Monday, May 11, 2026
Epaper
Home ගෘහ අලංකරණයජෑම් බෝතලයෙන් උපදින අපූරු නිර්මාණ ලෝකය

ජෑම් බෝතලයෙන් උපදින අපූරු නිර්මාණ ලෝකය

by Shanaka Lakehouse

අද කාලයේ අපේ නිවෙස තුළ නිතරම එකතු වන, බොහෝ විට කුණු කූඩයට යන දෙයක් තමයි හිස් ජෑම් බෝතල් සහ විවිධ වීදුරු බෝතල්. නමුත් නිර්මාණශීලීව සිතුවහොත්, මේවා හුදෙක් වීදුරු කැබලි පමණක් නොව, ඔබේ නි‍ෙවස අලංකාර කරන අපූරු කලා නිර්මාණ බවට පත් කළ හැකිය. පරිසරය සුරකිමින්, අහක දමන දේට අලුත් පණක් දීම අද කාලයේ ඉතා වැදගත් වේ.

වර්ණ හා රටා මඟින් බෝතල් හැඩකරමු

වීදුරු බෝතලයක් අලංකාර කිරීමට ඇති සරලම ක්‍රමයක් වන්නේ පින්තාරු කිරීමයි. වීදුරු මත ඇඳිය හැකි විශේෂ සායම් (Glass Paints) භාවිතයෙන් හෝ සාමාන්‍ය ඇක්‍රිලික් වර්ණ යොදාගෙන ඔබට රිසි රටා එහි ඇඳිය හැකිය. මීට අමතරව, විවිධ වර්ණවත් කොළ හෝ ටිසු කඩදාසි කුඩා කැබලිවලට කපා, බෝතලයේ පිටත මතුපිට අලවා අපූරු ලැන්තෑරුම් නිර්මාණය කරගත හැකිය. මෙලෙස සකස් කළ බෝතලයක් තුළට විදුලි බුබුළක් ඇතුළු කළ විට ඉන් විහිදෙන වර්ණවත් ආලෝකය ඔබේ කාමරයට මනරම් පෙනුමක් එක් කරයි.

වෙසක් මාසයට වර්ණවත් ආලෝක පූජාවක්

මේ උදාවී ඇති වෙසක් මාසයේ, පරිසරයට හානිකර ප්ලාස්ටික් සැරසිලි වෙනුවට ඉවතලන ජෑම් බෝතල් භාවිතයෙන් වෙසක් පහන් සකස් කරගත හැකිය. බෝතලය වටා තැඹිලි, කහ හෝ සුදු පැහැති කඩදාසි අලවා හෝ වියළි මල් සහ කොළ ඇලවීමෙන් (Pressed Flowers) ඉතා සාමකාමී නිමාවක් ලබාගත හැකිය. විදුලි පහන් දැල්වීමට මේවා ආරක්ෂිත වන අතර, සුළඟින් නිවී නොයන නිසා එළිමහනේ වුවද පහසුවෙන් ප්‍රදර්ශනය කළ හැකිය.

බෝතලයක් තුළ මැවෙන පුංචි ලෝකය

බෝතලයක් අලංකාර කිරීමට එය පිටතින් පමණක් නොව, ඇතුළතින් ද හැඩ කළ හැකිය. වර්ණවත් වැලි, කුඩා ගල් කැට, පබළු හෝ මුහුදු බෙල්ලන් වැනි දෑ බෝතලය තුළට දැමීමෙන් ආකර්ෂණීය සැරසිලි (Decorative Jars) නිර්මාණය කරගත හැකිය. එමෙන්ම, රෙදි කැබලි, බොත්තම් සහ නූල් භාවිතයෙන් බෝතලයේ පිටත වටා විවිධ හැඩතල මතු කළ හැකිය.

පාසල් අත්වැඩ සහ තෑගි නිර්මාණ

පාසල් යන දරුවන්ට තම නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවා ගැනීමට මෙය කදිම අත්වැඩකි. පාසලේ විවිධ ප්‍රදර්ශන සඳහා හෝ ගුරුවරුන්ට සහ මිතුරන්ට ලබාදෙන වටිනා තෑග්ගක් ලෙස මෙලෙස අතින් නිම කළ බෝතලයක් ලබාදිය හැකිය. එමෙන්ම, කාර්යාල මේසය මත පෑන්, පැන්සල් රඳවනයක් ලෙස හෝ මල් බඳුනක් ලෙස ද මෙය නිවැරදි ලෙස භාවිතයට ගත හැකිය.

අවසාන වශයෙන්, අප වටා ඇති මෙවැනි සුළු දේවල් දෙස අවධානය යොමු කිරීමෙන් විශාල මුදලක් වැය නොකරම ලස්සන නිර්මාණ සිදු කළ හැකිය. ඉවතලන බෝතලය පවා කලා කෘතියක් බවට පත් වන්නේ ඔබේ දෑතේ සහ මනසේ ඇති නිර්මාණශීලීව හිතන හැකියාව මතයි.

 

TEXT – මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?