Saturday, February 14, 2026
Epaper
Home නවකතාවඔයා ගැන තමා තිස්සෙම හිත හිතා වද වෙන්නෙ

ඔයා ගැන තමා තිස්සෙම හිත හිතා වද වෙන්නෙ

by Shanaka Lakehouse

අම්මා පන්නිපිටිය නර්සිංහෝම් එකට ඇතුළු කළ බව කියා අක්කාගෙන් ඇමතුමක් ලැබෙන විට නිගූ ඉන්නේ අයිකොනික් අයි බරාඳයේ බර සාකච්ඡාවකයි.

ඔහු සියල්ල අතරමඟ නවතා ඉක්මනින්ම පිටත් වෙයි. තරප්පු පේළිය වෙත දිව එන වේගයට මාරියා විසින් රැගෙන එන කෝපි බන්දේසිය නොවැටී බේරා ගන්නේ අනූනවයෙනි. රථයට නැඟ අක්කාට යළි ඇමතුමක් ගන්නට උත්සාහ කළද අක්කා ආන්සවර් නොකරයි. අම්මා දියවැඩියාවටත්, අධි රුධිර පීඩනයටත් බෙහෙත් බොමින් සිටින බව නිගූ දනියි. අම්මා නිතර නිතර ක්ලාන්ත වීම නිසා තම මිතුරු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවාගෙන ඔහු විසින්ම නියම කරන ලද වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගන්නට ද පුරුදුව සිටියි. අවසන් වරට අක්කා මුණගැසුණු මොහොතේ අම්මාට බෙහෙත් අරන් දීම සඳහා වෛද්‍යවරයා හමු වූ අවස්ථාවේ ඔහු කියා තිබුණු දෙය අක්කා නිගූට පවසන්නේ නෝක්කාඩුවක් ද මුසු කරමිනි.

” මල්ලි ඔන්න මේ පාරනම් ඩොක්ටර් සෑහෙන්න බැණ්නා අම්මට.. එක එක දේවල් හිතල ස්ට්‍රෙස් වැඩිකර ගත්තොත් මෙයාට ලෙඩේ පාලනය කරගන්න වෙන්නෑ කිවුවා.. ඔයා ගැන තමා ඉතින් මෙයා තිස්සෙම හිත හිතා වද වෙන්නෙ..”

ටවුන් හෝල් පසුකරන්නට පෙර නිගූට අක්කාගෙන් යළි ඇමතුමක් ලැබෙයි. අක්කාගේ කටහඬ හැඬුම්බරයි. වෙවුලයි.

” අනේ මල්ලී අම්මාව ප්‍රයිවට් තියාගන්න බෑ කියලා ජෙනරල් හොස්පිට්ල් ගෙනියන්න කිවුවා.. දැන් එයාලගෙම එහෙක අම්මාව ගෙනිච්චා.”

ජෙනරල් හොස්පිට්ල් එකට හරවන්නේ කොතැනින්ද කියාවත් නිගූට සිතා ගත නොහැකි වෙයි. වාහනයේ ඒ සී දමා තිබුණත් ඔහුට දාඩිය දමයි. අත වෙවුලයි.

නිගූ ඉස්පිරිතාලයට යන විට අයියා ද ඇවිත් සිටියි. අම්මා අයි සී යූ දැමූ බව දැන ගත් පසු නිගූට ද ක්ලාන්ත ගතියක් දැනෙයි. නිගූ එතැනම ඇති බංකුවක වාඩි වෙයි. ඔහු ආයාසයෙන් විරාජ්ට ඇමතුමක් ගන්නේ තමාට වාහනයවත් එළවා ගැනීමට අපහසු බව වැටහුණු නිසාවෙනි. අක්කා ද අම්මාගේ සමීපතම යෙහෙළියක වන පද්මා ඇන්ටී ද අයි සී යූ එක ඉස්සරහට වී බලා සිටිති. අයියා දන්නා හඳුනන දොස්තර කෙනකුට ඇමතුමක් ගැනීමට උත්සාහ කරමින් සිටියි. නිගූට නම් කළ යුත්තේ කුමක්ද කියාවත් සිතා ගත නොහැකියි. නිගූ නැඟිට අක්කා ළඟට වෙයි. අක්කා මුමුනයි.

