දරුවන් ගැන සාමාන්‍ය විදිහට හිතන්න

දෙසැම්බර් 16, 2024

 

ජනවාරි මාසේ අලුතින් මොන්ටිසෝරියට අඬමින් පැමිණෙන පුංචි සිඟිත්තන් අතරේ හිනැහෙමින් පැමිණි දම්සර අපි හැමෝටම විශේෂ වුණේ, අඬන අපේ පුංචි යාළුවෝ නළව ගන්න හරිම දක්ෂ වුණු නිසා.

 

බෝල කණ්ණාඩි දෙකක් දාන දම්සරට තරමක් පෙනීමේ පුංචි දුර්වලතාවක් තියෙන බවයි අම්මා අපිට පැවසුවේ. බැලූ බැල්මට දම්සර මට පෙනුණේ පුංචිම පුංචි "මහාචාර්යවරයෙක්" වගේ.

 

මගේ සිතීම හරි කියල ටික දවසක් යනකොට මට තේරුණා. මොකද දන්නව ද? දම්සරට තිබුණේ පුදුම දැනුමක්. අවට ගස්කොළං ගැන සතුන් ගැන, පොළොවේ පස් ගැන, ග්‍රහලෝක ගැන, ඉර, හඳ පිළිබඳ දම්සරට පුදුම දැනුමක් තිබුණා. තමා ජීවත් වන අවට පරිසරය පිළිබඳව අලුත් අලුත් දේ සොයා බලන්න, විස්තර දැනගන්න පුදුමාකාර පිපාසයක් ඔහුට තිබුණා. සමහර වෙලාවට මට හිතුණේ ඒක සාමාන්‍ය දරුවෙකුගෙන් එහාට ගිය දැනුමක් කියලයි. ඒ විතරක් නෙමෙයි."ඩයිනෝසර්" පිළිබඳත් දම්සරට හොඳ දැනුමක් තිබුණා. ඇත්තම කතාව කිව්වොත්, මමත් දම්සරගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔහු හැමවිටම මගින් ප්‍රශ්නය ඇහුවා. ප්‍රශ්නෙ අන්තයටම යනකම් අහන එක ඔහුගේ සිරිත වුණා. සමහර අවස්ථා තිබුණා, මටත් උත්තර දෙන්න බැරි වෙන තරමටම දම්සර මගෙන් ප්‍රශ්න අහපු.

 

හැබැයි ඉතින් දම්සරගේ අම්මට මේක ලොකු ප්‍රශ්නයක් වුණා.

 

"අනේ ටීචර්, පුතාට කියන්නකෝ ඔය ගස්කොළංවල විස්තර හොය හොය ඉන්නේ නැතුව පොත්වල වැඩ කරන්න කියලා. ටීචර් කිව්වහම එයා අහනවා."

දම්සරගේ අම්මා නිතර මට පැවසූ වදන් පෙළ එයම විය. තමාට වැඩිය අවුරුදු 14ක් වැඩිමහල් තම එකම අක්කාගෙන් බොහෝ තොරතුරු දම්සර විමසා දැනගන්නා බව මව මට පැවසුවා. අක්කා විසින් මල්ලි පිපාසයෙන් මෙන් අහන ප්‍රශ්නවලට අන්තර්ජාලයෙන් හොයා ගන්නා තොරතුරු ඔහුට කියයි. ඒ විතරක් නෙමෙයි, සතුන් පිළිබඳව, ගහ කොළ පිළිබඳ මේ සොබාදහමේ තියෙන බොහෝ දේවල් පිළිබඳ පොත්, පින්තූරු ගෙනවිත් දෙන ලෙස හැමවිටම ඔහු තම පියාට වද දෙන බවත්, පියා විසින් පුතාගේ ආසාව ඉටු කිරීමට හැමවිටම උත්සාහ කරන බවත් අම්මා නිතර මට මැසිවිලි නඟමින් කියන්නට විය. මල්ලිගේ පරිසරය පිළිබඳ සොයා බැලීමේ ඇති කුතුහලයට අක්කාත් තාත්තාත් දම්සරට උදව් කළහ. මෙම තොරතුරු දම්සර පොත්පත්වලින් අසා දැනගත්තාට ඔහු සංසාරයෙන්ම අරන් ආපු මොනවදෝ දක්ෂතාවක්, හැකියාවක් ඔහුට තිබුණා කියලා මට බොහෝ වේලාවට හිතුණා. දම්සර දැනගන්නා මෙම තොරතුරු ඔහුට ගලේ කෙටූ ඉරක් මෙන් මතක තිබීම අපි හැමටම පුදුමයට කරුණක්.

 

විටෙක මට හිතුණේ ඔහු අනාගතේ යම් දවසක, දැනුමෙන් පෝෂණය වූ විශ්ව කෝෂයක් වන බවය. ගායනයට, නර්තනයට, ක්‍රීඩාවට එතරම් කැමැත්තක් නොදැක්වූ දම්සර පොත්පත්වල කරන සියලු ක්‍රියාකාරකම් ඉතා ආශාවෙන් හා කැමැත්තෙන් සිදුකරන දක්ෂ දරුවකු විය.

