මාව හම්බවෙන්න එන්න. මම මේ කිසි දෙයක් නොදන්න විදිහට දරුවා ගැන කතා කරන්නම්"
මා ඇයට එසේ කීවේ දරුවා ගැන මට ඇතිවූ දරාගත නොහැකි වේදනාව නිසාය.
පුංචි දියණිය හිත ඇතුලේ ගොඩක් දේ හිර කරගෙන ඇති බව මට කියලයි. ඇගේ හදවත රිදුම් දෙනු ඇත. නමුත් ඇයට කියන්නට තේරුමක් නැත. ඇගේ චර්යාමය වෙනස ඒ සියලු දේ අපට පසක් කරදෙයි. ඇගේ තාත්තා මා මුණ ගැහීමට ඒදැයි මා නොදනිමි. නමුත් මා මට හැකි අයුරින් දියණියට උදව් කළ යුතු යැයි සිතුවෙමි.
විටෙක මට හිතෙන්නේ, විවාහ වුණු ඕනෑම යුවළක් තමාගේ කියලා පුංචි කුලී නිවසක හෝ ජීවත්වීම වඩාත් සුදුසු යැයි කියලයි. තම නැන්දම්මා නිසා පීඩා විඳින ගයාශිගේ අම්මා වගේ අය තවත් ඇත. අම්මාත් බිරිඳත් අතර හිරවුණු ගයාශිගේ තාත්තලා වගේ අයත් ඇත.
අපිටත් කවදා හෝ දවසක ලේලිලා බෑණලා ගෙදරට එන දවසක් එනු ඇත. දෙමාපිය වන අපි අපේ පවුල් සංස්ථාව රැක ගනිමින් ජීවත් වුණා සේ අපේ දරුවන්ට දරුවන්ගේ පවුල් ජීවිත එපා නොවී ගෙවන්නට දෙමාපිය අපි වග බලාගත යුතුව ඇත. ලේලි කෙනෙක් ගෙනා තැනදී, පුතා අම්මාට ආදරේ නැතැයි සිතුණු කළ නැන්දම්මාට ලේලිය වහ කදුරු වෙයි. අම්මලා වන අපි එසේ නොවන්නට වග බලාගත යුතුව ඇත. මොකද අපිත් මෙවැනි නැන්දම්මලා වුණොත් අපේ දරුවෝ විතරක් නොව අපේ මුණුබුරු මිනිබිරියන්ගේ ජීවිතවල සතුට උදුරා ගත් ආච්චිඅම්මලා වනු ඇත. ඒ වගේම අපේ දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් ආච්චිලා එපා වෙන දවස වැඩි ඈතක නොවනු ඇත. ගයාශිගේ අම්මා හා තාත්තා මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ පවුලේ ප්‍රශ්නය නොදන්නා ලෙස හැසිරුණු මම තම එකම දියණියගේ හැසිරීමේ වෙනස්කම් ටික එම දෙපළට පැහැදිලි කළෙමි. සියලු දේ හොඳින් අසා සිටි ගයාශිගේ තාත්තා දරුවා ගැන නිවසෙදීත් සැලකිලිමත් වෙන්නන් යැයි පවසා ගියේය. කාලය මෙසේ ගෙවී යද්දී, එක්තරා දිනක ගයාශිගේ අම්මා මට මෙසේ කීවාය,
";teacher, මේ මාසයෙන් පස්සේ
ගයාශිව මොන්ටිසෝරියට එවන්න වෙන්නේ නෑ ,මහත්තයා මාතර branch එකට මාරුවක් හදා ගත්තා. අපි තුන්දෙනාම එහේ පදිංචියට යනවා. දුව එහේ මොන්ටිසෝරියකට දාගන්නවා,
ටීචර් ට ගොඩක් ස්තූතියි. ටීචර් ගයාශි ගැන හොඳ අවබෝධයෙන් ඉඳලා එයාගේ වෙනස දැකලා අපිට කිව්ව නිසා තමයි ගයාශි ගේ තාත්තා ගොඩක් දේවල් තේරුම් ගත්තේ. "ඇය මට එසේ කීවාය.
ගයාශිගේ තාත්තා තම දියණිය ගැන දැක්වූ සැලකිල්ල,ආදරය,සෙනෙහස මේ සියල්ල මා දැක්කෙමි. ඔහු ගත් තීරණය නිවැරදි යැයි මම සිතමි. නමුත් සමාජය තුළ මෙවැනි ප්‍රශ්න ඉදිරියේ ඔහු මෙන් තීරණ ගැනීමට නොහැකිව ලතැවෙන පුතුන් ඕනෑ තරම් ඇත. අම්මලා වන අපි අපේ දරුවන්ට ඒ අයගේ සුන්දර ආදරණීය පවුල ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ සතුට පිරුණු කැදැල්ල තුළ ජීවත් වෙන්නට උදව් කරනවානම් දරුවන් වන හැමෝගෙම ලෝකය ගොඩාක් ලස්සන වනු ඇත.
ගුරු සිතක පොඩි මතක සමඟ මම
නදීකා කරුණාරත්න