” මං ඉස්කෝලේ ඇරිලා ආවා විතරයි.. අම්මට තද ක්ලාන්තයක් ඇල්ලුවා මල්ලී.. අම්මා වෙනදට උදේ ඇහැරලා උයනවනෙ..අද නැඟිට්ටෙත් දවල් වෙලා.. මං බෙහෙත් ටික ළඟින් තියලමයි ගියෙත්.. ඔයා එදා ඇවිත් ගිය වෙලේ ඉඳලා එයා කල්පනා කරනවා..ඇටෑක් එකක් ඇවිත් කියලා තමා පන්නිපිටියෙන් කිවුවෙ.. දෙවැනි එකක් එන්න ඉඩ තියෙනවා කියල තමා මෙහෙ එවුවෙ”

අයි සී යූ දොර මඳකට විවරව මතු වුණු මැදිවියේ හෙදියක් කතා කරයි.

” දැන් ගෙනාපු ලෙඩාගේ කවුරුවත් ඉන්නවද?” අක්කා යන්ත්‍රයකින් පණ ගැන් වූ සේ එතෙන්ට විසි වෙයි. ඇරුණු දොරෙන් ඔවුන් එතුළට පිවිසෙන විට වෙන්ටිලේටර් සවි කර ඇති අම්මා නිදා සිටිනු නිගූ දකියි. අම්මාගේ මුහුණ නොපෙනෙයි. අම්මා එලෙස සිටිනු දකින්නට ඔහු අකැමැතියි. පසෙකට වී බලා සිටිනු හැරෙන්නට කළ හැකි දෙයක් නොමැතිව නිගූට මහත් අසරණකමක් දැනෙයි. අම්මා ළඟට යා යුතු යැයි ඔහුට සිතෙයි. සපත්තු ගලවා අවසරයක් නොමැතිවම ඔහු ඇතුළට පිවිසෙයි. එක්වර දකින්නට ලැබෙන දෙයින් වික්ෂිප්තව එක තැන ගල් ගැසී බලා සිටියි. තරුණ වෛද්‍යවරියක් සහ තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක් ද හෙදියෝ ද අම්මා වට කර ගෙන සිටිති. තරුණ වෛද්‍යවරයෙක් අම්මාගේ පපුවට අත් දෙකෙන් වැරෙන් බර දී තද කරනු පෙනෙයි. ඒ බර අම්මාගේ පපුවට ඉහිලිය හැකි දැයි බියක් නිගූට දැනෙයි. අනිත් අය වරින් වර ඊසීජී යන්ත්‍රය දෙසත් අම්මා දෙසත් බලති. අක්කා, අයියාට වත්තන් වී සිටිනු පෙනෙයි. සියල්ල බොඳ වී අවට හඬවල් ද නෑසී යමින් තිබෙයි. විරාජ් ළඟට විත් නිගූව වත්තම් කර ගනියි.

අම්මාගේ අවමඟුල පාලර් එකක ගැනීමට අක්කාත්, අයියාත් ගත් තීරණයට නිගූ එකඟ වෙයි. සුදු සාරියකින් සැරසී මඳ සිනහවක් නංවා ගත් මුවින් උඩුකුරුව සිටින අම්මා දෙස නිගූ බලා සිටියේ හොඳ සිහියෙන් නොවෙයි. ආව ගිය බොහෝ නෑදෑයින් ද මිතුරන් ද සමඟ තමා හරි හැටි කතා කළා ද වත් නිගූට මතකයක් නැත.

සාරා දේහය ළඟට විත් බොහෝ වේලාවක් අත්තම්මාගේ මුහුණ දෙස බලා සිට කාංචනාට තුරුලුව මුහුණ සඟවාගෙන ඉකිබිඳියි. කාංචනාගේ ඇස්වල තම නැන්දම්මා වෙනුවෙන් තෙතක් ඉතිරි වී නැත. ඈ සාරා වත්තම් කරගෙනම අසල සෝෆාවක පතිත වෙයි. පසුව ඈ සාරදා සමඟ සංලාපයක සිටිනු පෙනෙයි.