 

නමුත්, දම්සරගේ අම්මාට ඕනෙ වුණේ පිපාසයෙන් මෙන් දරුවා මේ සොයන තොරතුරු නැවැත්වීමටය. ඇය හැමවිට පැවසුවේ සාමාන්‍ය දරුවෙක් ලෙසින් නටලා, සින්දු කියලා, පන්තියේ දඟලලා පුතා ඉන්නවට තමා කැමැති බවය.

 

"දම්සරගේ අම්මා, ඔයා හිතන්නේ ඔයාගේ දරුවා සාමාන්‍ය දරුවෙක් නෙමෙයි කියල ද?" දිනක් මම බැරිම තැන දම්සරගේ අම්මගෙන් එහෙම ඇහුවා. ඇය හිතුවේ හැමවිටම තමන්ගේ දරුවා සාමාන්‍ය දරුවකුට වඩා වෙනස් කියලා. ඇගේ එම මානසිකත්වය මට තරහක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, විටෙක මට එය වධයක් ද වුණා.

 

හැම දරුවෙක්ම එක වගේ නෙවෙයි, එකිනෙකා කැමැති දේවල් ආස දේවල්, වෙනස් කියලා දම්සරගේ අම්මට මම පැහැදිලි කරපු වාර අනන්තයි. ඇතැම් වේලාවට මට හිතුණේ, ඇගේ මේ මානසික තත්ත්වය කොහෙන් අවසන් වේවි ද යන්නය. ඇතැම් අවස්ථාවල මට හිතෙනවා මවුපියන්ට සමහර දේවල් පැහැදිලි කරලා කියල දෙන එක කොයිතරම් නම් අපහසු වැඩක් ද කියලා.

 

දරුවන් විවිධය. විවිධ වූ විභව ශක්තීන්ගෙන් පැමිණෙන අපේ දරුවෝ මවුපියන්ගේ ජාන හරහා ලැබෙන ජීව විද්‍යාත්මක උරුමයන් මෙන්ම සංසාර උරුමයෙන් අරගෙන එන දක්ෂතා ද පෙන්වයි. අපි එය තේරුම් ගත යුතුය. හැම දරුවෙක්ම නටන්න, සිංදු කියන්න කැමැති නැත. ඒ ඒ දරුවන්ගේ කැමැත්ත එකිනෙකට වෙනස්ය. සමහර මවුපියන්ට මේවා කෙසේ නම් පැහැදිලි කරලා දෙන්න දැයි මට නොතේරේ. ළදරු අධ්‍යාපනය පිළිබඳ නිසි මඟපෙන්වූ "ජීන් ජැක් රූසෝ" නමැති දාර්ශනිකයා එක්තරා තැනකදී තැබූ සටහන මට මතක් වේ.

 

"ළමයා අධ්‍යාපනය ලබන්නේ, ස්වභාව ධර්මය හා භෞතික වස්තුන් ආශ්‍රයෙනි. එබැවින් ළමයාගේ ස්වභාවය, ආශාව හා ළැදියාවන් අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බව ඔහු සඳහන් කර ඇත"

 

විටෙක මට සිතෙන්නේ ඔහුගේ එම කියමන අනුව අපටත් ක්‍රියා කිරීමට හැකිනම් එය කොතෙක්දුරට සාර්ථක ද යන්නය. විවිධ වූ හැකියාවන් ඇති දරුවන් පිළිබඳ ගුරුවරුන් මෙන්ම මවුපියන් ද මනා ලෙස වටහා ගතහොත්, දරුවාගේ අනාගත මාවත නිවැරදි අරමුණක් කරා යන්නට ඔහුට උදව් කරන්නට මවුපියන්ට හැකි වනු ඇත. හැම විටම මවුපියන්ගේ ආශාවන් දරුවන් තුළින් ඉටු කර ගැනීමට නොහැකිය. බොහෝවිට සමාජය තුළ සිදුවන්නේ ද එයම වෙයි.නමුත් දරුවන්ගේ ශක්තීන් හා හැකියාවන් අපි අවබෝධ කරගෙන ඔවුන්ට ඒ සඳහා උදව් කළහොත් අනාගතයේ දවසක මේ රටට දාර්ශනිකයන්, විද්‍යාඥයන්, ගවේෂකයන් වැනි විශේෂඥ දැනුමෙන් පෝෂණය වූ පරපුරක් ලැබෙනු ඇත.

 

දම්සරගේ කතාවෙන් මට කීමට ඇත්තේ,

හැම දරුවෙක්ම නටන්න, සිංදු කියන්න, ක්‍රීඩා කරන්න, කැමැති නැති බවත් ඒ ඒ දරුවන්ට විශේෂ වූ හැකියාවන්, ආශාවන් ඇති බවත් මවුපියන් කැමති දේ දරුවන් ලවා කර ගැනීමට උත්සාහ කිරීම සුදුසු නොවන බවත්ය.

 ගුරු සිතක පොඩි මතක සමඟ මම නදීකා කරුණාරත්න