Monday, June 1, 2026
Epaper
Home ජ්‍යෙතිෂයඔබේ සිහින මාලිගය තැනීමට වාස්තු විද්‍යාවේ දායකත්වය පිළිබඳව ඔබ දැනුවත්ද?

ඔබේ සිහින මාලිගය තැනීමට වාස්තු විද්‍යාවේ දායකත්වය පිළිබඳව ඔබ දැනුවත්ද?

by Shanaka Lakehouse

මිනිසකුගේ ජීවිතයේ දකින සුන්දරම මෙන්ම වටිනාම සිහිනය කුමක්දැයි යමකු ඇසුවහොත්, බොහෝ දෙනකුගෙන් ලැබෙන එකම පිළිතුර නම් තමන්ගේම කියා නිවෙසක් තැනීම යන්නයි. තද වැස්සකදී, දැඩි අව්වකදී පමණක් නොව, ජීවිතයේ සැඳෑ සමයේදී වුවද ගතට සිතට උපරිම සැනසීමක් දෙන එකම ක්ෂේම භූමිය තමන්ගේම නිවෙසයි. අතීත රජ දවස සුවිසල් රාජ මන්දිර තැනීමට උපයෝගී කරගත් වාස්තු විද්‍යාව, අද අපගේ සිහින මාලිගය සැබෑ කරගැනීමටද නැතුවම බැරි මාලිමාවකි. මේ ලියැවෙන්නේ, ඔබේ සිහින නිවහන සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි නවාතැනක් කරගන්නට වාස්තු විද්‍යාවෙන් ලැබෙන අත්වැල පිළිබඳවයි.

අතීතයේ පටන් මිනිසුන් රාජ මන්දිර, සුවිසල් ගොඩනැඟිලි ඉදිකිරීම සිදු කිරීමට වාස්තු විද්‍යාව උපයෝගී කරගෙන තිබේ. ඒ අනුව නිවාස සිහිනය අප සියලු දෙනාගේම එක්තරා කාලවකවානුවක සිහිනයක් යැයි සැලකේ. එලෙස ජීවිත කාලයේදී සතුටින් කාලය ගත කිරීමට වාස්තු දෝෂවලින් තොර සතුට සාමය උදාවන ආකාරයට නිවෙස සකස් කරගැනීමට අපට පුළුවනි. ඒ නිසා ඒ සඳහා වාස්තු විද්‍යාව අතිශය වැදගත් වේ.

මේ ලිපිය කියවන ඔබ නිවෙසක් සාදා ගැනීමට සිහින දකින, බලාපොරොත්තු සහිත අයෙක් විය හැකිය; එසේත් නැතිනම් මේ වන විටත් නිවෙසක් සාදාගෙන එහි සතුටින් කාලය ගත කරන අයෙක් විය හැකිය; එසේ නැතිනම් නිවෙසේ වාස්තු දෝෂ තිබේදැයි කියා නිශ්චිතව නොදන්නා අයෙක්ද විය හැකිය. කෙසේ වෙතත් මෙකී සියලුම පාර්ශ්වයන්ට වැදගත් වන අයුරින් නිවෙසක් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු වාස්තු දෝෂ පිළිබඳවත්, භූමිය තෝරා ගන්නා ආකාරය පිළිබඳවත් මේ ලිපිය තුළින් සාකච්ඡාවට ලක් කෙරේ.

නිවෙසක් සකස් කිරීමේදී මූලිකවම යහපත් පිහිටීමක් තිබේදැයි අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසු භූමිය තෝරාගන්නා අවස්ථාවේ සිටම කල්පනාකාරී විය යුතුය. සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාවට අනුව තිබිය යුතු වාස්තු විද්‍යානුකූල පිළිවෙත් අනුගමනය කරමින් නිවෙසක් ඉදිකළ යුතුය. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ නිවෙස අයිතිකරුගේ කේන්දර පත්‍රයට අනුව නිවෙසේ කේන්දරය ගැළපීමයි. මෙහිදී නිවෙසට අදාළ කේන්දරය සකස් කරගනු ලබන්නේ භූමියේ වර්ග ප්‍රමාණය අනුවයි. ඒ අනුව නිවෙසේ ගෘහමූලිකයාගේ නැකැත ගෙන ඒ නැකැතට අනුව සංසන්දනය කරමින් මෙය සිදු කරන අතර සාමාන්‍ය නිවෙසක කේන්දරයේ ඇති පොරොන්දම් එකොළහක් සඳහා මූලික අවධානය යොමු කරනු ලැබේ. එකී පොරොන්දම් 11 නම්:

අය පොරොන්දම, වැය පොරොන්දම, යෝනි පොරොන්දම, නැකැත් පොරොන්දම, දින පොරොන්දම, අංශක පොරොන්දම, රාශි පොරොන්දම, තිථි පොරොන්දම, වංශ පොරොන්දම, දේවතා පොරොන්දම සහ ආයුෂ පොරොන්දම ආදි වශයෙන් පොරොන්දම් එකොළහක් තිබෙන අතර මේ අතරින් කොපමණ පොරොන්දම් සංඛ්‍යාවක් ගෘහමූලිකයාගේ නැකැතට ගැළපේදැයි සොයාබැලේ. ඒ අනුව ප්‍රතිශතය සකසා ගනී. එමෙන්ම මෙකී පොරොන්දම් අතරින් අය පොරොන්දම සහ වැය පොරොන්දම, නැකැත් පොරොන්දම, ආයුෂ පොරොන්දම වඩාත් ගැළපිය යුතු යැයි සලකනු ලැබේ.

