Monday, April 20, 2026
Epaper
Home පුවත්තරුණී අබිසෙස් ලැබූ කුමරා සහ කුමරිය

තරුණී අබිසෙස් ලැබූ කුමරා සහ කුමරිය

by Shanaka Lakehouse

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු හුදෙක් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පමණක් නොව, එය හෙළ අනන්‍යතාව, සංස්කෘතික උරුමය සහ තාරුණ්‍යයේ ජීවගුණය මැනවින් කියාපාන ජාතික මංගල්‍යයකි. කොවුල් නද දසත පැතිරෙද්දී, එරබදු මල් රතට පිපී ලොවට වසන්තය උදා කරන යාමයේ, හෙළ තරුණ තරුණියන්ගේ රූප ශෝභාව සහ සහජ කුසලතාවන් අභිෂේක ගන්වන කදිම වේදිකාවක් වූයේ “ලිය අභිමානී අවුරුදු කුමරා කුමරිය 2026” තරගාවලියයි.

ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා ලංකා කුමාරි සුමනසේකර මහත්මියගේ සංකල්පයකට අනුව මෙවර තෙවන වරටත් පැවැත්වුණු මෙම මහා කලා මංගල්‍යය, “තරුණී” පුවත්පතේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන් ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුව ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත අයදුම්කරුවන් අතරින් පෙර හුදෙක් සිහිනයක් පමණක් වූ කලා ලොවේ කිරුළ දිනා ගැනීමට සමත් වූ ඒ අබිමන් තරු දෙපළගේ සැබෑ හදගැස්ම සොයා අපි ගියෙමු.

මෙවර “ලිය අභිමානී තරුණී අවුරුදු කුමරිය” ලෙස අතිශය තරගකාරී වට රැසකින් පසුව කිරුළු පැලඳීමට සමත් වූයේ පාණදුර කළුදෑවල ප්‍රදේශයෙන් පැමිණි පුල්මි තිහාරා ය. 18 හැවිරිදි වියේ පසුවන ඇය, වසන්තයේ පිපුණු සොඳුරු මලක් මෙන් නිහතමානී සිනහවකින් යුතුව සිය ජයග්‍රාහී හැඟීම් අප සමඟ බෙදා ගත්තාය.

“මේ ජයග්‍රහණය මට හීනයක් වගේ. ඇත්තටම මම මේ තරගයට ආවේ ජයග්‍රහණයම බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම පුංචි කාලේ ඉඳලම නිරූපණ ක්ෂේත්‍රයට සහ රංගනයට දැඩි ළැදියාවක් දැක්වූවා. ඒ නිසා මට ඕන වුණේ මේ තරගය හරහා ලැබෙන අත්දැකීම සහ වෘත්තීය පුහුණුව ලබාගන්නයි. ඒත් අද මගේ හිස මත මේ පැලඳි කිරුළ මගේ මුළු ජීවිතයටම ලොකු වටිනාකමක් එකතු කරලා තියෙනවා,” පුල්මි පවසයි.

පුල්මිගේ මෙම ගමනේ පන්නරය සහ ශක්තිය ඇගේ ආදරණීය මෑණියන්ය. “මගේ අම්මා රසිකා වරුනි පෙරේරා තමයි මාව මේ තරගය වෙනුවෙන් නිරන්තරයෙන්ම දිරිගැන්වූයේ. ඇය මගේ දක්ෂතා විශ්වාස කළා. ඒ වගේම විදේශගතව සේවය කරන මගේ තාත්තා තුසිත ප්‍රගීත් මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරන්න ඕනේ. මගේ පවුලේ අයියා සහ අක්කාත් මගේ ළඟින්ම ඉඳන් මට ධෛර්යය ලබා දුන්නා.”

විශේෂත්වය වන්නේ තිහාරා සමඟ ඇගේ වැඩිමහල් සොයුරිය වන 23 හැවිරිදි තිසාක්යා තුල්මන්ති ද මෙම තරගාවලියට ඉදිරිපත් වී ජයග්‍රහණයක් හිමිකර ගැනීමයි. තිසාක්යා මාලඹේ SLIIT ආයතනයේ උසස් අධ්‍යාපනය ලබන අතර, සොයුරියන් දෙදෙනාම එකම වේදිකාවක ජයග්‍රාහිකාවන් වීම ඔවුන්ගේ පවුලට මහත් ආඩම්බරයකි.

පාණදුර අගමැති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පුල්මි තිහාරා, පාසල් සමයේ පටන්ම කලා කටයුතුවල නිරත වූවාය. උසස් පෙළ සඳහා නාට්‍ය හා රංග කලාව හැදෑරීමත්, පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කිරීමත් නිසා ඇය සතුව සහජ වේදිකා හැකියාවක් පැවතිණි. “වාසනා මිස්ගෙන් ලැබුණු වේදිකා ගමන් පුහුණුව (Catwalk) සහ තරංග සර්ගෙන් ලැබුණු නර්තන පුහුණුව මගේ මේ ජයග්‍රහණයට රුකුලක් වුණා. මගේ අනාගත බලාපොරොත්තුව දක්ෂ රංගන ශිල්පිනියක සහ නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරියට යමින් අපේ රටට කීර්තියක් ගෙන ඒමයි.”

