දරුවන්ගේ ජීවිත ජංජාල කරන අන්තර්ජාල

ඔක්තෝබර් 20, 2021

වර්තමානයේ බොහෝ මව්වරුන්නට දොයි දොයි දොයිය පුතේ කීමට අවස්ථාවක් නැත. ඔවුනට සිදුව ඇත්තේ " මම ඉන්නේ මුහුණු පොතේ " කීමට පමණි. කුඩා බිලිඳු දරුවකුගේ මව කිරි පොවන්නේ මුහුණු පොතේ ඇති ඕපාදූප මල්ල ලිහා බලමිනි.

ඒවාට තමන්ගේ වචනවලින් ලුණු ඇඹුල් එක් කරමිනි. අත දරුවා මවගේ දෙනෙත් තමන් වෙත යොමුකර ගැනීමට අහිංසක අරගලයක නිහඬව යෙදී සිටියි. මවට දෙදෙනාගේ දෑස් අතර ගොඩනැඟෙන ආදරණීය සන්නිවේදනයේ කිසිදු වටිනාකමක් නැත. මද්දුම දරුවා පුංචි තිරය ඉදිරියේ නැලවෙන්නට තබාය. එසේ කර තිබෙන්නේත් මවගේත් අත්තම්මාගේත් ගැලවිජ්ජාවටය. පවුලේ වැඩිමලා අත්තම්මා / "ග්‍රෑන්ඩ්මා" වටේ දැවටෙන්නේ අඩ පැයක පමණ සිටය.

‘‘ග්‍රෑන්ඩ්මා ඉර පායන්නේ මොන පැත්තෙන්ද?‘‘

අත්තම්මා ස්මාට් ෆෝනයෙන් දෑස් ඉවතට ගත්තේ නුරුස්නා බැල්මක් මුනුබුරා වෙත හෙළමිනි.

" නෙට් එකේ ගහලා බලන්න පුතා. " ගමේ වෙල් ඉපනැල්ලේ දුව පැන හැදුණු දැන් ග්‍රෑන්ඩ්මා වී සිටින අත්තම්මාගෙන් ලැබුණේ එවන් පිළිතුරකි.

විසිවැනි සියවසේ අග බාගයේ සිට බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන්නේ මෙවන් වාතාවරණයකි. එසේ තිබියදී කෝවිඩ් - 19 වසංගතය නිසා මාර්ගගත ( ඔන්ලයින් ) අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීමේ හේතුවෙන් නිවෙසේ ස්මාට්ෆෝනයක් නැති මාපියන්ට පවා කුලී වැඩකර හෝ දරුවාට / දරුවන්ට ජංගම දුරකථන ලබා දීමට සිදුවිය. අවාසනාවකට අපේ සමහර මාපියන් ස්මාට්ෆෝනයේ නැති දෙයක් නැති බව නො දන්නා පිරිසකි. ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගැනීමට තරම්වත් දැනුමක් නො මැති මව්පියෝ ද සිටිති. එසේ තිබියදී ජංගම දුරකථන දරුවන් අතට පත් වීම වඳුරාට දැලි පිහියක් ලැබුණා හා සමාන අත්දැකීමක් වී තිබේ. මාර්ගගත අධ්‍යාපනය කෙසේ වෙතත් අතට ලැබුණු අපූරු මෙවලමෙන් මේ වන විට සෙල්ලම ලෙල්ලම කරගත්තන් බො‍හෝය. ජීවිතය අහිමි කරගත් දරුවන්, ජීවිතය අහිමිකර නො ගත්තත් චරිතය විනාශකර ගත් දූවරුන්, මතට මෙන්ම පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරු දැරියන් ඒ අතර සිටියි.

ජංගම දුරකථනය යනු ලෝකයක් තුළ සැඟවුණු අනන්තවූ ලෝක සමුදායකි. මේ ලෝකයේ දෙවිවරුන්ට වඩා සිටින්නේ යක්ෂයන්ය. දිව්‍ය ලෝකවලට වඩා තිබෙන්නේ අපායන්ය. බුද්ධිමත් ලෙස තීරණ ගැනීමේ හැකියාවක් නැති ළමා හා නව යෞවන යෞවනියන්ට දෙවියන් හා යක්ෂයන් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් නැත. දරුවන්ගේ අධ්‍යාත්මය, ආගමික පරිසරයෙන් අවදි නොකර විභාග ප්‍රතිඵල පස්සේ පමණක් දිවවීමේ වරද ද දරුවන් ගේ තීරණ ගැනීමේ හැකියාව තව දුරටත් දුර්වලකර තිබෙයි. එසේ තිබියදී දරුවා නළවන්නත් බෝනික්කකු හෝ වෙනත් සෙල්ලම් බඩුවක් වෙනුවට ජංගම දුරකථනයක් අත තැබීම දරුවාට සියතින්ම වස කැවීම හා සමානය.

මනෝ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ දරුවන් ගේ තිර කාලය හැකි තරම් සීමා කළ යුතු බවය.

*මොකක්ද මේ තිර කාලය (ස්ක්‍රීන් ටයිම් )?