මෙලෙස භූමිය තෝරාගන්නා ආකාරයටම නිවෙසක් තැනීමේදී මූලික වශයෙන් මංගල උළුවස්ස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. සාමාන්‍යයෙන් මංගල උළුවස්ස යැයි සැලකෙන්නේ නිවෙසේ ප්‍රධාන උළුවස්සයි. මෙය නිවෙසේ අනෙක් උළුවහුවල ප්‍රමාණයට වඩා විශාල විය යුතුය.

එමෙන්ම ඊට අමතරව සෑම ඉඩමක් සතුවම පවතින පාද පිහිටීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. සෑම ඉඩමක්ම ප්‍රේත පාද, දේව පාද, මනුෂ්‍ය පාද, බ්‍රහ්ම පාද යනුවෙන් කොටස් හතරකින් සමන්විත වේ. මේ අතරින් ප්‍රේත පාදය ඉවත් කර නිවාස සැකසීමට වග බලා ගත යුතුය. එමෙන්ම තවත් වැදගත් කොටසක් නම් බ්‍රහ්ම පාදයයි. සාමාන්‍යයෙන් ඕනෑම අයකු අසා ඇති දෙයක් නම් බ්‍රහ්ම පාදය නිවෙසේ පෑගීමට තැබීම අසුබ බවයි. සාමාන්‍යයෙන් කෑම කාමරය, සාලය, කුස්සිය වැනි ස්ථානවල බ්‍රහ්ම පාදය නොපිහිටන සේ සකස් කළ යුතුය. මන්ද නිවෙස තුළ විශ්ව ශක්තිය ගලා එන්නේ බ්‍රහ්ම පාදය පිහිටන ස්ථානය අනුවයි. එමෙන්ම බ්‍රහ්ම පාදයක් බිත්තියක් මතට වැටීමද සුදුසු නොවේ. එයද එක්තරා අසුබ දෙයකි.

මූලික වශයෙන් නිවෙසක් තැනීමේදී අනුගමනය කළ යුතු වාස්තු විද්‍යාත්මක කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කරමින් නිවෙසක් සකස් කරගැනීම තුළින් නිවැරදි දිවි පෙවෙතක් ගත කිරීමටත්, කරදර බාධක සතුරු විපත්වලින් අවම වී ජීවිතය ගත කිරීමටත් හැකියාව ලැබේ. එනිසා තමාගේ සිහින මාලිගය සැකසීමට පෙරාතුව චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට වාස්තු විද්‍යානුකූලව එහි දෝෂ නිවැරදි ලෙස හඳුනා ගනිමින් වැඩි අවධානයක් ඒ සඳහා යොමු කරමින් නිවෙසක් සකසා ගැනීම අතිශය වැදගත් වන බව වාස්තු විද්‍යාඥයන්ට අනුව සඳහන් කර තිබේ.

 

නිවෙසට සෙවණ දෙන ජීවිතයට සතුට දෙන වාස්තු ශාක රහස්

වාස්තු විද්‍යාවට අනුකූලව නිවෙසක මිදුල සකස් කිරීම සහ එහි සිටුවන ගස් වර්ග තෝරාගැනීම එම නිවෙසේ වෙසෙන්නන්ගේ සෞඛ්‍යය, ධනය සහ සතුට කෙරෙහි සෘජුවම බලපාන බව විශ්වාස කෙරේ. මිදුලක පැළ සිටුවීමේදී ඒවායින් නිකුත් වන ශක්තිය සහ ඒවා පිහිටුවන දිශාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

පහත දැක්වෙන්නේ වාස්තු විද්‍යානුකූලව නිවෙසක මිදුලේ සිටුවීමට වඩාත්ම සුදුසු ගස් වර්ග කිහිපයකි.

පූජනීය සහ ඖෂධීය පැළෑටි

කූඩලු මල් හෝ සුදු මල් හටගන්නා ශාක නිවෙසට ශාන්තිය ළඟා කරයි.

කළුවර සහ සඳුන්

නිවෙසට ධනාත්මක තරංග ආකර්ෂණය කරන වටිනා ශාක වේ.

ඖෂධීය පැළෑටි

කෝමාරිකා, ඉඟුරු වැනි ශාක වාතය පිරිසුදු කරන අතර නිවෙසට වාසනාව ගෙනෙයි.

පලතුරු සහ මල් ගස්

දෙහි, දොඩම් සහ නෙල්ලි

ධන වාසනාව සහ සෞභාග්‍යය ළඟා කරන ශාක ලෙස සැලකේ. විශේෂයෙන් නිවෙසේ උතුරු හෝ නැඟෙනහිර දිශාවන්හි මේවා සිටුවීම සුදුසුය.

පොල් ගස

නිවෙසේ ඉදිරිපස සෙවණ නොවැටෙන සේ, පසුපස හෝ පැත්තක සිටුවීමෙන් දියුණුව ළඟා වේ.

පිච්ච ( jasmine )

නිවස අවට ප්‍රසන්න සුවඳක් පතුරුවමින් මානසික සහනය සහ පවුලේ සමඟිය වර්ධනය කරයි.

 

TEXT – සචිනි දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?