“ලිය අභිමානී” තරගාවලියේ තවත් සුවිශේෂී සහ උණුසුම්ම අංගයක් වූයේ අවුරුදු කුමරා තරගයයි. එහිදී ප්‍රබල තරගකරුවන් රැසක් පරදවමින් 2026 අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ වේයන්ගොඩ පදිංචි කේතක මුදලන්නායකයි. 27 වන වියේ පසුවන ඔහු, පෞරුෂයෙන් මෙන්ම බුද්ධියෙන් ද පිරිපුන් තරුණයෙකි.

“මම වෘත්තීය මට්ටමේ තරගයකින් ජයග්‍රහණයක් ලබන්න කාලයක ඉඳන් සිහින දැක්කා. අද ඒ සිහිනය සැබෑ වෙලා. ඇත්තටම මේ තරගයට මාව ඉදිරිපත් කළේ සහ මගේ පිටුපසින් ඉඳන් මට ලොකුම ශක්තිය වුණේ දිනේෂ් අයියා. ඔහු තරගයේ මුල සිට අග දක්වාම මාව පුදුමාකාර විදිහට දිරිමත් කළා,” කේතක මහත් සතුටින් පවසයි. කේතකගේ පියා වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවය කරන අතර මව, විවාහක වැඩිමහල් සොයුරා සහ සොයුරිය ඔහුට නිරන්තරයෙන්ම ආශීර්වාද කරන්නෝ වෙති.

“මගේ වෘත්තීය ජීවිතය පැත්තෙන් මම ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනයේ මෙහෙයුම් නිලධාරියෙකු ලෙස සේවයට එක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගමන අතරතුරම මම ගොඩක් ආදරය කරන රංගනය සහ නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මම හිතාගෙන ඉන්නවා.”

කේතක පවසන පරිදි මෙම තරගාවලිය හුදෙක් ජයග්‍රහණයකට එහා ගිය ජීවිත පාඩම් ඉගැන්වූ තැනකි. “විශේෂයෙන්ම ඉදිරිපත් කිරීම සහ පෞරුෂත්ව වර්ධනය පිළිබඳව ලැබුණු දැනුම හරිම වටිනවා. විනිශ්චය මණ්ඩලය සමඟ සහ අනෙකුත් තරගකරුවන් සමඟ සුහදව කටයුතු කිරීමෙන් අපට ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණා. රූපවාහිනී නාළිකාවක නිවේදන කටයුතු කිරීම මගේ ලොකුම ආසාවක්. මම හිතනවා මේ අවස්ථාව ඒ සඳහා ලැබුණු හොඳම ප්‍රවේශය කියලා.”

හෙළ සිරිතට මුල් තැන දුන් වේදිකාව

ලිය අභිමානී තරගාවලිය අනෙකුත් රූ රැජිණ තරගවලින් වෙනස් වන්නේ එය අපේ රටේ සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරමින් නවකයන්ට වෘත්තීය මාවතක් විවර කරන බැවිනි. තරගකරුවන්ට ලබා දුන් විශේෂ පුහුණු සැසි මගින් ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් තේරීම, කතාබහ කරන විලාසය, වේදිකාවක හැසිරෙන ආකාරය සහ පෞරුෂය මනාව ඔප්නංවන ලදි.

සංවිධායක මණ්ඩලයේ කැපවීම සහ විනිශ්චය මණ්ඩලයේ විනිවිදභාවය නිසාම, සැබවින්ම දක්ෂතාව ඇති නවකයන්ට මෙවර කිරුළ හිමි විය. ජයග්‍රාහකයන් දෙපළම සඳහන් කළ පරිදි, මෙම තරගය පුරාවට ඔවුන් ලැබූ විනයානුකූල පුහුණුව ඔවුන්ගේ ඉදිරි කලා ගමනට මෙන්ම වෘත්තීය ගමනට ද ශක්තිමත් පදනමක් වනු ඇත.

අනාගතයට පා තබන නැවුම් බලාපොරොත්තු

පුල්මි තිහාරා සහ කේතක මුදලන්නායක යනු හෙට දවසේ කලා ලොව බැබළවීමට සූදානම්ව සිටින නැවුම් තරු දෙපළකි. ඔවුන් සතුව ඇති නිහතමානීත්ව, කැපවීම සහ සහජ දක්ෂතාවය ඔවුන්ව බොහෝ දුරක් රැගෙන යනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. තරුණ පරපුරට සිය සිහින හඹා යාමට අවශ්‍ය පන්නරය “ලිය අභිමානී” වැනි වේදිකාවන් මඟින් ලැබීම මෙරට කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මහත් පිටිවහලකි.

“තරුණී” අප මේ ජයග්‍රාහී කුමරාට සහ කුමරියට ඔවුන්ගේ අනාගත සිහින සැබෑ කරගැනීමටත් ශ්‍රී ලාංකෙය කලා ලොව දිදුලන තරු බවට පත්වීමටත් හදවතින්ම සුබ පැතුම් එක් කරමු!

 

 

TEXT – දුමින්ද කාරියවසම්

Pix By – Dushmantha Mayadunna

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?