අසෙනි අම්මාගේ අවමඟුලට පැමිණි මොහොත නිගූ තම ජීවිතයේ පුපුරන්නට තරම් හැඟුම්බර වූ මොහොතකි. තමා තුළ පුපුරා හැලෙන ඒ වේදනාත්මක හැඟුමාවලිය ලොවින් සඟවා හද තුළම නිදන් කර තබන්නට සිදු වීම ඊටත් වඩා පීඩාවකි. ආතතියකි. අසෙනි හැඟුම් විරහිත මුහුණින් අම්මා දෙස බලා හිඳ ටිෂූ එකකින් ඇසග පිස ගනියි. නහය බර වී තිබෙයි. යමක් අසන්නට හෝ කියන්නට උත්සාහ කළත් යළි මුවගුළු වැටෙයි. නිගූ විපිළිසරයි. ගොළුයි. නිහඬයි.

අම්මා හැමදාමත් තමාගේ සතුට ගැන හිතූ බවත්, වේදනාවෙන් පලා ගොස් සතුට ඇති තැනක රැඳෙන්නට අනුබල දුන් බවත්, නිගූ අසෙනිට නොයෙක් විට කියා තිබෙයි. ඔහු අම්මා වෙතින් අසෙනි පිළිබඳ අපේක්ෂා කළේ සුබවාදී ප්‍රතිචාරයකි. අම්මා තමාට නිතර කියූ දෙයක් අම්මාගේ මුහුණ බලාගෙන නිගූ සිහි කරයි.

” පුතේ ඔයා කල්පනා කරන්න ඕනෙ ඔයාගේ සතුට තියෙන්නෙ කොතැනද කියන එක විතරයි… ඉතින් ඔයා මට කියන්නෑනෙ ඔයාගේ සතුට තියෙන්නෙ කොතැනද කියලා.”

අම්මා එසේ කීවද අසෙනි ගැන තමා අම්මා සමඟ කියූ අවස්ථාවේදී ඈ පැවසූයේ වෙනත් දෙයකි. අම්මාගේ දේහය බොරැල්ල පාලර් එකක තිබියදී නිගූ අයිකොනික් අයි බරාඳයේ මිතුරන් කිහිප දෙනකු සමඟ රැය පහන් කරමින් සිටියදී සෝෆාව මතම නින්ද ගොස් එක්වරම ඇහැරෙන්නේ අම්මාගේ කටහඬ ඇසී ඇති වන තිගැස්මකිනි.

“ඔය ඔක්කොටොම වඩා හොඳ දේ ආපහු ගෙදර ගිහින් පාඩුවේ ළමයගේ වැඩ ටිකත් බලන් හිටියනම් කියන එකයි මම නම් හිතන්නෙ.. ඒක කරන්න පුළුවන්ද බැරිද කියල දන්නෙ ඔයා තමා .. ඕන්නම් ටික දවසකට මාත් ඇවිත් ඉන්නම්..ගෑනියි මිනිහයි පස්සෙන් පහු නොගැළපීම් මතුකරන් වෛර පිරිමහගන්ඩ හැදුවට ළමයි පළි නෑනෙ.. ”

තමා හැර වෙනත් ගැහැනියක තුළ තම පුතුගේ සතුට ඇතැයි සිතන්නට සන්ධ්‍යා වනිගසුන්දර අසමත් වෙයි. ඈ සුරලොව සිට තම පුතුගේ ආශා ලතාවේ මල් පිපෙනු බලා දුර සිට සතුටු වනු ඇත්ද? නොඑසේ නම් තම පුතුගේ ආශාවේ දිශාව පෙන්වන්නට සුරලොව සිටද ඒ අතට මේ අතට අත දිගු කරනු ඇත්ද ? මේ කිසිවක වගක් නැතිව සන්ධ්‍යා වනිගසුන්දර සුවදායී නින්දක ගැලී සිටියි.

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?