වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිවෙසේ තිබෙන මානසික වාතාවරණය දරුවාගේ ඉගෙනුමට ඉතා වැදගත්
ඔන්ලයින් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබා දීම ගැන සිසු සිසුවියන් මෙන්ම මව්පියන් ද දැන ගත යුතුම කරුණු ගැන කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පති තුමිය අද සිට ගෙන එන උපදෙස් මාලාව
නොසිතූ මොහොතක චීනයේ වුහාන් නගරයෙන් මතුවූ කොරෝනා වෛරසය ලෝකය පුරාම පැතිර ගියේ ඉතා වේගයෙනි. අපේ පුංචි දිවයිනටත් එයින් බැහැර වන්නට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ මුලින්ම කොරෝනා රෝගියකු වාර්තා වූයේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් රට පුරාම පැතිරී ගිය මේ වසංගත තත්ත්වය නිසා අද වනවිට අපේ මුළු සමාජයම අකර්මණ්‍ය බවට පත්වෙලා.
බාල, මහලු, තරුණ, වැඩිහිටි සේම උගත්, නූගත්, දුප්පත්, පොහොසත් කිසිදු භේදයකින් තොරව රටේ සෑම පුරවැසියකුටම බලපෑ මේ කොරෝනා ව්‍යසනය හමුවේ වැඩි වශයෙන්ම පීඩාවට පත්වුණේ අපගේ පාසල් දරුවන්.
හිමිදිරියේ අවදිව, පාසල් ගොසින් යාළු මිත්‍රයන් සමඟ රණ්ඩු වෙවී යාළු වෙවී ඉතාමත් කෙළිදෙලෙන් කාලය ගතකළ මේ දරුවන් පන්ති කාමරයේ දී ක්‍රමවත් අධ්‍යාපනයකට හුරු වී සිටියා. නමුත් කොරෝනා ව්‍යසනය හමුවේ පාසල් වැසී යාමත් සමඟම දරුවන්ගේ මේ ක්‍රියාකාරකම් සියල්ල උඩුයටිකුරු වූ අතර අකැමැත්තෙන් වුවත් දරුවන්ට මාර්ගගත ක්‍රමයට (online ) අධ්‍යාපනය ලබා ගන්නට සිදු වූවා.
ඉතින් මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන අතරතුරේ ගම්බද දරුවන්ට මෙන්ම නගරබද දරුවන්ට ද විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සිදු වුණා. එහෙත් මේ ක්‍රමය තුළ අසාර්ථක තත්ත්ව සහ අඩුපාඩු කොතෙක් තිබුණත් නිවෙසට කොටු වී සිටින දරුවන්ට කෙසේ හෝ අධ්‍යාපනය ලබා දෙන්නට රජය, විදුහල්පතිවරුන් සේම ගුරුවරුන් දැඩි වෙහෙස මහන්සියක් සේම මහා පරිශ්‍රමයක් දරනවා.
දැන් අප මේ මුහුණ දෙමින් සිටින්නේ තෙවැනි කොරෝනා රැල්ලටයි. තව කොතෙක් නම් රැලි එයි ද? ඒ හමුවේ කොතකුත් කාලයක් කටයුතු කළයුතුදැයි කිසිවකුටත් පැවසිය නොහැකිය. ඒ නිසා දැයේ අනාගත පරපුර වූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නට, ඔවුන් නිසි මාර්ගයේ රැගෙන යන්නට ගුරුවරුන්ට සේම මව්පියන්ට ද ඇති වගකීම පිළිබඳ කතා කළයුතුමයි.
එබැවින් මේ කතාබහට අපේ රටේ ප්‍රධානතම බාලිකා පාසලක් වන කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල මැතිණියට අපි ආරාධනා කළෙමු.
වර්තමානයේ පවතින කොරෝනා වසංගතය හමුවේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වසරක පමණ සිට නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ඒ පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රය පැත්තෙන් ගත හැකි පියවරයන් පිළිබඳ අප පළමුව කතාබහට ලක් කරමු.
‘‘ දැනට වසරකට වැඩි කාලයක සිට අපේ දරුවන් සිය ඉගෙනුම් අත්දැකීම් ලබාගන්නේ හුරුපුරුදු පන්ති කාමරය,
සම වයසේ තම යහළු යෙහෙළියන්, පාසල් වටපිටාව ඇතුළු පාසල් පරිසරය භෞතිකව සම්පූර්ණයෙන්ම ඈත්වුණු පරිසරයක සිටයි. අද වන විටත් මේ ක්‍රියාවලිය සඳහා අප නැවත නැවතත් හැඩගැසෙමිනුයි සිටින්නේ. මාර්ගගත අධ්‍යාපනය (Online Education)
ශිෂ්‍යයාටත් ගුරුවරයාටත් දෙදෙනාටම අලුත් අත්දැකීමක් වගේම අභියෝගයකි.
මතු වූ වසංගත තත්ත්වයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේත් විවිධ වෙනස්වීම්, නවීකරණයන් සිදුවිය යුතු බව පොදු අදහසයි.