දරුවන් ජංගම දුරකථනයේ, රූපවාහිනියේ, පරිගණකයේ, ටැබ්වල ගතකරන කාලය තිර කාලය යනුවෙන් හඳුන්වයි. වයස අවුරුදු දෙක වන තුරු දරුවකුට රූපවාහිනී යන්ත්‍රයවත් නැරැඹීමට ඉඩ දීම සුදුසු නැහැ. එහෙත් අපේ සමහර අම්මලා දරුවන්ට බත් කවන්නේ රූපවාහිනී යන්ත්‍රයේ පෙන්වන කුමන හෝ වැඩ සටහනක් පෙන්වමින් දරුවා රවට්ටමින්. ස්මාට් ෆෝනයෙන් බහතෝරන පොඩ්ඩා පවසන වදන් මවට පියාට හුරතලයක්.

පෙර පාසල් වයසේ දරුවකුට දිනකට පැයකට වඩා රූපවාහිනිය නැරැඹීම සුදුසු නැහැ. වයස අවුරුදු පහේ සිට වයස අවුරුදු 18 දක්වා ම දරුවන්ගේ තිර කාලය ගැන ඔවුන්ගේ අධ්‍යාපනය ගැන වගේම මාපියන් විමසිලිමත් වන්න ඕනෑ.

වයස අවුරුදු දොළහ පසුවන තුරු අතේ තබාගෙන භාවිත කරන තිර සහිත උපකරණ (ටැබ්, ජංගම දුරකථන යනාදිය) දරුවන්ට නො දෙන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශකර තිබෙනවා. ඒ වාගේම වයස අවුරුදු දහතුනට අඩු දරුවන්ව ප්‍රචණ්ඩත්වය, හිංසාව දැක්වෙන වැඩ සටහන් නැරැඹීමෙන් වළක්වා ගන්න ඕනෑ. ඒ වයසසේ දරුවන් ට වීඩියෝ ක්‍රීඩාවල යෙදීමට ඉඩ නො දීමත් ඉතා වැදගත්.

 

*මාර්ගගත අධ්‍යාපනය නිසා ජංගම දුරකථන ලැබීමෙන් වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන දරුවන්‍ ගේ ගණන වැඩි වෙලා. දරුවන් ඉගෙන නො ගෙන දවස පුරාම වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන බව පවසමින් මනෝ වෛද්‍යවරුන් කරා දරුවන් රැගෙන යන මාපියන් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බවට වාර්තා වෙනවා. කෝවිඩ් වාගේම වීඩියෝ ක්‍රීඩා ව්‍යසනයක් බවට පත් වෙලා.

වීඩියෝ ක්‍රීඩාවලට දරුවන් මෙතරම් ඇබ්බැහි වන්නේ කොහොමද ?

මාර්ගගත අධ්‍යාපනය නිසා වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වන දරුවන් ගේ ගණන සීග්‍ර ලෙස වැඩි වුණත් මෙය දිනෙන් දින දරුවන් අතර වැඩි වෙමින් තිබුණු ප්‍රශ්නයක්. වයස අවුරුදු අට වගේ බාල වයස්වල දරුවන් ද ඇබ්බැහි වූවන් අතර සිටිනවා.පාසල් නොයා, මිතුරන් හා සෙල්ලම් නො කර ගත කරන මේ වකවානුව දරුවන්ට ඉතා අසහනකාරී කාල පරිච්ඡේදයක්. මෙවැනි කාලයක වීඩියෝ ක්‍රීඩාවල යෙදීම වරදක් ලෙස බැලූ බැල්මට නම් පේන්නේ නැහැ. ඒත් දරුවා යෙදෙන වීඩියෝ ක්‍රීඩාව අනුව ඊට ඇබ්බැහි වීම අනුව වැරැද්දක් ද නැද්ද කියන එක තීරණය වෙනවා. සමහර වීඩියෝ ක්‍රීඩා නිර්මාණයකර තිබෙන්නේ දරුවන් දැඩි ලෙස ඇබ්බැහි වන අයුරින්. දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද ඇබ්බැහිවන ලෙසින්.වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කර තිබෙන්නෙත් මනෝ වෛද්‍යවරුන්මයි. ක්‍රීඩාවේ යෙදෙන්නාට පියවරෙන් පියවරට ඉදිරියට යාමේදී සතුටක් දැනෙනවා. මොළයේ සතුට ගෙනෙන පද්ධතීන් උත්තේජනය වී සතුට ලබාදෙන ඩොපර්මින් හෝර්මෝනය වැඩිපුර නිපදවෙනවා.

 

 

 

දරුවන් මේ තත්ත්වයට පත් වන්නේ මාපියන්ගේ වරදින් ද? ඔවුන් සම්පූර්ණයෙන් ම වීඩියෝ ක්‍රීඩාවලින් ඈත් කළ යුතුද ? ලබන සතියේ ඒ පිළිබඳව දැනුවත් වෙමු.

 

 

උපදෙස් - ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ

රූමි රූබන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.