Monday, May 4, 2026
Epaper
Home ගෘහ අලංකරණයරිබන් හා කැරැලි නූල් මුසුවෙන් මැවෙන රෝස මල් වසන්තය

රිබන් හා කැරැලි නූල් මුසුවෙන් මැවෙන රෝස මල් වසන්තය

by Shanaka Lakehouse

අලංකාර රෝස කුසුම් රැඳි මල් රවුම් දෙකක්. එකක කුරුලු කැදැල්ලකුත් තියෙනවා. මේ ආකර්ෂණීය දසුන් බිත්ති සැරසිලි සඳහා කදිමයි නේද?

ඔබත් මෙය මෙලෙස නිර්මාණය කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු පැහැති ලිනන් රෙදි

දම්, රෝස, තද නිල්, තද කොළ, සුදු, රන්වන් යන පැහැයන්ගේ මිලිමීටර් 2 පළල රිබන්

ළා නිල්, කොළ, ළා රෝස අඟල් භාගය සහ අඟල පළල රිබන්

කොළ, රෝස වර්ණ බේබි රිබන්

රන්වන් පැහැති කපු කැරැලි නූල්

රෝස, කහ වර්ණවල කපු කැරැලි නූල්

රෝස, කහ වර්ණ සිල්ක් පේන්ට්

ටැපැස්ට්‍රි (Tapestry) ඉදිකටු, රාමුව, පින්සල්

නිර්මාණය කිරීම

ඔබ නිර්මාණය කිරීම සඳහා තෝරාගත් දසුන අවශ්‍ය පමණ විශාල කර ස්ක්‍රීන් ප්‍රින්ටිං ක්‍රමයට ලිනන් රෙදි කොටසට ප්‍රින්ට් කරගන්න. නැත්නම් දළ සටහන රෙදි කොටස මත පිටපත් කර රෙදි පින්තාරු තීන්ත මඟින් වර්ණ ගන්වා වියළා ගන්න. මේ කුමන ක්‍රමයකින් හෝ සාදාගත් රෙදි කොටස රාමුවකට දමා තද කර ගන්න. ඉන්පසු මැසීම ආරම්භ කරන්න.

පළමුව රෝස මල් මසාගනිමු. මැද ඇති පෙති අඟල පළල රිබන්වලින් ලූප් ස්ටිච් ක්‍රමයට මසාගන්න. වටේ පෙති කෙළින් මැස්මෙන් බුරුලට මසාගන්න. මල මැදට රන්වන් පැහැ රිබන්වලින් පිස්ටල් මැහුම් හා ප්‍රංශ ගැට දමාගන්න. පොහොට්ටුව කෙළින් මැස්මෙන් මසාගන්න.

කොළ රිබන් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් මසාගන්න. රෝස, දම් හා ප්‍රංශ ගැට දමාගන්න. තැනින් තැනට සුදු හා තද නිල් පාට මිලිමීටර් දෙක පළල රිබන්වලින් පෙති පහේ මල් මසාගන්න. බෝඑක ළා නිල් පබළු අල්ලාගන්න.

කුරුලු කූඩුවක් මේ සඳහා මසාගන්නේ නම් ඒ සඳහා රන්වන් පැහැ කැරැලි නූල් හා මිලිමීටර් 2 පළල රිබන් භාවිත කර කෙළින් මැස්ම, ඇඹරුණු කෙළින් මැස්ම යන මැහුම්වලින් මසාගන්න. බිත්තර කටු ගෙන කළු වර්ණය තැනින් තැනට ආලේප කර කුරුලු බිත්තර සේ සකසා රෙදි කොටසේ අලවා ගන්න.

කුරුලු කූඩුව රහිත මල් රවුමට විවිධ ප්‍රමාණවල මල් පෙති සැටින් රිබන්වලින් හෝ සැටින් රෙදිවලින් කපා වටේ පුලුස්සා ගන්න. ඒවා රෙදි කොටසට තබා මසාගන්න. මැදට ප්‍රංශ ගැට කහ වර්ණයෙන් මසාගන්න. අනෙක් රෝස මල් කුරුලු කූඩු නිර්මාණයේ ලෙස මසාගන්න. නටු කොළ පාට කැරැලි නූලෙන් කවුච් කරගන්න. දම් පාටින් කුඩා මල් ලූප් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් බේබි රිබන් භාවිත කර මසාගන්න. කොළ රිබන් මැස්ම හා කෙළින් මැස්ම භාවිත කර මසාගන්න. රිබන් මත සිල්ක් පේන්ට් ආලේප කරගන්න.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?