නමුත් දිවයිනේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ආවරණය වන පරිදි එම වෙනස්වීම් සිදු කිරීම අතිශය වැදගත්. මේ සඳහා නිවෙසේ හුදෙකලා පරිසරයක සිටින දරුවාට හුරු පුරුදු පාසල් අත්දැකීම හැකිතාක් දුරට ළංකර දීම තමයි මූලික අරමුණ විය යුත්තේ.
මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ අධ්‍යාපනය මේ වෙනස්කම්වල අඩිතාලම ලෙස හැඳින්විය හැකියි. නමුත් මේවා තවදුරටත් සංවර්ධනය විය යුතුයි. "
මේ වනවිට ඔබතුමියගේ පාසලවන විශාඛා විද්‍යාලය තුළත් මේ මාර්ගගත අධ්‍යාපනය සිදුවෙනවා ඇති. ඒ ක්‍රියාපිළිවෙත පිළිබඳ සඳහන් කළහොත්.
" පාසලක් ලෙස විශාඛා විද්‍යාලය මාර්ගගත අධ්‍යාපන කටයුතු මුලින්ම ආරම්භ කළා. ප්‍රථමයෙන්ම ජාතික විභාග අභිමුඛව සිටි ශ්‍රේණිවලට සුවිශේෂීව ඒවා ක්‍රියාත්මක කළා. ඒ වාගේම ඉතා කෙටි කාලයකින් පාසලේ සියලුම ශ්‍රේණි මාර්ගගත අධ්‍යාපනය භාවිතයෙන් ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කරන්නට අපට හැකි වුණා. මේ වෙලාවේ ඒ වෙනුවෙන් ඇප කැප වූ ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනා අගය කරන්න කැමැතියි. අද වනවිට සියලුම ගුරුභවතුන්, ශිෂ්‍යාවන් මේ සඳහා සම්පූර්ණයෙන් හැඩගැසී අවසන්. අප පාසලේ ඉදිරි අපේක්ෂාව තමයි දරුවන්ගේ ඇගයීම් කටයුතුත් මෙලෙසටම සිදු කිරීම. විශේෂයෙන් සඳහන් කළයුතු කාර්යය තමයි මාර්ගගත අධ්‍යාපන වැඩ
පිළිවෙළ සඳහා සහභාගී වීමට නොහැකි වන ශිෂ්‍යාවන් හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත් අප පාසල පියවර ගෙන තිබෙනවා. එමනිසා පාසලක් ලෙස විශාඛා විද්‍යාලයේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය හරහා සමස්ත විශාඛා දියණියන් ආවරණයවන බව මාගේ විශ්වාසයයි."
ඔබතුමිය දකින ආකාරයට මේ වැඩපිළිවෙළ තුළ මව්පියන්ගේ කාර්යභාරය කෙසේ විය යුතු ද?
" මව්පියන්ගේ ඒ කියන්නෙ මවගේ සහ පියාගේ මූලික කාර්යභාරය තමයි දරුවාට මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම. මෙහිදී පහසුකම් යනුවෙන් අප සිතන්නේ ස්මාට් ජංගම දුරකතන, ටැබ්, ලැප්ටොප්, පරිගණක වැනි කුමන ආකාරයක හෝ device සමඟ අන්තර්ජාල සම්බන්ධතා පමණක් කියලා. නමුත් මව්පියන් වැඩි වැදගත්කමක් දිය යුතු දේ තමයි දුවට, පුතාට හොඳ මානසික පරිසරයක් සලසා දෙන එක. එවිටයි හොඳ ඉගෙනුම් වාතාවරණයක් බිහිවෙන්නේ."
විශේෂයෙන්ම මෙහිදී මවක සතු කාර්යයන් වගේම දරුවන් හසුරුවා ගැනීම පිළිබඳවත් අපි කතා කරමු.
ඒ පිළිබඳ නම් අපට බොහෝ දේ සඳහන් කළ හැකියි.
මේ වනවිට දරුවාට හුරුපුරුදු පන්ති කාමර පරිසරයෙන් භෞතිකව ඈත්වයි සිටින්නේ.
ඒ වාගේම පන්තියේ දී නියමිත කාල සටහනකට අනුව භෞතික වූ ගුරු සිසු මනා අන්තර්ක්‍රියා සමඟ ගොඩනගාගත් හොඳ ඉගෙනුම් පරිසරයෙන් බැහැර වීම යන හේතු නිසා නිවෙසේ දී අපි සලසන මානසික වාතාවරණය දරුවාට ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ වෙනස්වීම්වලට අනුගත වෙලා සාර්ථකව ඉගෙනුම සිදු කරන්නට දරුවා තුළ හොඳ අභ්‍යන්තර පෙළඹවීමක් ගොඩ නැගිය යුතුයි. ඒ සඳහා දරුවාට වඩාත් සමීප මව වාගේම පියාට කළ හැකි දේ බොහොමයි.
පිළිබඳව ලබන සතියේ කතා කරමු